වර්තමානය සුවපහසුය. රූප පෙට්ටියෙන් කෑම පිසීම සරලව උගත හැකිය. සුකොමළ සිනාව, කතාව සපිරි අභිනයෙන් සියල්ල සුන්දරව කියැවෙයි. බලා සිටින්නට ප්‍රියජනකය. ලියාගන්නට කොළයක්, පෑනක් වුවමනාය. අමුද්‍රව්‍ය කරල් හෝ ග්‍රෑම් ගණනින්ය. අඩුවැඩිය තේ හැන්දෙන්, මේස හැන්දෙන් කිරා ගැනෙයි. සරල දේ අර්ථාන්විත නැත. එදා ආත්තම්මා හොද්දට ලුණු දැම්මේ හිතේ මනාපයටය. හිතේ මිම්මටය. ඇය හොද්දේ ලුණු නොබැලුවාය. හොද්ද හැඳිගාමින් එහි අඩු වැඩිය හඳුනා ගැනීමට ඇය සමත් විය. දැනෙන පදම සහ සුවඳ එය මූලික වූවා විය හැකිය.
පදම සහ සුවඳ අපට අතීතයේ සිට උරුම වී ඇත. ආයුර්වේදයේදී පදම සහ සුවඳ විශේෂිතය. ඒ අතරින් තෙල් වර්ග සැකසීමේදී පදම කැඩුම් – බිඳුම් ප්‍රතිකාර සඳහා සන්ධි තෙල් සැකැසීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙත විමසුම් කරනු වටී.
තෙල් යනු පොදු නාමයකි. එක් වර්ගයකින් සිඳගන්නේ තෙල්ය. පොල්තෙල් නිදසුනකි. වර්ග කිහිපයක් සංයෝග කර තෛල සිඳගනු ලබයි. නිර්ගුණ්ඩ්‍යාදි තෛලය නික මූලිකව සංයෝග රැසක් පරිපූර්ණ වූ තෛලයකි.
කැඩුම් – බිඳුම් වෙදකමේදී සන්ධි තෙල් ආබාධිත ස්ථානයේ ගෑම, ගෑම සහ තැවීම ප්‍රධාන වෙයි. ගෑම හෙවත් ආලේපය පළමුව සිදුකර දෙවනුව තැවිලි පොට්ටනියෙන් තැවීම සිදුවෙයි. පළමුව තැවීමද, දෙවනුව ආලේපයද සිදුවන අවස්ථාද ඇත. එය ගුරුකුල සහ වෙදැදුරන්ගේ ප්‍රතිකාර ක්‍රම අනුව සිදුවන්නකි.
ආයුර්වේද පංචකර්ම චිකිත්සාවේදී තෙල් ගෑම ස්නේහකර්ම යනුවෙන් හඳුන්වනු ලබයි. තෙල් ගැල්වීමද නිසි ක්‍රමවේදයක් අනුව සිදුවිය යුත්තකි. පළමුව හිසද, දෙවනුව දෙකන්ද, තෙවනුව අත්-පා ආශ්‍රිතවද තෙල් ගැල්වීම කළ යුතුය.
වාත වේදනා, කැක්කුම්, කැපීම්, කෙටීම්, උළුක්කු, ගෙඩි, වණ, ඉදිමීම් සහ සමේ රෝග සඳහාද හිසරදය හිරිවැටීම් වෙනුවෙන්ද තෙල් ගැල්වීම සිදුවෙයි.
පෙර ඍෂිවරුන් මිනිස් සිරුර උඩු යටිකුරු කළ ගසකට උපමා කරන ලද්දේ හේතු සහගතවය. උඩු යටිකුරු කළ ගසෙහි මුදුන් මුල හිස, මොළය සහ ඇස, කන, කට, නාසය ආදී ඉඳුරන් පිහිටා ඇති හිස ශරීරයේ පාලනයට ඉතා වැදගත්ය. හිස මුදුනේ එබෙනසුලු ස්ථානය තෙල්වළ නමින් හැඳින්වෙයි. ඇතැම් දරුවන්ගේ නාඩි වැටෙන ආකාරය මෙම ස්ථානයෙන් දැකගත හැකි අතර, වයසින් මුහුකුරායත්ම එය දක්නට නොලැබෙයි. හිසෙහි තෙල් ගැල්වීමට වඩාත් සුදුසු මෙම ස්ථානය බව පැරැණියන්ගේ මතයයි.
තෙල් සිඳ ගැනීමේදී සුදුසු දිනයක සුබ නැකැතකදී තෙල් සිඳ ගැනීමට ළිප ගිනි දැල්වීම සිදුවෙයි. සම්මතයක් ලෙස අඟහරුවාදා, සිකුරාදා මෙම කටයුතු ආරම්භක දින ලෙස භාවිතයට නොගනී. ඇතැමුන් අතින් තෙල් දහනය වීමේ ශක්තිය වැඩිය. තෙල් දහනය නොවීමේ “අත්ගුණය” ඇති අයකු අතින් තෙල් භාජන ළිප තැබීම, ළිප ගිනි දැල්වීම සිදුවෙයි.
ද්‍රව්‍ය ග්‍රහණ නිර්දේශය අනුව ප්‍රයෝගයන්හිදී කාලය නොදැක්වූ කල ප්‍රභාතයද ද්‍රව්‍යයන්හි අංගය නොකී කල මුල්ද භාගය නොදැක්වූ විට සමභාගවද පාත්‍රය නොදැක්වූ කල මැටි බඳුන්ද ද්‍රව නොකී කල ජලයද තෛලය නොදැක්වූ අවස්ථාවේ තලතෙල්ද ගත යුතු වෙයි.
ඇතැම් සන්ධි තෙල් වට්ටෝරුවලදී ඖෂධ වර්ග පහළොවක් පමණ රාත්තල් 1/2 බැගින් යොදා වතුර බෝතල් විසිහතරක් දමා බෝතල් දෙකට පෙරා අනතුරුව කල්කය ඖෂධ සහ තලතෙල් බෝතල් හයක් පමණ දමා පදම්ව තබා පෙරා බාගත යුතුය.
ඖෂධ යොදා පළමුව වතුර බෝතල් දෙකක් දමා ගැළපෙන ප්‍රමාණයේ පොල්කටු හැන්දක මිට භාජනයේ පතුලට වදිනසේ තබා එහි ජල මට්ටම හැඳිමිටෙහි සටහන් කර ගැනීමක් හෝ කට්ටයක් කපා ගැනීමක් සිදුවෙයි. පසුව ඉතිරි වතුර බෝතල් විසිදෙකද දමා දැමිය යුතු වතුර බෝතල් විසිහතර සම්පූර්ණ කරනු ලැබේ. දින හතරකින් පමණ වතුර බෝතල් විසිහතර සිඳීගොස් කෂාය බෝතල් දෙකක ප්‍රමාණයට කෂා ඉතිරි වෙයි.
පෙරා ඉවත්කර ගන්නා කෂාය බෝතල් දෙකට ඇවැසි කල්කයද එක්කර තල්තෙල් බෝතල් හයක් දමා නැවැත ළිප තබා පදම්ව පෙරා බාගත යුතුය.
සන්ධි තෙල් වට්ටෝරුවක්
හාතාවාරිය කොළ, කටුපිල, අරත්ත, ගොන්කැකිරි කොළ, මදුකොළ, කිරිවැරැල්ල කොළ, බේඳුරු අල, බිම්තඹුරු, නවහන්දි වැල්, සැවැන්දරා සහමුලින්, පොල්පලා, පුවක්බඩ, නෙටුල්, තොටිල, බෝ, දමුණු, බූකැන්ද, වරකා, කොස් පොතු සමව ගෙන කොටා මිරිකා යුෂ බෝතල් හතරක් ගෙන පොල්තෙල්, තලතෙල්, මීතෙල්, කොහොඹ තෙල්, එඬරු තෙල් පත බැගින් දමා අරළු, බුළු, නෙල්ලි, වියළි ඉඟුරු, ගම්මිරිස්, කහ, වදකහ, කරාබුනැටි, අබ, කළුදුරු, සූදුරු, අසමෝදගම්, වසාවාසි, සාදික්කා කළඳ බැගින් කල්ක කර තෙලට දමා සමපාකයට තෙල සිඳගනී.
උළුක්කු, ඇමැට්ටි, කෙටුමට, රිදුමට ඔලිඳකොළ, බැලතණ සහමුලින් ගෙන අමුකහ, ලුණු යොදා කොටා පොල්කිරෙන් තම්බා බැඳීමද, කැඩුම්, බිඳුම් සඳහා සතකුප්ප කුඩු, සිවංගුරු, රත්හඳුන්, ත්‍රිපලා සමඟ එළඟිතෙල් සහ මීපැණියෙන් අනා පත්තු බැඳීමද සාර්ථක පිළිවෙතකි.
සන්ධි තෙල් සැකසීමේදී පොල්කටු හැන්දෙන් වන මෙහෙය අපමණය. පොල්කටු හැන්දෙන් හැඳිගෑම, පදම් කිරීම සිදුවෙයි. හැඳිමිටෙන් කරන්නේ කූරුගෑමය. සිඳ ඇති ප්‍රමාණ මැන බැලීමය. හැන්ද නිවැරැදිව ක්‍රියාකරන්නේ හැඳිමිට අල්ලාගත් පුද්ගලයාගේ දැනුම මතය. වෙදැදුරුට හසළ ගෝලයකුගේ සහාය වැදගත්ය.
එදා ආත්තම්මා කිරිහොද්ද පොල්කටු හැන්දෙන් හැඳිගෑමේ අත්දැකීමෙන් ලද අවබෝධයෙනි. තෙල් සැකසීමේදීද අත්දැකීමෙන් ලබන අවබෝධය වැදගත්ය.
දැනුමක ගුණය නොදකින තැන නැත හරය…
පොල්කටු හැන්ද නොදනී හොද්දේ රසය…
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











