වඩාත් තිරසාර සහ ශක්තිමත් බැංකුවක් ලෙස සිය ස්ථාවරත්වය එලෙසම පවත්වා ගනිමින් හැටන් නැෂනල් බැංකුව (HNB) 2021 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත.
HNB සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 47%කින් වර්ධනයවී රුපියල් බිලියන 20ක් වාර්තා කළ අතර පසුගිය වසර තුළ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යාමත් සමගින් බැංකුවේ බදු පසු ලාභය රුපියල් බිලියන 17.3ක් දක්වා වැඩිවී ඇත.
2020 වර්ෂයේ කොවිඩ්-19 වසංගතයේ පළමු රැල්ලෙන් ඇති කරන ලද බලපෑම නිසා එම වසර තුළ ආර්ථික වර්ධනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර 2021 අගෝස්තු දක්වා එම ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගෙන යන ලදී. නමුත් අගෝස්තු මාසයේදී ප්‍රතිපත්තිමය පොලී අනුපාත පදනම් ලක්ෂ 50කින් ඉහළ යාම නිසා පොලී අනුපාත ඉහළ ගියද 2021 සඳහා AWPLR අගය ආසන්න වශයෙන් 2020 පැවති අගයට වඩා පදනම් ලක්ෂ 160කට වඩා අඩු මට්ටමක පැවතිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසරේ දෙවන අර්ධයේදී ණය සඳහා ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කළද පොලී ආදායම 5.1%කින් අඩු වී රුපියල් බිලියන 98.6ක් විය.











