ඉදිරි මහමැතිවරණය තරග වදින ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (07) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුව පැවැත්වීමකින් තොරවම අවසන් කිරීමට සිදුව තිබිණ.
හිටපු ජනාධිපතිනිය මෙන්ම පක්ෂයේ අනුශාසිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අනාරාධිතවම එම හමුවට පැමිණ තිබීම මේ සදහා හේතු වී තිබේ.
පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම රැස්වීමට හිටපු ජනාධිපතිනිය සහභාගී වීමත් සමග එහි සිටි ඇතැම් පිරිස් ඇයට විරෝධය පළ කොට පක්ෂ මූලස්ථානයෙන් පිටව ගොස් ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මේ තත්ත්වය වාර්තා වීමත් සමග මෛත්‍රිපාල සිරිසේන මහතා ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට පැමිණ නොමැති අතර මහගමසේතර මාවතේ පිහිටි සිය නිල නිවෙසට පැමිණෙන ලෙසට මැතිඇමැතිවරුන් පිරිසකට දැනුම් දී තිබේ.
ඒ අනුව මැතිඇමැතිවරුන් හා ආසන සංවිධායකවරුන් පිරිසක් මහගමසේකර මාවතේ පිහිටි ඒ මහතාගේ නිවෙසට ගොස් මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පියවර ගෙන ඇත.
පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා සියලු දෙනාටම දැනුම් දී ඇත්තේ තමන් පිටුපසින් පැමිණෙන ලෙසත්, යළිත් ශ්‍රීලනිප මූලස්ථානයට ගොස් ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම පැවැත්වීමට කටයුතු කළ යුතු බවත්ය.
ඒ අනුව සියලු දෙනාම සිරිසේන මහතාගේ රථය පිටුපසින් සිය රථවල නැගී පක්ෂ මූලස්ථානය දක්වා යාමට කටයුතු කර ඇත.
කෙසේවෙතත් ඒ එන අතරමගදී සිරිසේන මහතාට ලැබුණු දුරකතන ඇමැතුමකින් දැනුම් දී ඇත්තේ පක්ෂ මූලස්ථානය තුළ මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් රැදී සිටින බැවින් කිසිසේත්ම එහි නොපැමිණෙන ලෙසය.
මෙම ඇමතුම ලැබීමත් සමග සිය නිල රථය වෙනත් පැත්තකට හරවා ඇති සිරිසේන මහතා සිය මැතිඇමැතිවරුන් හා ආසන සංවිධායකවරුන්ටත් දැනුම් නොදී ඔවුන්ව අතරමං කොට හීන්සීරුවේම වෙනත් දිසාවකට ගොස් ඇති බවද දැනගන්නට ඇත.










