හෘදයාබාධ හේතුවෙන් සිදුවන හදිසි මරණ ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානතම හේතුවකි. එහෙත් ඉක්මනින් CPR ප්‍රතිකර්මය සිදුකිරීම සහ හෘදයාබාධයක් ඇති වූ වහාම Defibrillator යන්ත්‍රයක් මගින් හදවතට විදුලි කම්පනයක් ලබාදීම මගින් අදාළ රෝගියාගේ ජීවිතය බේරාගැනීමට 50%ත් 70%ත් අතර අවස්ථාවක් හිමි වේ. Automated External Defibrillator (AED) යනු හදිසි අවස්ථාවකට මුහුණ දී සිටින රෝගියකුට විදුලි කම්පනයක් ලබාදීම සඳහා, සෞඛ්‍ය සේවා පුහුණුවක් ලබා නොමැති අයකුට වුවද භාවිත කළ හැකි ආකාරයට නිර්මාණය කළ යන්ත්‍රයකි. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය යන්ත්‍රයක් වන මෙය හඬ විධාන ලබාදෙන අතර, මූලික පුහුණුවක් ඇති ඕනෑම කෙනකුට එය ක්‍රියාත්මක කළ හැකි වේ.
කටුනායක ගුවන්තොටුපළ යනු වසරකට මගීන් මිලියන 1.5ක් පමණ භාවිත කරන ස්ථානයකි. එම නිසා, ශ්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය විද්‍යාලයේ ඉල්ලීම පරිදි, කටුනායක ගුවන් තොටුපළට AED යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට Hemas Surgicals & Diagnostics (පුද්.) සමාගම කටයුතු කළේය.
මෙම යන්ත්‍රය නිල වශයෙන් භාරදීමේ උත්සවය කටුනායක ගුවන් තොටුපළේ Silk Route Lounge හිදී පැවැත්විණි. මෙම අවස්ථාවට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි, Hemas Surgicals and Diagnostics සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන්, ලංකා නිර්වින්දන වෛද්‍ය සහ දැඩි සත්කාර සේවා වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා සහ National Resuscitation Councilහි සභාපති වෛද්‍ය නිල්මිණි විජේසිරි සහ යන මහත්ම මහත්මීහු එක්වූහ.











