2014 වසරේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් අවභාවිත කරමින්, මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ටී-ෂර්ට් 17,000ක් ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (10) වරෙන්තු නිකුත් කළේය.Sri Lanka Latest News
බැසිල් රාජපක්ෂ මහතා 2024 සිට විදේශගතව සිටින බැවින් ඔහුට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීම සඳහා විධිමත් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දැනුම් දුන්නේය. මෙම ටී-ෂර්ට් මුද්‍රණය කිරීමට අදාළ සමාගමට සෘජුවම උපදෙස් දී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා බවත්, ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව මුදල් ගෙවා ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.
මේ අතර, නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට බාර වූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න මහතාව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 100ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඔහු විමර්ශන සඳහා සහය වෙමින් විශේෂ ප්‍රකාශයක් ලබා දී තිබේ. කෙසේ වෙතත්, සිද්ධියේ තුන්වැනි සැකකරු වන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් මහතාව ලබන ජූනි 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු කටයුතු ක්‍රියාත්මකය.










