මේ ලොවට විමුක්තිය උදා කළා වූ ඒ මහා විමුක්තිදායකයාණන් වූ මහා කාරුණික, ගෞතම බුදුරජාණන් වහන්සේගේ අති ශ්‍රේෂ්ඨ උත්පත්තිය මීට වසර 2563කට පෙර සිදු වූ අතර මේ උදාව ඇත්තේ ඒ පින්බර වෙසක් සමයයි. අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන්පෑම සිදු වූ ඒ මහා තෙමඟුල උදාවිය. එය ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවද සමරනුයේ ඉතාමත් බැති සිතිනි. ලෝකවාසී සියලු ජනතාවට මනුෂ්‍ය ජීවිතයේ දුකින් එතර වීමේ නියම හා සත්‍ය හා නිවැරැදි දහම අපට කියා දුන්නේ අප මහා බුදුරජාණන් වහන්සේය. එසේනම් උන්වහන්සේගේ උපත සිදු වූ ඒ පින්වත් මොහොතේ දඔදිව් තලේ නැඟෙනහිර ක්ෂතිජයේ පායා තිබූ ග්‍රහතාරකා අනුසාරයෙන් සිදුහත් කුමාරයාගේ ජන්ම පත්‍රය පිළිබඳ ජ්‍යොතිෂානුකූලව යම් විමර්ශනයක් කිරීමට මේ හොඳම කාලයයි. මේ ලිපිය එම සිදුහත් කුමාරයාගේ ජන්ම පත්‍රය පිළිබඳ කෙරෙන ජ්‍යොතිෂ විමසුමකි.
සිදුහත් කුමාරයාගේ උත්පත්ති ජන්ම පත්‍රය-
දශා ශේෂය –
උපතේදී ගුරු දශාව වර්ෂ 16 යි
උපන් නැකැත –
විසා නැකැත
කටක ලග්නයෙන් විසා නැකැතින් උපන් සිදුහත් කුමාරයාගේ ජන්ම පත්‍රය තුළ නවග්‍රහයින් අතරින් රවි, කුජ, ගුරු, සිකුරු යන ප්‍රධාන ග්‍රහයින් උච්ච බල සහිතව තැන්පත් අතර ශනි, රාහු හා කේතු යන ග්‍රහයින් පිළිවෙළින් මූල ත්‍රිකෝණ හා ස්වක්ෂේත්‍ර බල සහිතව තැන්පත්ව සිටී. මෙම ජන්ම පත්‍රය එතෙක් මෙතෙක් මේ ලොව තුළ බිහිවූ අග්‍රගණ්‍ය වූ අසීමිත බලවත් වූ ජන්ම පත්‍රයයි. ගුරු මහ දශාවෙන් උපන් මෙතුමාට උපතේ සිට අවුරුදු 16ක් පමණ ගුරු හෙවත් බ්‍රහස්පති මහ දශාව පැවති අතර මේ කාලසීමාව තුළ එතුමාගේ විවාහයද සිදුවිය. ශනිගේ කුජ අන්තරය තුළ එතුමන්ට දරු සම්පත්ද හිමි විය- ඉන් අනතුරුව වයස 16 සිට සෙනසුරු හෙවත් ශනි මහ දශාව වර්ෂ 19 පුරාවට පැවති අතර මෙම දශාව තුළ යෙදුණු සෙනසුරුගේ රාහු අන්තරය තුළ එතුමාට අතිශය වූ දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් දුෂ්කර ක්‍රියා සිදු කිරීමට සිදුවුණි. එයින් පසු වයස 35 පමණ වන විට 17ත් වසරක් වූ බුධ මහ දශාව යෙදුණු කාල සීමාව තුළ සියලු කෙළෙසුන් නසා බුද්ධත්වයට පත් වීමට එතුමන්ට හැකියාව ලැබුණි.
මෙම ජන්ම පත්‍රය තුළ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ලග්නයේම උච්ච වීමෙන් කෝටියක් දෝෂ භංග කරමින් ගුරු හංස නම් අති ප්‍රබල හා සුබ යෝග බලයද, අඟහරු හෙවත් කුජ ලග්නයෙන් 7 වැන්නේ පිහිටීමෙන් රුචක යෝග බලයද, සිකුරුගෙන් මාලවී යෝග බලයද, රවි හා බුධ 10 වැන්නේ පිහිටීමෙන් රවි බුධ ආදිත්‍ය යෝගය හෙවත් උපේන්ද්‍ර යෝගයද, ලග්නාධිපති සඳුගෙන් 10 වැන්නේ ගුරුගෙන් ගජකේෂරී යෝග බලයද, 8 වැන්නාධිපති සෙනසුරු හෙවත් ශනි 8 වැන්නේ පිහිටීමෙන් විපරිත රාජයෝග බලයද මනාවට පිහිටා ඇත. මේ ආකාරයට පංච මහ පුරුෂ යෝග ඇතුළු ඉතා බලවත් යෝග රාශියක් යම් පුද්ගයකුගේ කේන්ද්‍රයේ පිහිටන්නේද ඔහු හෝ ඇය සමාජයේ බලවතෙකු වන්නේය. පිරිස් බලයෙන් යුතු කෙනෙකු වන්නේය. සාමාන්‍ය පුද්ගල ජන්මපතක් තුළ පංච මහ පුරුෂ යෝගවලින් එකක්වත් පිහිටනුයේ ඉතාම කලාතුරකිනි. ඒ අනුව බුදු, පසේබුදු, මහ රහත් යන බලය ලැබීමට නම් අසීමිත වූ භාගයක් තිබිය යුතුමය. මෙයින් අප මහා බෝසතාණන් වහන්සේගේ ජන්ම බලය මැනවින් පිළිබිඹු වන්නේය. එතුමන්ගේ ජන්ම පතේ 7 වැන්නේ පිහිටි අඟහරුගේ බලය විශේෂයෙන් උන්වහන්සේට සමාජයේ බොහෝ අය වසඟ වීමටත් එපමණක් නොව ආලවක, නාලාගිරි, අංගුලිමාල වැනි දරුණු ඉතා තද සිත් ඇති අය දමනය කර, පාලනය කිරීමටත් මැනවින් තමනට අවනත කර ගැනීමටත් බෙහෙවින් උපකාරී විය.
මෙතුමාගේ ජන්ම පත තුළ සඳුගෙන් 12 වැන්නේ රාහු බලවත් වීමත් 9 වැන්නේ සිකුරු බලවත් වීමත් හේතුවෙන් එතුමාට දඹදිව පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වල දෙව් බඹුන් උදෙසා ශ්‍රී සත් ධර්මය දේශනා කිරීමට හැකියාව ලැබිණි. ගුරුගේ හා බුධගේ බලය හේතුවෙන් එතුමාට මනා වූ දේශන හැකියාවක් උරුම වූ අතර ඒ තුළින් කිසිවෙකු නොලබපු බුද්ධියක් එමෙන්ම මහා කරුණාවක් කීර්තියක් මෙන්ම සමාජ බලයක් හා අති ශ්‍රේෂ්ඨ වූ නායකත්වයක් ලබාදෙමින් මුළු මහත් සමාජයේම ගෞරවාදරයටත් පිළිගැනීමටත් ලක්වීමට භාග්‍යයක් උන් වහන්සේට උදා වූයේය. රවිගේ හා සඳුගේ බලය තුළ උන්වහන්සේ උසස් සිතුවිලිවලින් පිරිපුන් උත්තමයකු වූයේය.
මෙම ජන්ම පත්‍රය තුළ ලග්නාධිපති සඳු ග්‍රහයා සම රාශිගතව ලග්නයෙන් 4 වැන්නේ හෙවත් සිකුරුට අයත් තුලා රාශියේ තැන්පත් අතර තුලාව වනාහි ජල හා චර රාශියකි. ඒ අනුව සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය සිදුවූයේ මහමායා දේවිය තම මවගේ නිවෙසට යන අතර මගදී තිබූ සල් උයනක් තුළය- කෙනෙකුගේ උත්පත්තිය චන්ද්‍රයා ජල හා චර රාශියක් තුළ පිහිටීම තුළ සිදුවුව හොත් එය අප ජ්‍යොතිෂයේදී එම පුද්ගලයාගේ උපත ගමනක් යන අතර මගදී සිදුවන බව සඳහන්ය. ඊට අමතරව ජලයද යම් ආකාරයකට සම්බන්ධ වීමක්ද මේ සඳහා සිදුවිය යුතුය. එම කාරණය මැනවින් සනාථ කරමින් සිදුහත් කුමරා උත්පත්තිය මහමායා දේවිය තම මවගේ නිවෙසට යන අතරමගදී තිබූ සල් උයනක් තුළ සිදු වූ අතර ඒ අවස්ථාවේ මල් වැස්සක්ද පතිත වූ බව සඳහන්ය. 4 අධිපති සිකුරු 4න් 6 වැන්න වූ ගුරුට අයත් මීන රාශිය තුළ කේතු සමග පතිත වීමත්, 7 හා 8 අධිපති සෙනසුරුත් 8 වැන්න තුළ යෙදීමත් තුළින් සිදුහත් කුමරුගේ ගිහිගෙය හැරයාම හෙවත් තම බිරිය මෙන්ම සියලු නෑදෑ හිතවතුන් හැරයෑම මැනවින් පෙන්නුම් කරයි. පුද්ගලයකුගේ විවාහය පිළිබඳව පෙන්නුම් කරන්නේ ජන්ම පතේ 7 වැන්නෙනි. ඒ අනුව සිදුහත් කුමාරයාගේ විවාහයේ පැවැත්මට බාධාවක් වූයේ 7 වැන්න තුළ වූ කුජගේ ක්‍රියාකාරිත්වයයි. ඒ අනුව 7 වැන්නේ යෙදුණු භෞම දෝෂ බලය එතුමන්ගේ විවාහ ජීවිතයේ පැවැත්මට අතිශය බාධාවක් වූයේය.
සිදුහත් කුමාරයාගේ උපතින් දින 7ක් තුළ කුමරුගේ මව වූ මහමායා දේවියගේ මරණය සිදු වූ අතර කුමරු හැදී වැඩුණේ ඔහුගේ සුළු මවගේ රැකවරණය තුළය. එයට හේතුවී ඇත්තේ ජන්ම පත තුළ 8 අධිපති ශනි 8 වැන්න තුළ පතිත වීමත්ය.
මේ ලෝකවාසී දුකින් පෙළෙන සත්වයාට අපමණ සේවයක් කළ ගෞතම බුදු රජාණන් වහන්සේ උන් වහන්සේට උත්පත්ති ග්‍රහ චාරය අනුව එළැඹි සිකුරු මහ දශාව තුළ ගුරුට අයත් විසා නැකැත යෙදුණු වෙසක් පෙහොය දිනක පිරිනිවන් පෑ සේක-
සම්පත් එස්. කල්පගේ











