1815 මාර්තු මස 02 වැනිදා මහනුවර මඟුල් මඩුවේදී ලංකාවේ බි්රතාන්ය ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් හා උඩරට සිංහල නායකයන් අතර ගිවිසුමක් ඇති විය. එයින් උඩරට රාජ්‍යයේ පාලනය බි්රතාන්යයට පවරා දෙනු ලැබිණි. මේ සමඟම එතෙක් කන්ද උඩරට මුල්කරගෙන පැවැති ස්වාධීන සිංහල රාජ්‍ය අවසන් විය.
තමන් වෙතින් උදුරාගත් උරුමය යළි අත්පත් කරගැනීමට උඩරටත් – ඌව වෙල්ලස්සේත් කැරැල්ල සඳහා සිංහල නායකයන් සංවිධානය වූයේ ගිවිසුමෙන් වසර දෙකකට පමණ පසුවය. මේ කාලය තුළ වෙල්ලස්සේ දානිගල වැදි පරපුර ඉතා ප්‍රබල ජන පිරිසක් බවට පත්ව සිටියේය. දානිගල වැදි රජා ලෙසට ප්රකටව සිටියේ පොරෝමලාය. මහකයිරා හා හඳුනා යනුවෙන් සහෝදරයන් දෙදෙනකුද විය. එකල මෙම වැදි පරපුරේ පැවැත එන්නන් ලෙසට හඳුන්වන අප්පිලා, අම්මිලා, කිරි අප්පලා, කිරි අම්මලා, නෑනිලා, මස්සිනාලා, කැකුළන්, කැකුළියන් ආදී දහස් ගණනක් ජීවත් වුණු බවට ජනප්රවාදයේ සඳහන් වෙයි. පොරෝමලා ඉතා එඩිතර නායකයකු බවද කියති. දානිගල මහවනයේ එකල ජීවත් වුණු සුදුගෝනා නමින් හඳුන්වන විශාල ගෝනකු පොරෝමලා සමඟ මිතුරු වී සිට ඇත. පොරෝමලා විසින් රෑහේ ඇත්තන්ට මෙම ගෝනා මැරීමද තහනම් කර තිබුණු බව සඳහන්ය. මෙම ගෝනා දිනපතාම පොරෝමලාගේ වාඩියට නැත්නම් පදිංචි නිවෙසට ඒමටත් පුරුදුව සිට ඇත. එකල ආදිවාසීන් අද මෙන් බත් නිතර ආහාරයට නොගත් අතර, කැලයේ හොඳින් වැඩෙන කටු අල හා තලප ආහාරයට ගත් අතර, ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වූයේ දඩමස් හා මී පැණිය. සුදු ගෝනාද ඒවා කෑමට පුරුදු වීම නිසා පොරෝමලාගේ නිවෙසට නිතර පැමිණ ඇත.
මේ අතරතුර ඌවේ ඉංග්‍රීසි ආණ්ඩුකාර සර් විල්සන් ඩග්ලස්ට දඩමස් හා මී පැණි අවශ්‍ය විය. මේ සඳහා දානිගල පොරෝමලා සොයා පණිවුඩකරුවන් දෙදෙනකු අසු පිටේ නැඟ දානිගලට ආවේය. ඔවුන් පැමිණෙන විට ඉරගල වැටී ඇඳිරි වැටෙමින් තිබිණි. එකල වැද්දන් දඩමස් හා මී පැණි සොයා ගැනීමට හත් අටදෙනා එකතු වී වනයට යති. ඔවුන් නැවැත නිවෙස්වලට පැමිණෙන්නේ දින කිහිපයක් ගත වූවාට පසුවය. නිවෙස්වල ඉතිරි වන්නේ බිරියන් හා දරුවන්ය. දානිගල මහවැද්දා සොයා පැමිණි ඌවේ ආණ්ඩුකාරවරයාගේ පණිවුඩකරුවන් දෙදෙනාට රෑ බෝවීම නිසා මහවැද්දා හමුවීමට අවසර නොලැබිණි. එකල අද මෙන් නොව දානිගල මහවැද්දාට ඔත්තු සැපයීමට ආරක්ෂාවට පිටස්තර අයකු පැමිණියොත් ඒ බව දැනුම් දීමටත් පිරිසක් යොදා තිබිණි. රෑයේ ඇත්තන් කැලයට ගොස් එකතු කරගත් දඩමස්, මී පැණිවලින් අඩක් නායකයාට දීම කළයුතුය. කැලේ නොයන නායකයාට හා රෑහේ ඇත්තන්ට ආරක්ෂාව දෙන පිරිසට නඩත්තු සපයන්නේ නායකයා විසිනි. ඔහුට ලැබෙන දඩමස් හා මීපැණිවලින් කොටසක් ලබා දීමෙනි. එකල මොවුන් අතර මුදල් හුවමාරුවක් නොතිබුණු අතර, දඩමස් හා මී පැණි හැම දේකටම යොදා ගත්හ. කෙසේ වෙතත් පණිවුඩකරුවන් දෙදෙනාට එදින පහන්වනතුරු මහ වැද්දාගේ අණට යටත්ව ඔහුගේ ආරක්ෂකයන් පෙන්වන ලද ගල්තලාවක ලැගුම් ගැනීමට සිදුවිය. මොවුන් දෙදෙනාට දඩමස් හා මීපැණිවලින් සංග්‍රහ කළ බවත් පැරැන්නෝ කියති. පසු දින වැදි නායකයා ගෝනකු බරට දඩමස් හා මීපැණි බැඳ දී පණිවුඩකරුවන් පිටත් කළ බවද සඳහන් වෙයි.
එකල වැදි නායකයා දානිගල කඳුවැටියේ උසම ස්ථානයේ කඳන්වලින් අට්ටාලයක් සාදාගෙන සිටි බවත් පහළ සිටින ආරක්ෂකයන්ගේ අවසරය නොමැතිව රෑහේ කාන්තාවන්ට පවා හමුවීමට නොහැකි බවත් වැදි නායකයා එකල රෑහේ ඇත්තන්ට රජෙක් මෙන් සිටි බවද සඳහන් වෙයි. එකල ආදිවාසීන් ඔවුන්ට අවශ්‍ය පොරෝ, කෙටේරි, දුනු-ඊතල ආදී සියල්ලම සාදාගෙන ඇත්තේ ඔවුන්මය. එකල කම්මල් වැඩට වෙනම අය යොදවා තිබුණු බවත් සඳහන් වෙයි. දානිගල වැදි පරපුර ශ්‍රී ලංකාවේ මුල්ම වැදි ජන කොට්ඨාසය බවට ඉතිහාසයට එක් වී ඇත. කන්ද උඩරට රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් වාසගම් නාමය ලබාගත් එකම වැදි ජන කොට්ඨාසය බවට ඉතිහාස ගතවී ඇත. දානිගල මහ බණ්ඩාරලාගේ යන නාමයත්, දානිගල කැලේ 38 යොදුනක් දඩමස් හා මී පැණි සපයා ගැනීමට පූජාකොට ඇත. එහෙත් අද වන විට වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන් වැද්දෙකුට කැලයට ඇතුළු වීමද තහනම් කොට ඇත. රන්දුනු වන්නියාගෙන් පසු රෑහේ ඇත්තන්ට පුරුදු රක්ෂා දඩමස්, මීපැණි සෙවීම අතහැර දමා කොළොම් පොජ්ජේ කොන්ක්‍රීට් වැඩපොළවල අත්වැඩ දීමට ගොස් ජීවිකාව ගෙන යෑමට සිදුව ඇත.
එදා බි්රතාන්ය පාලනයේ සුද්දෝ දණගස්සන්ට දානිගල වැදි නායක පොරෝමලාට හැකි වුවත් අද වන විට වර්තමාන වැදි පරපුර දියවී ගොස් සුළු පිරිසක් බවට පත්ව ඇත. දඩමස්, මී පැණි සොයා ගැනීම ඉතා අසීරුය. ඔවුන්ගේ සංස්කෘතික රටාවන් අභාවයට ගොස්ය. වර්තමාන වැදිනායක සුදා වන්නිලා ඇත්තන් අවලංගු කාසියක් බවට පත්ව ඇත. එදා වැදි නායක පොරෝමලා සුද්දෝ දණගස්වා ඔවුන්ට පාඩමක් උගැන්නුවත් මේ වන විට වැදි නායක තම පලකට නැති පිරුවටයක් බවට පත්ව ඇත.
පුරා වසර 500කට වැඩි ඉතිහාසයක් ඇති දානිගල වැදි පරපුරද අවසානය පෙර කී සුදු ගෝනා මරා කෑමෙන් පසු අත්වුණ ඉරණමක් බවට පැරැන්නෝ හඳුන්වති. එදා වැදි නායක පොරෝමලා රෑහේ ඇත්තන්ට කියා තිබුණේ මේ කැලේ ඉන්න සුදු ගෝනා මරාපු දවසට වරිගෙ විනාශය සිදුවන බවයි. සුදු ගෝනාට අත නොතබන ලෙසට කියා තිබුණත් වැදි නායක පොරෝමලා මිය යෑමෙන් පසු ඇතැම් රෑහේ ඇත්තන් එක්වී ගෝනා මරා දැම්මේ නිකම් නොවේ. නායකයා රෑහේ ඇත්තන්ට කියා තිබුණු ගෝනාගේ ඉස්තුල්ලේ තිබෙන (මොළය) නිල් මාණික්‍යය අරගන්නටය. ගෝනා මරා හිස කැබැලිවලට වෙන් කළද, නායකයා කියා තිබුණු නිල් මැණික දැකගන්ට නොලැබිණි. පසුව ගෝනාගේ මස් කෑමෙන් පසු රෑහේ ඇත්තන්ට හටගත් පාචන රෝගයෙන් රෑහේ බාල, මහලු, තරුණ විශාල පිරිසක් මියයෑමෙන් පසු දානිගල කඳුවැටිය අතහැර පසු කලෙක රතුගල තැනිතලා බිමට පැමිණ එය වාසභූමිය කරගත්හ. එතැන් පටන් ඔවුන් රතුගල ආදිවාසීන් නමින් ප්‍රසිද්ධය.
වීගොඩ හේමපාල











