2019 වර්ෂය ගෙවී නව වසරක් උදාවීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. සිංහල අලුත් අවුරුද්ද වගේම 2020 වර්ෂයේ ජනවාරි පළමු වැනිදාත් කාටත් සුවිශේෂී දිනයක්. වසරක ආරම්භය සනිටුහන් කරන්නා වූ පළමු දිනය නිවෙසටත් වගේම විශේෂයෙන්ම තමන්ටත් යහපතක් සිදු කරගන්නට හැමෝම යම් යම් කාරණාවලින් සිත පුරවා ගෙන සිටිනවා විය යුතුය. නැවුම් අත්දැකීම් ජීවිතයට එකතු කර ගන්නටත්, ඉටු කරගන්නට නොහැකි බොහෝ කරුණු කාරණා මේ වසරේ ඉටුකර ගන්නටත්, සිත බලවත් ඕනෑකමින් පසුවනවා ඇත. එසේම වසරක් ගෙවී නව වසරක් උදාවේදී සිතට නව අරුතක් එකතු කරනවා වගේම ඔබ සැමදා ජීවත් වන්නා වූ සැමදා දුක සැප එකට බෙදාගන්නට සෙවණ සැලැසුවා වූ ආදරණීය නිවෙසටත් නව වසර දැනෙන්නට සැලැස්වීම කවර ජන්මියකුගේ වුවද වගකීම වනු ඇත.
එනම් විශේෂයෙන් නිවෙස පිරිසුදු කිරීමට මූලික තැනක් ලබාදීම සිදු කළ යුතුය. නිවෙසේ අහුමුලුවල පවතින්නා වූ කිලි කුණු සියල්ලක් නව වසර ආරම්භයට ප්‍රථම හොඳින් පිරිසුදු කොට ඉවත් කිරීමට සිතට ගත යුතුය. එසේම ඔබ මේ වසරේ යම් යම් පීඩාවන්ගෙන් හෝ දෝෂකාරීත්වයෙන් යුක්ත වූයේ නම් ඒවායින් නව වසරේ මුල සිටම මිදීමට අවශ්‍ය මාර්ගය සකස් කර ගැනීමද වටින්නේය. නිවෙස තුළ යම් අමනුෂ්‍ය දුර්ගන්ධයන්, පා`ඵ ස්වභාවයන් වගේම හානිදායක සතුන්ගෙන් පීඩා ඇති වීම ආදියටත් නිත්‍ය විසඳුම් මේ වසර ආරම්භය තුළදීම දුරු කර ගැනීමට සිතට ගැනීම වටනේය. මෙවැනි තත්ත්වයන්ට නිත්‍ය විසඳුම ළං කරන බලවත් සුවඳ ධූපයක් සකස් කර ගන්නා ආකාරය පිළිබඳව අද මා ඔබට අවබෝධය ලබා දීමට කැමැත්තෙමි. ඉහත සඳහන් කරන්නට යෙදුණු නිවෙසේ බොහෝ අසුබතාවන් සරලව දුරු කර ගැනීමට පවත්නා හැකියාවන් මේ ධූපය තුළ ගැබ් ව පවත්නා බැව් නොරහසකි.
අතීතයේ පටන් බොහෝ සෘෂිවරුන්ද මෙම ධූපය අෂ්ටගන්ධ ධූපය නමින් පොත පතෙහි පෙන්වා දීමක් සිදුකර ඇති අතරම, එය නිවැරැදිව සකසා ගැනීම උදෙසා මතු දැක්වෙන ඖෂධ වර්ගයන් යොදා ගැනීම සිදු කරන්න.
- කුරුඳු පොතු
- එනසාල්
- කොල්ලන්කොළ
- නාමල් රේණු
- කපුරු
- කපුකිණිස්ස
- අගිල්
- කරාබු නැටි
- කවඩි සාම්බ්‍රාණි
ඉහත දැක්වූ එක් එක් දේ සම පමණ ගෙන අව්වේ වේළා චූර්ණ කර එම බරට සමානව කවඩි සාම්බ්‍රාණි දමා කලවම් කර නැවුම් මුට්ටියකට දමා කරණීය මෙත්ත සූත්‍රයෙන් සහ රතන සූත්‍රයෙන් 1000 වර ජීවම් කර පිරුවටයකින් කට බැඳ තබා ගන්න. නව වසරේ ආරම්භයත් සමඟ මේ බලවත් ධූපය දිනපතා නිවෙසට සහ ඉඩමට හොඳින් දුම් අල්ලා මූ දේවිය නිවෙසින් පන්නා ශ්‍රී දේවියගේ ආශීර්වාදය ඇල්ම බැල්ම නව වසරේ බලවත්ව ළං කර ගන්න.
ඔබට තුන් රුවනේ ආශීර්වාදය සදාකල් උදාව පවතීවා.
ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන











