පැරැණි කාලයේ ඉඩම්වල පරිමාව තරමක් විශාල වුවද එය අද වන විට පර්චස් 40, 20, 15, 10, 5 මෙන්ම පර්චස් 3, 2 තරමට කුඩා වී ඇත. එදා වැසිකිළිය පිහිටියේ නිවෙසින් ඈත ගිනිකොන හෝ දකුණු දිශාවේය.
මේ වන විට එය නිවෙස තුළට ආගන්තුකව පැමිණ ඇත. සමහර නිවෙස්වල බ්‍රහ්ම පාදයට ආසන්නවමද සාලය මැද කාමරවලද ගබඩා කාමරය මෙන්ම වැරැදි අන්දමට ගොඩනගන ලද නිවෙස්වල මුළුතැන්ගෙයටද සමීපව වැසිකිළි පද්ධතිය පිහිටා තිබෙන බැව් අප දැක ඇත්තෙමු. එය ඉතා අසුබ බව දක්වමු. නිවෙස තුළ වැසිකිළි සෑදීමේදී වඩාත් කල්පනා කළ යුතු වේ.
නිවෙස තුළ ඇති වැසිකිළියේ වහලය කොන්ක්‍රීට් නම් වඩාත් යහපත්ය. දුගඳ පිටවන සේ කවුළු විවෘතව තැබිය යුතුයි. ගේ තුළ බ්‍රහ්ම පාදය ආශ්‍රිතව වැසිකිළි සෑදීම මහා වාස්තු දෝෂයකි. එතැන දොරටුව තැබීම දෝෂයකි. කුස්සියට යාබදව වැසිකිළි දොර තැබීම අසුබය. කෑම කන කාමරයට එක එල්ලේම වැසිකිළිය තබන්න එපා. බලවත් දෝෂයක් වේ.
වැසිකිළියට යොදන ඖෂධීය දියර වර්ග දිගු කලක් පාවිච්චි කළත් දුගඳ නැති නොවේ. මේ දුර්ගන්ධය නිතිපතාම ආඝ්‍රහනය කිරීමෙන් නාසයට හුරුවේ. ස්නායු පද්ධතියට අනුගත වීම හරහා හෝමෝන සංයුතිකය එයට බද්ධ වනු ඇත. කල් යන විට ශරීර සෞඛ්‍යයට අහිතකර වේ.
වැසිකිළිය කුමන අයුරකින්වත් නිවෙස ඇතුළට යහපත් නොවේ. නමුත් අද වන විට වෙන විකල්පයක් නැත. ගෙයි බිම් තලයේ වැසිකිළි බිම මහගෙයි බිමට වඩා අඟල් 3ක්වත් පහත් වීම යහපත්ය. බිත්ති හතර කැපෙන විකර්ණ රේඛාවට හසුවන මර්මස්ථානයේ වැසිකිළිය තිබීම අසුබය. ඉඩමේ හතර කොන විකර්ණ රේඛානුගතව මර්මස්ථානවල වැසිකිළි තබීම මහා වාස්තු දෝෂයකි. නිරිත, වයඹ බස්නාහිර හෝ දකුණ, ගිනිකොන වැසිකිළියට යෝග්‍ය වේ. උතුර, ඊසාන, නැගෙනහිර තිබීම දෝෂයක් වේ.
සමහර නිවෙස්වල වැසිකිළියේ අපද්‍රව්‍ය ගලා යන බට ඇතුළත දමා තිබේ. ඊසාන, උතුර හා නැගෙනහිර වළවල් කපා තිබේ. මෙය මහා වාස්තු දෝෂයකි. නිවෙස් හිමියන්ට ඉතා අසුබය වේ. සමහර විට නිවෙස ඇතුළේ බිම යට දමා ඇති අපද්‍රව්‍ය ගලායන බට සිරවීම, පලුදුවීම වුවහොත් ඒවා ඉවත් කිරීමට ගැටලුවක් වේ. ලංකාවේ විවිධ පළාත්වල දෙමහල් තුන්මහල් නිවෙස්වලද මෙවන් වාස්තු දෝෂ සහිත යෙදීම් අනුගතවී ඇති බව අප කරන ලද වාස්තු පරීක්ෂාවලදී හෙළිවී ඇත.
මේ සියලු කරුණු කාරණා යෙදී ඇත්තේ අද වන විට ඉඩම් ප්‍රමාණය අඩුවීම නිසාය. උපක්‍රමශීලීව නිවෙසක් ඉදිකළ යුතුය. පැරැණි වාස්තු මූලධර්මයන්ට එකඟව අදට ගැළපෙන සේ ප්‍රායෝගික අත්දැකීම් ඇතිව නව නිවෙසක් ගොඩනැගීමට හැකිවේ. පොතේ හැටියට වර්තමානයේ නිවාස ඉදිකළ නොහැකිය. අඟලෙන් අඟලට වාස්තු දෝෂ බලන්නට ගියොත් ගේ හැදිල්ල පැත්තකට දමා වාස්තු දෝෂ බල බලා ඉන්නට සිදුවේ.
ඕනෑම ඉඩමක තමන්ට අවශ්‍ය අන්දමට වාස්තු විද්‍යානුකූලව ගෙයක් සෑදිය හැකිය. කළ යුත්තේ නිසි කළමනාකරණයක් අනුගමනය කිරීමය.
ඔබේ ඉඩමේ පිහිටීම හැඩතලයට ගැළපෙන සේ ප්‍රමිතිගතව සැලැස්ම අන්දවාගෙන වාස්තුවට අනුව ඔබේ ජන්ම නැකතට සීහෙන සේ වර්ගීකරණය කරගන්න. ඉතා සුබ නැකතකට ගෙයි වැඩ අරඹන්න. සියලු වැඩ අකුරටම වාස්තු විද්‍යාවට අනුව පටන් ගන්න. දෝෂ සියල්ලම මඟහරවා ගන්න. ගෙයි පදිංචි වන්න. අපූරුවට නිවෙස තුළ ඔබ සැමට ඉන්න හැකිවේ. සෞඛ්‍යසම්පන්න නිරෝගී නිවෙසක් ඉදිකර ගෙන ඒ තුළ සතුටින් වාසය කරන්නේ නම් පංචමහා සම්පත්තියම හිමිවේවි. ඒකයි ඇත්තම ඇත්ත. උගත් පළපුරුදු ඇත්දැකීම් ඇති වාස්තු විද්‍යාවේදියකුගේ උපදෙස් ගැනීම අනිවාර්ය බව මෙහිලා සටහන් කර සිටිමු.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල











