යුරෝපීය පෙනුමකින් යුතු කඩවසම් නළුවකු වූ ඩග්ලස් රණසිංහ සිනමාවට පැමිණියේ වේදිකාව හරහාය. ඔහුගේ පළමු චිත්‍රපටය වූයේ රෝමියෝ – ජුලියට් ආදර අන්දරයයි. රෝමියෝ ලෙස රඟමින් තරුණ සිත් කුල්මත් කළ මේ දක්ෂ රංගවේදියා තම කාර්යබහුල දින චර්යාවෙන් එක් මොහොතක් ‘හාට්’ විශේෂාංගය වෙනුවෙන් තිළිණ කිරීමට තරම් නිහතමානී වූ සොඳුරු හෝරාව ආරම්භ වූයේ මේ ආකාරයටය.
ඉතින් කියන්න කොහොමද මේ දවස්වල ජීවිතේ?
ජීවිතේ හරිම සුන්දරව ගලායන සෙයක් මට දැනෙනවා. රංගවේදියකු ලෙස මම මේ දිනවල ඉතාම කාර්යබහුලයි. සරලව කියනවා නම් මම ඉතාම සතුටින් ජීවිතයට මුහුණ දෙනවා.
රංගවේදියකු ලෙස කාර්යබහුල යැයි කීවේ ටෙලිනාට්‍ය රූගත කිරීම් ගැනද?
ටෙලිනාට්‍ය රූගත කිරීම්වල නියැළී සිටිනවා. ඒ වගේම චිත්‍රපට කිහිපයකම වැඩ නිමවූයේ ගෙවීගිය දින කිහිපය තුළයි.
චිත්‍රපට හැදෙන බව අහන්නත් ආසයි. ඒ ගැන තොරතුරු කියමුද?
සත්තකින්ම කියනවා නම් චිත්‍රපට අලුතින් නිෂ්පාදනය වෙන්නට ගන්නා ප්‍රවණතාවක් තියෙනවා. ඔබ කීවා වගේම එය සතුටට කාරණයක්. චිත්‍රපට තුනකම වැඩ කටයුතු අවසානයි. තවත් එක් චිත්‍රපටයක හඬකැවීම්වල සුළු කොටසක් අවසන් කිරීමට තිබෙනවා.
නම් වශයෙන් එය පැවැසීමට කැමැතිද?
‘සිනෙමා’, ‘මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි’, ‘බරතලී’ සහ ‘විසංගමනය’ ඒ ලෙස එම චිත්‍රපට කිහිපය නම් කළ හැකියි. ‘විසංගමනය’ චිත්‍රපටය විදේශ රටවලද රූගත කිරීම්වලට ලක්වූවක්. ඒ වගේම කතාබහට ලක්වූ පෝය දින ටෙලිනාට්‍ය කිහිපයක පසුගිය කාලයේ රඟපෑවා. ඒ දිනුකගේ ‘දෙමාපියෝ’ සහ ‘පුණ්‍යානුමෝදනා’ යන වේදිකා නාට්‍යවලයි. ඒ අතර මේ දිනවල සාරංග මෙන්ඩිස්ගේ ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේද රූගත කිරීම් සිදුවෙනවා. ඉහත කී චිත්‍රපට කිහිපය 2020 වර්ෂයේ තිරගත වෙනතුරු මම බලාපොරොත්තුවෙන් දෑස් දල්වා සිටිනවා.
ඔබ බොහෝ සතුටින් සිටින බවයි පෙනෙන්නේ?
ඔව්. මුලින්ම මම එය කීවා. හිතන්නකෝ ටිකක් කලාකාරයකුට හෝ රංගවේදියකුට රඟපෑම් සඳහා ආරාධනා ලැබෙනවාය කියන්නේ එය විශාල සතුටක්. මම ඒ සතුට අත්විඳින්නේ රංගවේදියකු ලෙස තවමත් වැඩ කරන නිසයි.
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයක් ගැන පසුගිය දවසක ඔබේ බලාපොරොත්තුවක් තිබුණා නේද?
ඔව්. මගේම නිර්මාණයක් ගැන අදහසක් තිබුණා. නමුත් යම් හේතුවක් මත එය මඳකට නවතාලන්න සිදුවුණා.
හේතුව රහසිගතයිද?
අපොයි නැහැ. එය කිවයුතුම කතාවක්. ඇත්තෙන්ම කියනවා නම් වේලාව පිළිබඳව ඇතිවුණු ප්‍රශ්නයක් මතයි මගේ නිර්මාණය මඳකට නවත්වන්න සිදුවූයේ. පැහැදිලි කිරීමක් කරනවා නම් රූපවාහිනී සේවාවල හොඳම වෙලාව කියන න්‍යායක් තුළ ටෙලිනාට්‍ය විකාශනය කිරීමේ වේලාවක් සුවිශේෂීව වෙන්ව තිබුණා. අන්න එතැනදී අපට අවශ්‍ය පහසුකම් ලැබුණේ නැහැ.
ඒ කියන්නේ වෙනත් සිංහල ටෙලිනාට්‍යයක් සඳහා ඔබ ඉල්ලා සිටි වෙලාව වෙන්වී තිබුණාද?
එවැන්නක් සිදුවූවා නම් එය සාමාන්‍ය සිදුවීමක් ලෙස හිත හදාගන්නට තිබුණා. නමුත් සිත දැඩි කලකිරීමකට සහ දුකට පත්වන කාරණයක් තමයි එයට පසුබිම් වූයේ.
ඔවුන් මට කියා සිටියේ නොකඩවා විකාශනය වන ඉන්දියානු ටෙලිනාට්‍යයක් සඳහා එම වේලාව වෙන්කර තිබෙන බවයි. නිහඬව සිටිනවා ඇරෙන්නට කළ යුතු කිසිවක් තිබුණේ නැහැ. ඉන්දියානු ටෙලි නාට්‍ය සඳහා එලෙස වේලාවන් අලෙවි වන බව මම දැනගත්තේද ඒ මොහොතෙයි. ඇත්තෙන්ම දැනුණු කනගාටුව මෙතෙකැයි කියන්නට බැහැ. ටිකක් නැවතිල්ලේ හිතලා බලන්න ඉන්දියානු ටෙලිඩ්‍රාමාවල තිබෙන හරය හෝ වැදගත්කම මොකක්ද? වැඩි හරියක්ම එහි කියැවෙන්නේ පළිගැනීම, ඊර්ෂ්‍යාව, වෛරය හෝ ක්‍රෝධය, එහෙමත් නැත්නම් අනියම් සම්බන්ධතා. මම මේ විදියට කතා කරන එක ගැන කාගේ හෝ හිත රිදෙන්නට පුළුවන්. නමුත් ඇත්ත කතා කරන්නට බය වෙන්න ඕන නැහැ. මම තවත් කතාවක් කියන්නම්. ඉන්දියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් සියයට අනූවක්ම හරයක් නැති ඔය ඉන්දියානු ටෙලිනාට්‍ය කලාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ සිංහල ටෙලිනාට්‍යයක් ඉන්දීය ටෙලිනාට්‍යයක් නිසා පසුබෑමකට ලක්වෙනවා කියන්නේ එය ලැජ්ජාවට කාරණයක්.
මෙතැනදි ඔබ වැනි ප්‍රවීණයකු නිහඬව සිටීම සුදුසුයි කියා හිතනවද?
අපි මඳකට නිහඬව සිටින්නේ. ඔවුන් මේ වෙනුවෙන් යමක් කරයි කියන හැඟීම මතයි. කොහොම හරි අපි අපේ නිර්මාණය සඳහා වේලාව හදාගන්නවා කියන අධිෂ්ඨානය මා තුළ තිබෙනවා. ඔවුන් අපට එහෙම කරන එකක් නැහැ. සලකලා බලයි කියන හැඟීම අප තුළ තිබෙනවා.
අනෙක මෙය මගේ පළමු ටෙලිනාට්‍ය නිර්මාණය නෙවෙයි. මීට කලින් මම ‘රන්මසු උයන’, ‘සසර චක්‍ර’, ‘දිය යට ගිනි’ යන නිර්මාණයන් අධ්‍යක්ෂණය කළා. ‘දිය යට ගිනි’ ටෙලිනාට්‍ය නිර්මාණය වූයේ මගේ සහෝදරියක වූ ආචාර්ය මල්කාන්ති ගුණරත්න කියන ලේඛිකාවගේ කෘතියකට අනුවයි. ‘ලේ සහිත කිරි’ යන්න වූ කෘතියෙහි නම ටෙලි නිර්මාණයේදී ‘දිය යට ගිනි’ ලෙස වෙනස් වූවා. සතුටුයි කියන්න ඒ හැම නිර්මාණයක් සඳහාම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ සියල්ල විකාශනය වූයේ ජාතික රූපවාහිනියෙයි.
‘සාරංගා’ ගැන කතා කරමු. ‘සාරංගා’ කියන්නේ ඔබට අසීමිත ජයප්‍රියත්වයක් ලැබුණු සිනමාපටයක්?
සත්තකින්ම ඔව්. මම ‘සාරාංගා’ චිත්‍රපටයට ඉතා තදින් ප්‍රිය කරනවා.
ඔබේ යුරෝපීය නළු පෙනුමට තරුණ තරුණියන් එකල වැඩි වී සිටියා නේද?
මගේ පෙනුම බටහිර පෙනුමට බර වැඩී කියලා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නම් මට කිව්වා මතකයි.
ඔබ ඇඳුම් පැලඳුම් තෝරාගත්තේද ඒ සිතුවිල්ල ප්‍රකට වන ආකාරයට නේද?
ඒ මම ඇඳපු පැලඳපු සාමාන්‍ය විදියයි. හැබැයි ඔය කියන බටහිර පෙනුම මට විශාල අවාසියක් වූ අවස්ථාද තිබුණා.
ඒ එක් අවස්ථාවක් සඳහන් කරනවා නම්?
‘බැද්දෙගම’ චිත්‍රපටයේ හොඳ චරිත නිරූපණයක් සඳහා ලැබෙන්නට තිබුණු වටිනා අවස්ථාවක් මා වෙතින් ගිලිහී ගියා. ඇත්තෙන්ම එය මගේ සිතට දුකක් වූ සිදුවීමක් වුණා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











