කෑගලු දිස්ත්‍රික්කය තුළ පිහිටල තියෙන දැකුම්කලු දිය ඇලි අතරින් එකක් තමයි ගන්තුන ඇල්ල. මේ දිය ඇල්ලට ළඟා වෙන්න තියෙන මාර්ගය නම් ඒ තරම් පහසු එකක් නෙවෙයිය. කෑගල්ල නගරයෙන් හැරිලා බුලත්කොහුපිටිය පාරෙ කිලෝමීටර් දහතුනක විතර දුරක් යද්දී මාබෝපිටිය මංසන්ධිය මුණගැහෙනවා.- එතැනින් වමට හැරිලා තවත් කිලෝමීටර් හතක විතර දුරක් ගියාම හමුවෙන්නෙ ගන්තුන පල්ලේගම කඩමණ්ඩිය. කෑගල්ලෙ ඉඳලා ගන්තුන පල්ලේගම දක්වාම මගී ප්‍රවාහන බස් රථ ධාවනය වෙනවා- ඒ වගේම ඕනෑම වාහනයකින් යන්නත් පුළුවන්. ඇල්ල බලන්න යන කෙනෙක් ගන්තුන කඩමණ්ඩියෙදී සියලු අවශ්‍යතා සපුරා ගන්නව නම් වඩාත් හොඳයි. මෙතැනින් එහාට කෑමක් බීමක් ගන්න පුළුවන් විදියේ කඩයක්වත් හමුවෙන්නෙ නෑ. කඳුකරය දක්වා වැටුණු තරමක දුෂ්කර අඩිපාරත් ගම්මානයේ නිවාස අතරිනුයි ඉහළට විහිදෙන්නේ.
ගන්තුන කඩමණ්ඩියේ ඉඳලා දිය ඇල්ල දක්වා ගමන ආරම්භයෙදීම හමුවෙන්නෙ කැලණි ගංගාවේ ප්‍රධාන ශාඛාවක් වන ගුරුගොඩ ඔය- දෝතල් ඔය කඳුකරයෙන් පටන් ගෙන ලේපලාව, උනන්කන්ද කඳු අතරින් ගලාගෙන ඇවිත් ගුරුගොඩ ඔයට එකතු වෙන කුඩා ඔයේ තමයි ගන්තුන ඇල්ල පිහිටලා තියෙන්නෙ- ගමන දුෂ්කර වුණත් වාහනයකින් බැහැලා පාරක් අයිනෙ පහසුවෙන් දිය ඇල්ලක් බලනවාට වඩා වෙනස් අත්දැකීමක් මේ දිය ඇල්ල දක්වා යන ගමනෙදී ලබන්න පුළුවන්- හැම පැත්තෙන්ම දකින්න තියෙන කඳුවැටි ගහකොළවලින් පිරිලා- ඒ වගේම දිය ඇල්ලක් දක්වා කන්දක් තරණය කරමින් යන ගමනත් විශේෂයි- ගම්මානය මැදින් ඉහළට යන හින්දා හමුවෙන අයගෙන් දිය ඇල්ල ගැන වගේම අවට පිළිබඳවත් තොරතුරු දැනගන්න පුළුවන්-
කුඩා ඔය ඇල්ල කියලත් මේ දිය ඇල්ල හඳුන්වන බවයි දැනගන්න ලැබුණෙ- ඒත් ලංකාවේ දිය ඇලි නාමාවලිය ආදී දිය ඇලි සම්බන්ධයෙන් තියෙන පොත්පත්වල ගන්තුන ඇල්ල නමිනුයි හැඳින්වෙන්නෙ- ගන්තුන පල්ලේගම, ගන්තුන මැදගම හා ගන්තුන ඉහළගම නමින් ගන්තුන ගම්මානය කොටස් තුනකින් යුක්තයි- දිය ඇල්ල තියෙන ගම හැඳින්වෙන්නෙ සක්කරකන්ද කියන නමින්.

අඩි පාර දිගේ ඉහළට ගිහිල්ලා දිය ඇල්ලේ පහළ කොටසට ළඟා වෙන්න පුළුවන්- ඇල්ලේ අතිශයින්ම සුන්දර වූ ගලා හැලීම දැකගන්න ලැබෙන්නෙත් මේ පහළ කොටසෙදී තමයි- මීටර් 200ක් වාගෙ දුරක් ඇතුළත එකිනෙකට නුදුරින් දිය ඇලි කිහිපයක්ම දැකගන්න ලැබීම හරිම අලංකාර දර්ශනයක්- වැසි සහිත කාලයක නම් මේ ඇද හැලීම තවත් අපූරුයි-
ප්‍රධාන දිය ඇල්ලට පස්සෙ ගල් තලාව දිගේ ගලාගෙන ඇවිත් තවත් ගලා හැලීම් කිහිපයක් සහිතව ඇද හැලෙන ඇල්ල තමයි පහළදී දැකගන්න ලැබෙන්නෙ- වතුර අඩු කාලයක නම් ගල් තලාව දිගේම ඉහළට නැඟලා ප්‍රධාන ඇල්ල ළඟට යන්න පුළුවන්- ඒත් වතුර වැඩි කාලයක නම් ඇල්ල ආසන්නයෙන් ඉහළට වැටිල තියෙන අඩි පාර දිගේ තමයි ඉහළට යන්න වෙන්නෙ-
මෙහෙම ඉහළට යද්දී හමුවෙනවා ඇල්ලෙමංකඩ කියන ස්ථානය. එතැන ගමේ අයගේ නාන තොටුපොළක්- ඇල්ලෙමංකඩ ළඟින් පහළට විහිදෙන ගල් තලාවෙ කෙළවරින් තමයි ප්‍රධාන දිය ඇල්ල ඇද හැලෙන්නෙ- එතෙන්ට ළඟා වෙන්න පහසු නැහැ- ප්‍රපාතය ඔස්සේ තරමක දුෂ්කර ගමනකින් පල්ලම් බැසිය යුතු වෙනවා- ඇල්ල පාමුලට ගියාම ගමන් විඩාව ඉබේටම නැතිවෙලා යනවා. එතැන තියෙන්නෙ හරිම සුන්දර වටපිටාවක්- ගහකොළවලින් පිරිලා- ඒ වගේම නිදහස් නිස්කලංක පරිසරයක්- ඉදිරියෙන් රාමසැර කඳුවැටියත් ගෝලාකාර හැඩයක් ගත්තු කුකුල්පිටියේ ගලත් දැකගන්න ලැබෙනවා-
ගන්තුන ඇල්ලේ උස මීටර් විස්සක් හැටියටයි සඳහන් වෙන්නෙ- ගල් තලාව දිගේ ඇද හැලිලා ගලාගෙන යන දිය දහරාව ආයෙත් මීටර් දහයක් විතර උස දිය ඇල්ලක් විදියට ගල් තලාවේ නෙරුම් ඔස්සේ කඩින් කඩ ගලා හැලෙනවා- ඒ ගලා හැලීම තමයි ඇල්ලේ පහළ කොටසේදී දැකගන්න ලැබෙන්නෙ- තවත් කුඩා කුඩා ගලා හැලීම් රැසක්ම පහළදී දැකගන්න පුළුවන්-
ඇල්ලෙමංකඩත් ගොඩක් දැකුම්කලු ස්ථානයක්- එතැනට ඉහළින් මීටර් සියයක විතර දුරක් ගල් තලාවේ බෑවුම දිගේ ගලාගෙන එන දිය දහරාව මීටර් පහළොවක් විතර උසින් දිය ඇල්ලක ආකාරයෙන් තමයි ඇල්ලෙමංකඩට ඇද හැලෙන්නෙ- කුඩා ඔයේ ඉවුර දිගේ ඉහළට දිවෙන අඩි පාරෙන් දෝතල් ඔය හා ඉහළ උඩුව වාගෙ ප්‍රදේශවලට ළඟා වෙන්නත් පුළුවන්- සංචාරයට කැමැති අයට නම් ඒ ගමන නැවුම් අත්දැකීම් රැසක්ම ලබා දෙනවාට සැකයක් නැහැ- දෝතල් ඔය ආසන්නයේ තියෙන සඳරාජ වනාන්තරයටත් මේ පාරෙන් යන්න පුළුවන්.

අලියා වැටුණු වළ නමින් හඳුන්වන තැනක් දිය ඇල්ලට තරමක් ඉහළින් කුඩා ඔයේ පිහිටලා තියෙනවා- කාලෙකට ඉස්සර ඉහළ ලේපලාව කඳු බෑවුම දිගේ ගමන් කරපු අලියෙක් ප්‍රපාතයෙන් පහළට වැටිලා මේ වළේ ගිලිලා මැරුණු හින්දා ඒ නමින් හඳුන්වන බවයි දැනගන්න ලැබුණෙ- දේශීය සංචාරකයන් අතරවත් ගන්තුන ඇල්ල ඒ තරම් ප්‍රසිද්ධ නැහැ- ඒ වුණාට ආසන්නයෙ තියෙන ඇගම, හික්ගොඩ, මාබෝපිටිය වාගෙ ගම්මානවල තරුණ පිරිස් නිවාඩු දවස්වල දිය නාන්න මෙතැනට එන බව දැනගන්න ලැබුණා- දිය ඇල්ල අවට පරිසරයේ ස්වාභාවික සුන්දරත්වය බොහෝ දුරට ආරක්ෂා වෙලයි තියෙන්නෙ- ඇවිත් මේ දිය ඇල්ල බලන්න- ඒ වගේම අවට පරිසරයත් තියෙන ආකාරයටම රැකගන්න කටයුතු කරන්න කියලයි ඇල්ල බලන්න එන අයට කියන්න තියෙන්නේ.
මහේෂ් ඉන්දික විජේතිලක











