ඔබේ නව යොවුන් දරුවා හිතුවක්කාරයෙක්ද? මෙම පැනයට ඔබෙන් එක්වරම පිළිතුරක් නොලැබෙනු ඇත.
දරුවෝ නොතේරුම්කමට කොයිතරම් හිතුවක්කාර වැඩ කරනවද? ඒවා කාලයත් එක්කම වෙනස් වෙනවා. එය ඔබේ පිළිතුර විය හැකිය. දරුවා හිතුවක්කාරයෙක්ය යන හැඟීම සමාජයෙන් දරුවා වෙත එල්ලවෙනවාට ඔබ කැමැති නැත. දරුවෙක් කොතරම් වැරැදි කළද, මවුපියන් දරුවන් දෙස බලන්නේ එම අකාරයටයි.
‘අහවල් ගැටවරයා දඩබ්බරයෙක්ද?’
ඔබෙන් ඔබ හොඳින් දන්නා ගැටවරයකු පිළිබඳව යමෙක් විමසීමක් කළහොත් එම ගැටවරයා දඩබ්බරයකු නම් ඔබ නොපැකිළව එය පවසනු ඇත.
වර්තමාන ලෝකයේ සමාජයට පිළිලයක් වී ඇත්තේ තරුණ පෙළ සතු දඩබ්බරකාරී ක්‍රියා පිළිවෙතයි.
ඇතැම් පවුල්වල මෙලෙස නාහෙට නාහන අයකු සිටින්නට පුළුවන. නිවෙසට බාධකයක් වන මෙම හිතුවක්කාරයන් කාලයකදී සමාජයටම විශාල බාධකයක් වන්නට ඉඩ ඇත.
පාතාල ක්‍රියාකාරකම්, මරාගෙන මැරෙන කල්ලි, නිවෙසින් බිහිවන දඩබ්බරයන්ගේ ක්‍රියාකාරී රටාවනට අනුගත වෙයි. ආත්මයම තිරිසන් ආත්මයක් කරගනිමින් මුදලට, බලකාමයට මෙවැන්නවුන් අනුන් මරාගෙන මැරෙති.
සියදිවි නසාගන්නා තරුණයකු එයට පෙලඹෙන්නේද බොහෝ විට තමනට විඳදරා ගැනීමට නොහැකි වූ පෞද්ගලික කරුණක් මුල් වීමෙනි. මරාගෙන මැරෙන පුද්ගලයාට ඇත්තේ අනෙකා මරා දමා පළිගැනීමේ චේතනාව පමණකි.
සමාජයට හිසරදයක් වෙමින් තම නිවෙසට මාරකයක් වන තමා පවුලට අවමානයක් වන තරුණ පෙළ විශේෂයෙන් මත් වතුරට, මත් කුඩුවලට නැඹුරු වූවන්ය. නොගැළපෙන හිතමිතුරන් නිසාද සුරාවට, සූදුවට යොමුවූ තරුණ පිරිස්ද අපමණය.
ගිනිදැල්, වෙඩිසර සහ අවි ආයුධවලින් සිදු කරන ලේ ගැලීම් ආදිය සාමාන්‍ය කරුණු ලෙස සලකනු ලබන මෙම පිරිස් එයට යොමු කරන සමාජ රටාව පිරික්සීමෙන් ඔවුන් එයට අනුගත වූ ආකාරය හඳුනාගත හැකිය. එම හඳුනාගැනීම සාර්ථක වන විට සියල්ල සිදුවී හමාරය. සමාජගත වීමට පෙර නිවෙසට දඩබ්බරයකු වන දරුවා නැණවත් වැඩිහිටියන්ට දරුවාගේ උපතේදීම නිවැරැදිව හඳුනාගත හැකිය.
සියදිවි නසාගත්තවුන්, මරාගෙන මැරෙන පුද්ගලයන්, භයානක අනතුරුදායක කටයුතුවලට නැඹුරු වන පුද්ගලයන් ජ්‍යොතිෂය අනුව මුල් කාලයේදීම හඳුනාගත හැකිය. ජ්‍යොතිෂමය සිද්ධාන්ත අනුව මරාගෙන මැරෙන පුද්ගලයන් බිහිවීමට අඟහරු, සෙනසුරු, රාහු සහ සඳුගේ බලය මූලික වන බව පෙනෙන්නට තිබේ.
රවි, ශනි, රාහු ලග්නගතවී සඳු කුජ දෙදෙනා 4, 7, 8, 12 යන ස්ථානවල පිහිටියදී, අනෙකුත් ග්‍රහයන් වැඩි දෙනකුද එම ස්ථානවලට යොමු වී සිටියේ නම් ඉතා දරුණු අන්දමින් පළිගන්නා පුද්ගලයකු ජනිත කරවාලයි.
චන්ද්‍රයා කුජ, ශනි, රාහු ආදී පාපයන්ගෙන් පීඩාවෙත්ම සිතිවිලි දරුණු වෙයි. සෞම්‍ය හැඟීම් දුරුවෙයි. දැඩි ආත්මාර්ථකාමීකමක් ඇති වෙයි. පළිගන්නා සොබාවක් ඇති වීමට එම ග්‍රහ පිහිටීම් මූලික වෙයි. ශනි, කුජ, රාහු කවර ආකාරයකින් හෝ දැකීම, සම්බන්ධ වීම දරුණු භයානක කටයුතුවලට පුද්ගලයා නැඹුරු වීමකි.
කුජ, රාහු දෙදෙනා ඒකරාශිවී සෙනසුරුට හෝ සඳුට සප්තම වීම භයානක යෝගයකි.
7 වැන්න කටකය වී රවි, කුජ දෙදෙන එහි යෝග වීම ඉතා නරක ගතිගුණ මතු වීමකි. ඉතා අවාසනාවන්ත කාලකණ්ණි ජීවිතයක් ගතකිරීමට හේතුවෙයි.
හිරු, සඳු දෙදෙනා 7 වැන්නේ සිටියදී සෙනසුරුට පමණක් පෙනීම තම කුලයට නොහොබිනා ක්‍රියා කරන නීචයෙක් වී විනාශ වීමකි.
7 වැන්නේ කුජ, ශනි, රාහු සිටියදී උපන් තැනැත්තා ස්ත්‍රී දූෂණ ආදී පහත් ක්‍රියාවනට නැඹුරු වී දඬුවම් ලබා තමන් සිටින තත්ත්වයෙන් පහතට ඇදවැටෙන පිහිටීමක් බව කියැවෙයි.
මෙවන් වූ ග්‍රහ සංකලන රාශියකින් යමකුගේ දරුණු බව සහ විනාශ වීම හඳුනාගත හැකිය. මරාගෙන මැරෙන යෝග වුවද, එලෙසින්ම ක්‍රියාත්මක නොවන්නේ සුබ වූ ග්‍රහයන්ගේ බලවත්වීම දැකීම නිසාය. ඇතැම් ග්‍රහ පිහිටීම් දඩබ්බරයකුට දිගුකල් ජීවත් වීමට ඇති බලය දුර්වල කරවයි. ජීවත්ව සිටින කාලය තුළදී වස-විස, අවි-ආයුධ පරිහරණය කිරීම, ලේ සෙලවීම ආදී බිහිසුණු ක්‍රියාවකට සම්බන්ධ වූවන් බොහෝ විට අනුන් නසාගෙන තමන්ද නැසෙනවා ඇත. සියල්ල පෙර ආත්ම භවයේ කරන ලද අකුසල කර්මයන්ගේ පලවිපාකයන්ය.
වැඩිහිටියන් විසින් දරුවකුගේ අයහපත් ග්‍රහ පිහිටීම් හඳුනාගෙන ළමා කාලයේදීම දරුවා පරිසරයෙන්, ආශ්‍රයෙන් ආරක්‍ෂා කරගැනීම දරුවාගේ යහපතට හේතු වෙයි.
දරුණු අයකු යහපත් මාර්ගයට ගැනීමට ජ්‍යොතිෂයෙන් පෙන්වා දෙනු ලබන උත්තරීතර දැක්ම ප්‍රයෝජනයට ගැනීම සෑම මවුපියෙක්ම හඳුනා ගතයුතු සත්‍යයකි.
සියල්ල රහස් නොවන්නේය. සත්‍ය කවදා හෝ එළිදකින්නේය. ජ්‍යොතිෂයේ මඟදැක්ම සියල්ලට අනුගතය.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











