සෙනසුරා ලැබීම අපලයකි. කල දවස යහපත් නොවෙයි. එය ශාරීරිකවද බලපෑම් ගෙන එයි. ජන්මියකු හට පාදයේ ආබාධ උරුම කරන්නේ සෙනසුරාය. සෙනසුරු අයහපත් වුවහොත් ජන්මියා එක්තැන් කරවන බව ජ්‍යොතිෂයේ කියැවෙයි. ගමන් කිරීමේ අපහසුව, ඉදිරියට නැවෙන, දිගහැරෙන විට ඇති වන වේදනාව, කොන්දේ වේදනාව මෙන්ම උඩුකුරුව නිදා සිටින විට, සිටගෙන සිටින විට පහසුවක් නොදැනෙන වේදනාව යනාදිය සෙනසුරු වක්‍රාකාරයෙන් උරුම කරදෙන නිසිකල එක්තැන් කරවන රෝග ලක්‍ෂණ ලෙස හැඳින්වෙයි.
කැස්ස, තැටමීම, කිවිසුම් යෑම මඟින්ද, වේදනාව ඇති වෙයි. තුනටිය ප්‍රදේශයේ සිට පාදයේ යටිපතුල දක්වා පැතිරී යන වේදනාව පාදයේ හිරිවැටීමක්, විකෘති වීමක් දක්වා වර්ධනය විය හැකිය.
වාත රෝග ඇති කරවීමටද මූලික වන්නේ සෙනසුරාය. වියපත් වූවන් හට සෙනසුරුගේ බලපෑම වැඩි වෙයි. වාත රෝග, කල් පවතින නිදන්ගත රෝග, ඇට බිඳීම් ආදිය සෙනසුරුගේ බලයට අවනතව ජන්මියා පීඩාවට පත්කරවයි.
වාත රෝග අතරින් කොන්දේ කැක්කුම සුලබ රෝගී තත්ත්වයකි. එහෙත් මෙය රෝගී තත්ත්වයක් නොව රෝගී ලක්‍ෂණයක් ලෙස පිළිගැනෙයි. ආයුර්වේදයත්, ජ්‍යොතිෂයත් එකිනෙකට සබැඳුණු විෂය පථයන් ද්විත්වයකි.
ජ්‍යොතිෂයේ සෙනසුරු බලවතෙකි. ඉහළට ඔසවා තැබීමටත්, නැවැත නොනැඟිටින සේ පොළොවේ ගැසීමටත් හැකියාව ඇත්තේ සෙනසුරුට පමණක් බව ජ්‍යොතිෂ මතයකි.
වාත රෝග ඇතිකරවීමටද සෙනසුරුගේ මූලිකත්වය යම්සේද ආයුර්වේදයේදී වා, පිත්, සෙම් අතර වාතයද ප්‍රධාන වෙයි. කොන්දේ වේදනාවෙන් පෙළෙන රෝගීන්ගේ රෝග නිධානය විමසුම් කිරීමේදී එය වාතය කුපිත වීමක් ලෙසද දැක්විය හැකියි.
සර්වාභි වෙෂ්ඨා වාතේන – සප්‍රාණං ප්‍රාණිණං සමෘත” යනුවෙන් චරක සංහිතාවෙහි දක්වා ඇති ආකාරයට පණ ඇති සියලු සත්වයන් සතු සෑම ක්‍රියාවක්ම වාතය මඟින් ඉටුකරයි. එය පණ ඇති සියලු සතුන්ගේ “ප්‍රාණයට” සමානය යනුවෙන් අර්ථ ගැන්වෙයි. ශරීරයක පිත හෝ සෙමටද සප්ත ධාතුන්ටද වාතයේ ආධාරයක් නොමැතිව ක්‍රියා කළ නොහැකිය. පිත්, සෙම් කෝප කිරීමේ බලයද ශරීරයේ සෑම තැනකම පැතිරී ඇති හෙයින් කිසිවකුගේ ආධාරයක් නොමැතිව ක්‍රියා කළ හැකි හෙයින්ද වාතය අතිවිශාල රෝග රැසකට හේතුකාරක වන හෙයින්ද ත්‍රිදෝෂ අතරින් වාතය ප්‍රධාන වෙයි. වාතය මිනිස් ශරීරයේ පස්වැදෑරුම්ව බලපෑම් ගෙනදෙයි.
මිනිස් ශරීරයේ හිස, පපුව, ගෙල, දිව, මුඛය සහ නාසය මූලිකව ප්‍රාණ වාතය සැරිසරයි. ආශ්වාස, ප්‍රාශ්වාස ආහාර ගිලීම ආදී කරුණු නිසි ලෙස ක්‍රියාත්මක ප්‍රාණ වාතය ගෙල ඉහළ අවයවයන්ගේ ක්‍රියා පාලනය කරවයි.
පපුවෙහි ස්ථානගත වන උදාන වාතය, කතාව, උනන්දුව සහ කාය ශක්තිය, මතක තබාගැනීමේ ශක්තිය වර්ධනය කරවයි. නාසය, නාභියද මෙයට ඇතුළත්ය.
හෘදය ප්‍රදේශයේ සිට ව්‍යාන වාතය සම්පූර්ණ ශරීරයම පාලනය කරයි. අත්-පා දිගහැරීම, ගමන් කිරීම, ඇස් ඇරීම, පියවීම ආදී ක්‍රියාවන් එළිදැක්වීමට ව්‍යාන වාතය හේතු වෙයි.
සමාන වාතය අග්නිය හෙවත් ගින්න ලෙසද හැඳින්විය හැකිය. උදරය, ආමාශය ඇසුරු කරගනිමින් ආහාර ආමාශයට ගැනීම, ආහාර දිරවීම දිරවූ ආහාරයෙන් ඇවැසි කොටස් හා මල කොටස් වෙන් කිරීම, මල කොටස් පිටකිරීම ආදියට සමාන වාතය ඉවහල් වෙයි.
අපාන වාතය ගමන් කරන්නේ තුනටිය, ගුදය, ලිංගය, මුත්‍රාශය, කලවා ආදී ස්ථාන මූලික කරගෙනය. මලමුත්‍රා, ශුක්‍ර පහකිරීම ගර්භයෙන් කලලය පිටකිරීම ආදිය පාලනයෙන් සිදුවන්නේ අපාන වාතය අනුවය.
මේ අනුව අපාන වාතයේ බලපෑම කොන්දේ වේදනාවට, පාද ආබාධ සහ වාත වේදනාවලට ගොනු වූවා විය හැකියි. එහි නිධානය සොයාගත යුතු අතර, කටී කශේරුකා අතර ඇති කශේරුකා බිම්බ ඉදිරියට නෙරා ඒම හෝ තෙරපීම, බර ඉසිලීම හෝ එබඳු ඉරියව්වකින් බිම පතිත වීම, කොන්ද සහ පාද ආශ්‍රිත වේදනාවට මූලික වූවා විය හැකිය. කොඳුඇට පෙළ ඇඹරීම, කොඳුඇට පෙළට පහරක් වැදීමද ගැටලුවකි. රෝග ඉතිහාසය විමසුම් කිරීමේදී උළුක්කුවක්, පහර වැදීමක් හෝ ඇදවැටීමක් ලෙසද අනාවරණය විය හැකිය.
තුනටිය සම්බන්ධ රෝගයකට සතියකින්, දෙකකින් සුවයක් අපේක්‍ෂා කළ නොහැකිය. තෙල්, ගුළි, චූර්ණ, කසාය. තැවිලි, පත්තු ආදියෙන් ක්‍රමයෙන් සුවය ලබාගත හැකිය. ඒ සඳහා ක්‍රමවත් ප්‍රතිකාර පෙළක් අවශ්‍ය වෙයි. සුවය සඳහා වෛද්‍යවරයා රෝගය අවබෝධ කරගත යුතුය. එයට පෙර අවබෝධයෙන් වෛද්‍යවරයා වෙත යා යුතුය.
ඔබේ කොන්දේ සහ පාදයේ වේදනාව පිළිබඳව ඔබ දැනුවත්ද?
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











