ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නෙස්ලේ ලංකා සමාගම සහ පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පුද්ගලික සමාගම පසුගියදා අත්වැල් බැඳගත්තේය.
මෙම සහයෝගිතාව යටතේ, පෙරේරා ඇන්ඩ් සන්ස් අවන්හල් ජාලය තුළ එක්රැස්වන ප්ලාස්ටික් ඇසුරුම් හා අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන අතර, එම අවන්හල් ජාලය තුළ විවිධ අපද්‍රව්‍ය වර්ග සඳහා වෙන වෙනම කසල බඳුන් තැන්පත් කිරීමත්, එසේ එකතු කරගන්නා කසල රාජගිරියේ පිහිටි පෙරේරා ඇන්ඩ් සන්ස් සතු ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය වෙත යොමු කිරීමත් සිදුවේ. ඉන් අනතුරුව පිරිසිදු කර, සම්පීඩනය කළ මෙම කසල, ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් Eco-Maximus සහ Eco-Spindles යන දේශීය ආයතන වෙත ප්‍රවාහනය කරනු ලැබේ. වර්තමානයේදී මෙම වැඩපිළිවෙළ යටතේ පෙරේරා ඇන්ඩ් සන්ස් අවන්හල් 100කට අධික ප්‍රමාණයක් ආවරණය කෙරෙන අතර, ඉදිරියේදී සමස්ත දිවයිනේම ඇති එම අවහන්හල් වෙත එය ව්‍යාප්ත කිරීමට සැලසුම් සකස් කර තිබේ.
මෙම සහයෝගීතාව යටතේ, රාජගිරියේ පිහිටි පෙරේරා ඇන්ඩ් සන්ස් ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයේ බේලින් යන්ත්‍රයක් (baling machine) පිහිටුවීමට නෙස්ලේ ලංකා සමාගම සහාය වී ඇත. බේලින් යන්ත්‍රයක් යනු කසල සම්පීඩනයට ලක්කරමින් ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්‍රවාහනය කිරීම පහසු කරවන යන්ත්‍රයකි.
නෙස්ලේ යනු වසර 115කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකික ජීවිතවලට බද්ධ වූ සමාගමකි. වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මකබව වර්ධනය කරගැනීම සඳහා ආහාර සතු ශක්තිය මුදාහැරීමේ අරමුණ සමග ක්‍රියා කරන නෙස්ලේ සමාගම, තම ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයින්ට සමීප වී ඇත. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරනු ලබන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් අතිනවීන කර්මාන්තශාලාවේ නිපදවනු ලබන්නේ නෙස්ලේහි ගෝලීය උසස් ප්‍රමිතීන් අනුගමනය කරමිනි.











