කවුරුත් තමාගේ කියන බලවත් ශුභ වැඩක් නැකැතකට පටන් ගන්න ඉතාමත් කැමැතියි. එසේ කරන්නේ එම කටයුත්ත බාධාවකින් තොරව ඉදිරියට සාර්ථක භාවයෙන් යුතුව කරගෙන යෑමටත්, ඉහළ සඵලදායිත්වයක් ළඟා කර ගැනීමත් උදෙසාය. ඉතින් මෙවන් ශුභ කටයුත්තකදී තමාගේ කේන්ද්‍ර පත්‍රයක් රැගෙන දන්නා හඳුනන ජ්‍යොතිෂ මහතකු කරා යෑම සාමාන්‍ය සිරිතයි. අදාළ කටයුත්තේ ස්වභාවය අනුව නැකැත් වර්ගීකරණය විවිධ වුවත්, ජන්මියාගේ උපන් නැකැතට අනුව නැකැත් සීහුම් බලා, නැකත අසිරිමත් කොට බලවත් කිරීම ජ්‍යෝතිෂවේදියාගේ ප්‍රබල වගකීම වන්නේය. මෙහිදී මූලික වශයෙන්ම ජ්‍යෝතිෂය ශාස්ත්‍රය තුළ මෙම නැකැත් සීහුම් බැලීම සඳහා යොදා ගැනෙන වගුවක් පවතී. මෙම වගුව උපයෝගී කර ගනිමින් නැකැත් සීහුම් බැලීම සරලව සිදු කරනු ලැබේ. මූලික අවබෝධයක් නොමැති අයකුට පවා මෙම සිදු කරනු ලබන විග්‍රහය තුළින් නැකැතක් ශුද්ධ කොට සාදා නොගත්තද, නැකැතක් සාදා ගැනීමේ මූලික පියවර වන නැකැත් සීහුම බලන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව පවතිනු ඇත.

මෙහිදී නැකැත සාදා ගැනීමට අවශ්‍ය ජන්මියාගේ උපන් නැකැතට අනුව ශුභ වූ නැකැත් කාණ්ඩයන්ට යොමු විය යුතුය. එනම් ශුභ වූ නැකැත් කාණ්ඩයන් වශයෙන් සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රි සහ පරමමෛත්රි යන නැකැත් තීරයන් අදාළ කරගනු ලැබේ. උදාහරණයක් වශයෙන් ඔබගේ උපන් නැකැත මුවසිරස නැකැත යැයි සිතන්න. මෙහිදී නැකැත් සීහුම් සඳහා යොදා ගනු ලබන්නේ අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල සහ රෙහෙණ, හත, සුවන යන නැකැත් කාණ්ඩයන් පමණි. වගුවේ දැක්වෙන විපත්, ප්‍රත්‍යාරී, වධ යන නැකැත් තීරයන් ශුභ වැඩෙහි ශුභ කටයුතු වෙනුවෙන් නැකැත් සීහුම් වෙනුවෙන් යොදා නොගැනේ. කෙතරම් ප්‍රබල ග්‍රහ යෝගයක් තිබුණද, එකී මුහුර්තයට යෙදී ඇති නැකැත ඔබේ ජන්ම නැකැතට අනුව විපත්, ප්‍රත්‍යාරී, වධ යන අශුභ නැකැතකට වැටේ නම් එයින් ඵල නොලැබී යනු ඇත. එනිසා නැකැත් සෑදීමේ මූලික පියවර නිවැරදිව සිදු කිරීම අනිවාර්යය වනු ඇත. මේ පිළිබඳව ඔබ සැම දෙනාත් නිවැරදි අවබෝධයෙන් පසුවීම වැදගත් වන්නේය. එවිට සිදුවන යම් හෝ සුළු අතපසුවීමකින් පවා නිදහස්ව, පෙර කී බලවත්, අසිරිමත් නැකැතක් කරා යොමු වන්නට ඔබට හැකියාව පවතින්නේය. ඔබට තෙරුවන්ගේ ආශීර්වාදය ලැබේවා!
ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන











