ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය බැංකුව වන හැටන් නැෂනල් බැංකුව තිරසර බැංකුකරණයක් සහ ආයතනික සංස්කෘතියක් බිහි කිරීමෙහිලා දැක්වූ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (CCC) මගින් පැවැත් වූ හොඳම ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී (BCCSA) සම්මාන 7කින් පිදුම් ලැබීමට සමත් විය.
හැටන් නැෂනල් බැංකුව මෙම වසරේ හොඳම ආයතනික පුරවැසි 10 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වීමට සමත් වූ අතර සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මාන කාණ්ඩය වන හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන අංශයේ තුන්වන ස්ථානය දිනා ගැනීමටද සමත් විය.
මීට අතිරේකව ස්ථාවර කැපවීම සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම් (Governance category) ජයග්‍රාහකයා ලෙස සහ ආර්ථික තිරසරභාවය (ලාභය) කාණ්ඩය යටතේ Triple Bottom Line සම්මානය ලබා ගැනීමට ද බැංකුව සමත් වී තිබෙන අතර බැංකුවේ සමස්ත ශ්‍රම බළකායේ හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගත් පුරෝගාමී මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් සේවක සබඳතා කාණ්ඩයේ සම්මානය දිනා ගැනීමට ද බැංකුව සමත් වී තිබේ.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අනුව යමින් පාරිසරික සංරක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය, ජලය සහ අපද්‍රව්‍ය කළමනාකරණය යන කාරණා සම්බන්ධයෙන් බැංකුව විසින් සිදු කළ මෙහෙයුම් ඇගයීමට ලක්කරමින් හොඳම තිරසර ව්‍යාපෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට හැටන් නැෂනල් බැංකුවට හැකි වූ අතර තුන්ඩෝලා සංරක්ෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් හොඳම තිරසාර ව්‍යාපෘති කාණ්ඩයේ කුසලතා සහතිකය හිමි කරගැනීමට සමත් විය.
මෙම වසරේ සම්මාන උළෙලේදී බැංකුවේ කැපී පෙනෙන කාර්යසාධනය සඳහා දායක වූ උපායමාර්ග සහ ප්‍රතිපත්ති පිළිබඳව විස්තර කළ හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන පරිවර්තන නිලධාරිනි (Transformation Officer) චිරාන්ති කුරේ මහත්මිය, තිරසර භාවිතයන් සම්බන්ධයෙන් සියලු ආයතනයන් ක්‍රියාශීලීව නිරතවීමේ අවශ්‍යතාව අවධාරණය කළාය.











