අපේ රටේ අද ඓතිහාසික ස්ථානයන් ගත්තොත් ඓතිහාසික ස්ථාන තියෙන්නේ එකක් දෙකක් තුනක් හතරක් පහක් නෙවෙයි. ඇත්තටම දහස් ගණනක් වූ ඓතිහාසික ස්ථාන අපේ රටේ තියෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයා ඉදිරියේ ඉන්දියාවට පහළින් ඇති පුංචි දූපතක් කිව්වට ලෝකයේ වැඩිපුර ඓතිහාසික ස්ථාන තියෙන්නේ අන්න ඒ පුංචි දූපතේමද කියලත් අපිට වෙලාවකට හිතෙනවා. ඒ කොහොම හරි ඉතින් ඔන්න අද අපි කියන්න යන්නෙත් අන්න එහෙම ඉතා පැරණි ඓතිහාසික ප්‍රසිද්ධ ස්ථානයක් ගැන. ඒ තමයි මැදිරිගිරිය. කට වචනෙට අපි මෙදා මැදිරිගිරිය කියලා කිව්වට අපි හරියටම කිව්වොතින් කියන්න යන්නේ “පුරාණ මණ්ඩලගිරි විහාරය” ගැන. කියවන ඔබ අද හොඳින්ම දන්න අපේ ලංකාවේ අපූර්වතම වටදාගේ තියෙන්නෙත් අපි මේ කියන තැන තමයි. ඒ වගේමයි ලංකාවේ එදා ආයුර්වේදය ගැන රහස් ගොඩගත්තු තැනක් විදිහටත් මැදිරිගිරිය නම් කරන්න පුළුවන්.
ඇත්තටම මැදිරිගිරියට නැත්නම් අපි දැන් කියපු පුරාණ මණ්ඩලගිරි විහාරයට යන්න මාර්ග කීපයක් තියෙනවා. ඒත් අපි ඔබට කියන්නේ මැදිරිගිරිය යන්න ලේසිම වගේම පහසුම මාර්ගය. ඒ වගේමයි දැන් අපි කියන මාර්ගය ගොඩාක් ළඟයි. ඔබ මැදිරිගිරි යනවා නම් කොහොමත් ඔබ යන්න වෙන්නේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඉතින් ඒ මාර්ගයේ කෙළින්ම ඔබ හබරණ නගරයට යන්න. ඊට පස්සේ එතැනින් දකුණු දිශාවට තියෙනවා පොළොන්නරුව නගරය පැත්තට යන මාර්ගය. ඔය මාර්ගයේ යනකොට ඔබට හම්බවෙයි මින්නේරිය. ඔබ එතැනින් ඔන්න හිඟුරක්ගොඩට ඇවිත් එතැන ඉඳන් සැතපුම් දොළහක් විතර ගියාට පස්සේ හම්බවෙනවා මැදිරිගිරිය කියන නගරය. ඇත්තටම ඒක නම් පොඩි නගරයක්. ඒ නගරය පහුවෙලා කෙළින්ම ඉස්සරහට කිලෝමීටරයක් විතර යද්දි ඔන්න පුරාණ මණ්ඩලගිරි විහාරය පේනවා. හරියටම කීවොත් ඉතින් මේ පුරාණ මණ්ඩලගිරි විහාරය තියෙන්නේ තමන්කඩුවේ සිංහල පත්තුවේ කියලත් කියන්න පුළුවන්. ඉතින් මේ පුරාණ මණ්ඩලගිරි විහාරයට යන මාර්ගය ඔහොමයි.
දැන් අපි බලමු මැදිරිගිරියේ නැත්නම් මේ පුරාණ මණ්ඩලගිරි විහාරයේ ඉතිහාසය කොයි වගේ එකක්ද කියලා. ඇත්තටම මැදිරිගිරියට තියෙන්නේ සෑහෙන්න දිගු ඉතිහාසයක්. හරියටම එම ඉතිහාසයේ මුල් හරිය නිශ්චිතව කියන්න බැරිවුණාට අප පුරාවිද්‍යාඥයින්ගේ අදහස නම් මේ පුරාණ විහාරය ගැන මුලින්ම සඳහන් ක්‍රි.ව. 167-186 කාලයේ කියලයි. ඒ කොහොම හරි එදා කනිට්ඨතිස්ස කියන රජතුමා මේ විහාර භූමියේ සීමා මාලකයක් හැදුවයි කියලා මහාවංශයේ සඳහන්. ඒත් එක්කම අපේ ජනප්‍රවාදයේ තියෙනවා එදා මැදිරිගිරිය හඳුන්වලා තියෙන්නේ “මැඩිලිගිරිය” කියලා. හැබැයි කාලයත් එක්ක මැඩිලිගිරිය ඊළඟට “මණ්ඩලගිරිය” වෙනවා. එතැනින් පස්සේ අද වෙද්දි ඒ මණ්ඩලගිරිය කියන නම කටවහරෙන් “මැදිරිගිරිය” වෙනවා. නමුත් අදටත් ඒ විහාරයේ නම වෙන්නේ පුරාණ මණ්ඩලගිරි විහාරය. ඇත්තටම විහාරය තියෙන්නේ කළුගල් තලාවක් මත. ඒක හරි විශේෂ අපූරු දෙයක්.
ඔන්න ඊළඟට තමයි අපි මැදිරිගිරිය ඉතිහාසයේ වැදගත්ම කොටසක් ගැන කියන්නේ. ඇත්තටම මෙම මැදිරිගිරිය අදටත් ප්‍රසිද්ධ “මැදිරිගිරිය වටදා ගේ” නිසා. ඒ කතාව කවුරුත් දැන් පිළිගන්නවා. එම විහාර භූමියේ තිබුණු එක දාගැබක් මැදිකරලයි එදා මැදිරිගිරිය වටදා ගේ හැදුවේ. ඒත් එම මැදිරිගිරිය වටදා ගේ පැත්තකට කළාම අපිට තවත් ඓතිහාසික දෙයක් මැදිරිගිරියෙන් හමුවෙලා තියෙනවා. ඒ තමයි සෙල්ලිපිවලට අනුව මැදිරිගිරියේ ආරෝග්‍යශාලාවක් තිබුණු කතාව. ඒ කතාවට සාක්ෂි කාලයත් එක්ක මැදිරිගිරියෙන් හම්බවෙනවා. ඒ සාක්ෂි අතරේ එදා ඖෂධ යුෂවල රෝගීන් ගිල්වලා තියන්න භාවිත කරපු බෙහෙත් ඔරුවකුත් තියෙනවා. පස්සේ දවසක කැණීම් අතරින්ම ඒ කියන ආරෝග්‍යශාලාවත් මතුවෙනවා. හැබැයි මැදිරිගිරියෙන් ගොඩ ආපු පැරණි ඉතිහාසය එතැනින් ඉවර වෙන්නේ නෑ. ඊටපස්සේ එම භූමියෙන්ම සුප්‍රසිද්ධ වටදා ගේ මතුවෙනවා. ඒත් එක්ක පෝය ගෙවල් පිළිම ගෙවල් දාගැබ් සහ ජල පොකුණුත් මතුවෙලා එනවා. කොහොමින් හරි 11 වැනි සියවසේ අපේ රටට ආපු ආක්‍රමණ මෙහෙටත් බලපානවා. ඒත් පළමුවැනි විජයබාහු සහ මහා පරාක්‍රමබාහු වගේම නිශ්ශංකමල්ල කියන රජවරුන් ආයෙත් මැදිරිගිරිය ප්‍රතිසංස්කරණය කරලා තිබුණු තත්වයට ගන්නවා. ඒ ගත්තු දේවල්වල නටබුන් තමයි අද අපිට මැදිරිගිරියේ දකින්න පුළුවන්.
අපි මුලින් කියපු විදිහට මැදිරිගිරිය අදත් ප්‍රසිද්ධ “මැදිරිගිරිය වටදා ගේ” හින්දා. ඒ ගැන ආයෙත් කියන්න දෙයක් නෑ. ඉතින් සුප්‍රසිද්ධ ඒ වටදා ගේ ගැනත් අපි අද කෙටියෙන් යමක් කියන්නම්. එම මැදිරිගිරිය වටදා ගේ තියෙන්නෙත් කළුගල් තලාවක් උඩම තමයි. මේ වටදා ගේ ප්‍රධාන දොරටුව තියෙන්නේ උතුරු දිශාව පැත්තට වෙන්න. ඒත් වටදා ගේ අපූර්වතම කොටසක් වෙන්නේ විවෘත වූ බරාඳයකින් වගේම පඩිපෙල් 27ක් තියෙන අලංකාර සෝපානය. ඇත්තටම ඒක නම් මනස්කාන්ත දර්ශනයක්. ඒ වගේම බලන්න වටින අපූර්ව අංගයක්. කොහොම හරි වටදා ගේ වටා හුනු ගලින් කළ ධ්‍යාන මුද්‍රාවෙන් යුතු බුදු පිළිම හතරක් තියෙනවා. වටදා ගේ ගැන කිව්වොත් දාගැබ වටා අලංකාර කුලුනු පේළීන් තුනක් ඇතුළත අඩි 17ක් උස කුලුනු 20ක් එතැනින් ගියාම ඒ මැද අඩි 16 උස කුලුනු 20ක් සහ පිටින් අඩි 09ක් උස කුලුනු 32ක් තියෙනවා. මැදම කුලුන නම් තියෙන්නේ කළුගලින් කරපු බිත්තියකින් වටවෙලා. ඒකට කියන්නේ “බෞද්ධ ගල් ගරාදි වැට” කියලා. ඊට පස්සේ වටදාගේ වෘත්තාකාර විෂ්කම්භය ගත්තොත් ඒක අඩි 90ක් තියෙයි. වටදා ගේ වෙත ඇතුළුවෙන්න තියෙන්නේ පඩිපෙල් මඟින්. ඒ වගේමයි එය අසලින් “ඉතිපිසෝ” කියලා ලියපු රන්පත් ඔරුවක් හමුවෙලා තියෙනවා. ඒ අක්ෂර අයිති 8 වැනි සියවසට. එහෙම බැලුවම වටදා ගේ හැදුවේ අපේ හතරවැනි අග්බෝ රජතුමාද කියලත් හිතෙනවා.
අපි අර මුලින් කියපු විදිහට මැදිරිගිරියේ පැරණි ආරෝග්‍යශාලාවේ නටබුන් හමුවෙලා තියෙන්නේ අර වටදා ගේ ඉදිරියේ තියෙන අපූර්ව කළුගල් තලාවටත් උතුරු දිශාවෙන්. මහා පොළවේ කණු හිටවලා හදපු ගොඩනැඟිල්ලක් විදිහට ඒක අපිට අද නම් කරන්න පුළුවන්. ඒත් අර හමුවුණා කියපු බෙහෙත් ඔරුව සහ සෙල්ලිපිය හමුවෙලා තියෙන්නේ වෙනත් තැනකින්. ඒ කියන්නේ පැරණි ආරෝග්‍යශාලාවේ නටබුන් අසලින් නෙවෙයි. කොහෙන් හම්බවුණත් එහෙම දේවලුත් ඔන්න හම්බවෙලා තියෙනවා. ඉතින් ඊළඟට අපි එම හමුවුණු ආරෝග්‍යශාලාවේ බිම් සැලැස්ම ගත්තොත් ඒක නම් ලොකු කුඩා විදිහට සමචතුරස්‍රයන් දෙකක හැඩයක් ගන්නවා. කුඩා සමචතුරස්‍රය කණු 18 කින් සහ ලොකු සමචතුරස්‍රය කණු 33කින් සමන්විතයි. ඒත් එක්කම ආරෝග්‍යශාලාවේ දොරටුව තියෙන්නේ නැඟෙනහිර දිශාවට මුහුණලා. එතැනින් ගියාම බටහිරට වෙන්න කාමර තුනක් සහ උතුරට වෙන්න කාමර දෙකකුත් මේ ආරෝග්‍යශාලාවේ තිබුණයි කියලා පුරාවිද්‍යාඥයින් දැන් හොයාගෙන ඉවරයි. ඉතින් මේ ආරෝග්‍යශාලාව දිහා බැලුවම අපිට පේනවා එදා අපේ රටේ වෙදකම නැත්නම් ආයුර්වේදය කියන එක තිබුණේ කොතැනද කියලා. අපි හිතන්නේ එදත් අපේ රටේ ඒ දේවල් දියුණු තැනක තිබිලා තියෙනවා.
රුවන් එස්. සෙනවිරත්න











