බඳිමුද?
බඳින්න කෙනෙක් නැද්ද?
කැමැතිද?
කැමැති වෙන කෙනෙක් නැද්ද?
කසාද බඳින්නත් කැමැති වෙන කෙනෙක් මෙලොව සිටිය යුතු වෙයි. යොවුන් වියට පිවිසෙන සැමදෙනාම ප්‍රාර්ථනා කරන්නේ තමන්ට ඉතා සුදුසු ගැළපෙන සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීමටයි. සුදුසු හා ගැළපෙන යන වදන් තුළ තම සිතට ගැළපීම හා චරිතය හා ජීවන මාර්ගය යන කරුණු පිළිබඳ විශේෂිත අවධානයක් යොමුවේ. මේ අතර කෙතරම් ධනය, බලය, රූපය හිමිවුවද නිසි වයසේ පසුවුවද විවාහයට මඟ ඇහිරී නිවෙසේම හුදකලා වන අවස්ථා දක්නට ලැබෙයි.
ධනය, බලය, රූපය නිසිව නොපිහිටියද නිසි කල තම අභිමතයටත් වඩා ඉහළින් ලද සහකරුවකු හෝ සහකාරියක සමඟ විවාහ දිවිය සාර්ථකව ගත කරන තරුණ පිරිස්ද අප අතර ඇත. යමකුගේ විවාහයට හරස් වන්නේ කවරහුද? පමණට වඩා උසස් විවාහයක් පැතීමද විවාහය ප්‍රමාද වීමට හේතුවක් බව යමකුට තර්ක කළ හැකිය. දුගී පැලක සිට රාජ කුමාරයකු හෝ කුමාරියක පැතීම නිෂ්ඵල ක්‍රියාවකි. සිහින ලෝකවල සහ අතීත ප්‍රේම කතා තුළ ප්‍රේමයට උස් පහත් හෝ ජාති, ආගම්, කුල භේද බලනොපෑ බව කියැවෙයි. අතරින් පතර ඉහතින් සඳහන් කළ පරිදි ධනය, බලය රූපයද නොමැතිව සාර්ථකව යුග දිවි ගමන් ඇරැඹි පිරිස්ද දකින්නට අසන්නට ලැබෙයි.
වාසනාව, අවාසනාව හෝ ලැබීම පිළිබඳ විවිධ වූ තර්ක විතර්ක තමනටම අනුගත කර ගනිමින් විවාහය ප්‍රමාදයෙන් සුසුම්ලන තරුණ පිරිස්ද අපමණය. මේ අතර කල වයස ඉක්මවූ විවාහය පිළිබඳ සුබ සිහින අත්හළ විශාල පිරිසක්ද සිටිති. විවාහය ප්‍රමාද වන හෝ විවාහය මඟහැරුණු සියල්ලන්ටම එයට හේතු වූ සාධකය විමසුම් කර බලනු වටියි.
ජ්‍යොතිෂයෙන් විවාහය ප්‍රමාද වීම පිළිබඳ මූලික වූ සාධකය කියැවෙයි. එයට ජන්ම පත්‍රයේ ග්‍රහ රටාවන්ගේ සොබාවය හඳුනාගත යුතුය. ලග්න දොළසින් කුමන හෝ ලග්නයකට ජන්මියා සතු උපන් බලය හිමිවුවද හත්වැනි භාවයේ සඳු දුර්වලව පිහිටීම විවාහය ප්‍රමාදයට හේතුවකි.
සඳු සහ සෙනසුරු යෝගම හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීමද විවාහය පමාවට හේතුවෙයි.
පැවිදි වීමට හෝ විවාහ නොවීමටද මූලික වන යෝග යෙදෙයි. සඳු සිටින රාශියෙන් හතර, හත, එකොළහ යන ස්ථානයක සෙනසුරු සිටීම ගිහි ජීවිතයෙන් ඈත්වීම, විවාහය ඈත්වීම ආදී කරුණුවලට මූලික වෙයි. සෙනසුරු, කුජ සංයෝගව හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම විවාහය ප්‍රමාද කිරීමට හේතුවෙයි. මෙම ග්‍රහ රටාව වෙනත් ග්‍රහ සංයෝගයකින් දැක්මකින් දුර්වල කර විවාහය සිදුවිය හැකිය. එහෙත් විවාහය අතරමඟ කඩාකප්පල් වීමට හෝ අසාර්ථක වීමට ඉහත කී ග්‍රහ බලපෑම මූලික විය හැකිය.
රවි, සෙනසුරු, කුජ, සිකුරු චතුරශ්‍රව හෝ සම සප්තමව සිටිමින් එම යෝගවලට අයහපත් සඳුගේ දැක්මද යොමුවීම විවාහ බාධකයකි.
ගුරු හෙවත් බ්‍රහස්පති සුබ ග්‍රහයෙක් බව පොදු පිළිගැනීමයි. එහෙත් හත්වැන්නට ගුරු යෝග වීම විවාහය ප්‍රමාද වීමට හේතුවන බව කියැවෙයි. හත්වැන්නට ගුරු යෝග වූ ජන්මියා විවාහයේදී සීමාව ඉක්මවා ඇතැම් කරුණු සොයා බැලීමට යෑමෙන් විවාහය ප්‍රමාද වෙයි.
පළමු විවාහය දෙදරා යෑමට හෝ වෙනස් වීමට හත්වැන්නේ ගුරුගේ සොබාවය ඉවහල් වන බව පැරැණි ජ්‍යොතිෂ ආචාර්යවරුන්ගේ මතයයි.
හත්වැන්න තුළ බුධ ග්‍රහයා තම බලය පතුරුවන විට එම ජන්ම පත්‍රය හිමි ජන්මියා ලිංගික ශක්තියෙන් දුර්වලයකු වන බව කියැවෙයි. වෙනත් සුබ ග්‍රහයකුගේ දැක්මක් හත්වැන්නට යොමු නොවන්නේ නම් එය හත්වැන්නේ බුධ හිමි ජන්මියාගේ විවාහය ප්‍රමාද වීමකි. ගුරු, රාහු යෝගයද හත්වැන්නට ඉතා අසුබ පිහිටීමකි. එම යෝගය ‘චණ්ඩාල යෝගය’ යනුවෙන් හඳුන්වනු ලැබේ.
උෂ්ණකාරී ග්‍රහයකු වන රවි ග්‍රහයා හත්වැන්නට යහපත් නැත. රවි හතේ යෙදීමෙන් වකුගඩු, මුත්‍රා, අර්ශස් වැනි රෝගාබාධ ඇතිවේ. එය ලිංගික රෝග ඇතිවීමටද සාධකයකි. රවි හතේ යෙදීමෙන් විවාහය ප්‍රමාද කරයි. අවුල් කරයි. රවි හතේ ජන්මියාට හිමිවන සහකරු, සහකාරිය හිතුවක්කාරය. මාන්නාධිකය. යටත් වීමට අකැමැතිය. පුරුෂයකුගේ රවි හතේ නම් ඔහුට හිමිවන සහකාරිය තුළ ඇත්තේ පිරිමි ගතිගුණය. ඇය දබරකාරී, කලබලකාරී ස්ත්‍රියකි. අනෙකුත් ග්‍රහයන්ගේ ග්‍රහ සොබාවයන් අනුව පලාපල වෙනස් විය හැකිය. දෙදෙනකුගේ ලග්න දෙක එකිනෙකට තුන, පහ, නවය හෝ එකොළහට සිටීම දෙදෙනාගේ විවාහය සාර්ථක වීමකි.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











