අප මහ බෝසතාණන්ගේ චර්යාව පිළිබඳව බෞද්ධ පොත පත පරිහරණයේදී එතුමන් ප්‍රධාන ගුණ ධර්ම රැසක් ප්‍රගුණ කොට ඒ ඇසුරින් සිය දිවිය අන් අයට ආදර්ශවත්ව ගත කළ බව පෙනේ. ඒ අතර පාරමී හෙවත් පාරමිතා යන ගුණධර්මය අන් සැමට වඩා වැදගත්ය.
උතුමා යන අර්ථයෙන් පරම යන වචනය නිරූපණය වෙයි. මෙයින් හැඟී යන්නේ සිදුහත් බෝසතුන්ය. මෙතුමාගේ ක්‍රියා පිළිවෙත පාරමී යන ගුණ දහමෙන් දැක්වෙයි.
එනම් මේ ගුණ දහම් ඇසුරු කරන යම් අයකු පහසුවෙන් නිර්වාණයට ළංකරන නිසාත්, සියලුම කෙලෙස් දුරු කිරීමට උදවු උපකාර කරන නිසාත්, හැම දෙනාගේ සිත්සතන්හි උත්තම වූ යහධර්ම රඳවා ගැනීමට ආධාර වන නිසාත්, මෙතුමන්ට සම කළ නොහැකි අන්කවරෙක් හෝ නොසිටින නිසාත් පාරමී යන වචනය නිර්වචනය කෙරෙයි.
පාරමී සංඛ්‍යා වශයෙන් දහයකි. එනම් දාන, ශීල, නෙක්ඛම්ම, පඤ්ඤා, වීරිය, ඛන්තී, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපේක්ඛා වශයෙනි. මෙම දශ පාරමී දහය නැවැත දශ පාරමිතා, දශ උප පාරමිතා, දශ පරමාර්ථ පාරමිතා වශයෙන් නැවැත කොටස් තිහකට බෙදෙයි.
මෙයින් දාන පාරමිතාවෙන් අර්ථවත් වන්නේ අප පරිභෝග කරන සාමාන්‍ය වස්තු සම්පත් දන් දීමය. දාන උප පාරමිතා යනුවෙන් අර්ථවත් වන්නේ ශරීරයේ කොටස් එනම් වර්තමානයේ මෙන් ලේ, හෘදය වස්තුව, වකුගඩු ආදී ශරීර අවයව දන්දීමය. දාන පරමාර්ථ පාරමිතාවෙන් අර්ථවත් කරන්නේ ශරීරය දන්දීමය.
“දාන” යන වචනයේ සාමාන්‍ය තේරුම දෙන දෙය කෙරෙහි ඇලීමක් නොකොට “දීම” ය. මෙලෙස කුමන අයුරකින් දීමක් සිදු කළත් මුනින් නැමූ කිරි හට්ටියක් මෙන් කිසිවක් ඉතිරි නොකර ප්රදානය කිරීමය.
මෙහිදී වැදගත් වන්නේ දානය කෙරෙහි ඇති කරගත් සිතිවිල්ලය. එම දාන වස්තුව කෙරෙහි ලෝභයක්, ද්වේෂයක්, මුළාවක් නොමැතිව එම ක්රියාවේ නියුක්ත වීමය. යම් අයකුට දාන වස්තුව කෙරෙහි ලෝභයක් වැනි අකුසල කර්මයක් සිතෙහි පැන නැංගහොත් දීමෙහි අදහසක් ඇති නොවේ. එබැවින් දානයට පෙර ඉහත දැක්වූ අකුසල සිතිවිලි සිතින් බැහැර කළ යුතුය.
තව දුරටත් දානය පිළිබඳව විමසීමේදී භික්ෂාවක් හෙවත් එදිනෙදා අප අනුභවයට ගන්නා සාමාන්‍ය ආහාරයක් දන් දීමට වඩා නොමිලයේ ශික්ෂාවක් හෙවත් නිස්සරණාධ්‍යාසයෙන් කිසියම් ඉගැන්වීමක් තුළිත් යහගුණ ධර්ම පුහුණු කිරීම උතුම් දානයකි. එයටත් වඩා පරාර්ථකාමී හැඟීමෙන් යුක්තව පුණ්‍ය හැඟීමෙන් යුතුව අන් අයට ධර්මය කියා දීම වැදගත්ය. මේ සියලුම දානවලට වඩා ජීවිත පරිත්‍යාගය ඉතා බැරෑරුම්ය.
බෝධිසත්ව චර්යාව සැලැකීමේදී සාමාන්‍ය අයට කළ නොහැකි ජීවිත දානයක් ඒ ඒ ආත්මභාවවලදී සිදු කොට ඇති බව ජාතක කතාවලින් පෙන්වා දී ඇත. මේ ජාතක කතා අතර වෙස්සන්තර ජාතකය වැදගත්ය. එයින් දක්වා ඇත්තේ සිය බෝධිසත්ව ජීවිතයේදී තම අඹුදරුවන් ඇතුඵ සියලුම සැප සම්පත් දන් දීම කළ බව බවය. මෙම ජාතක කතාව විමසීමේදී වෙස්සන්තර තම ප්‍රිය බිරිඳ වූ මද්‍රි දේවියද ස්වකීය පණ හා සමාන වූ ජාලිය හා කෘෂ්ණජිනාද දන් දුන් බව දැක්වෙයි. එමෙන්ම සස ජාතකය පිළිබඳව විමසීමේදී දාන පාරමිතාවේ උතුම් වූ ගුණය වටහා ගන්නේ එකල තිරිසන් සතෙකි. ශරීර ස්වභාවයෙන් කුඩා සතකු වූ හාවකු වුවත් හේ බෝසත් චරිතයකි. මෙහි දැක්වෙන හාවා යහපුරුදු වඩවා අන් අයටද යහ ගුණ දම් පුරුදු කළ බවද දැක්වේ. එනම් ස්වකීය මිත්‍ර වඳුරකුට, සිවලකුට හා මස්කාවකුට යහගුණ පුරුදුකොට යහමඟට ගත් බවද සඳහන්ය. එකල්හි දිනක් සක් දෙවිඳු හට මෙම හාවාගේ ශීලය පරීක්ෂා කිරීමේ අරමුණක් හටගනී. පසුව පළමුව බමුණු වේශයක් මවාගෙන පැමිණෙයි. පළමුව පැමිණෙන්නේ හාවාගේ යහඵවන් වූ වඳුරා, සිවලා හා මස්කාවා වෙත කිසියම් ආහාරයක් ඉල්ලා අනුපිළිවෙළටය. මේ තිරිසන් සතුන් හැම දෙනාම හාවාගේ උපදෙස් පරිදි තමන්ට හැකි පමණ දැහැමිව සපයාගත් ආහාර පරිත්‍යාග කරයි. නමුත් බමුණා ඒ සියල්ල ප්‍රතික්ෂේප කර පසුවට එමියි කියා ආපසු යයි. අන්තිමට හාවා වෙතට සමීප වෙයි. එවිට බෝසත් හාවා සිය දිවි දන්දීමට අදිටන් කොට බමුණා ලවා ගිනි ගොඩක් දල්වාලයි. අනතුරුව බමුණා වෙත ගොස් තමාට දන් දීමට උඳු, මුං, සහල් ඇතු`ඵ ධාන්‍ය කිසිවක් නොමැති බවත් තමා ගින්නට පැන්න පසු පිලිස්සී ගිය මස් අනුභව කොට දැහැමිව මේ වනයේ වසන්න යැයි කියා ඉල්ලා ගින්නට පැන තම අරමුණ ඉටුකර ගනියි. නමුත් ගින්නෙහි උණුසුම හාවාට නොදැනේ. නොදැවෙයි. එවිට හාවා ඒ පිළිබඳව බමුණාගෙන් විමසයි. එවිට බමුණා, තමා පැමිණියේ ඇත්ත වශයෙන් ම හාවාගේ ජීවිත පරිත්‍යාගය පිළිබඳ ඇති තතු සත්‍ය ලෙස දැනගැනීමට බවද කියයි. එයින් සතුටට පත් බමුණා හෙවත් සක් දෙවිඳු කල්පාන්තය තෙක් දානයේ අනුසස් ලොවට දක්වනු වස් හාවාගේ රුව සඳෙහි අඳියි.
ගුණරත්න බණ්ඩාර











