දැන් දරුවන්ට වගේම සමහර වැඩිහිටියන්ටත් විභාග කියන එක ජීවිතයටම සම්බන්ධ දෙයක් වෙලා. ඉස්සර නම් ජීවිතය පුරාම දෙතුන් පාරක් පමණක් මුහුණ දෙන විභාග අද දරුවන්ට නම් අඩුම තරමේ මාසයකට එකක්වත් සම්බන්ධ වෙනවාමයි. ඉතින් මොනවා කීවත් විභාග ජීවිතයේ ප්‍රබල කඩඉමක්. අදූරදර්ශීව, කිසි ගානක් නොගෙන මේවාට පෙනී සිටින දරුවන් අවසානයේ දිවියේ අසුබතා විඳිනවා. නමුත් ඔබ එසේ වියයුතු නැහැ. තමාට උරුම – කරුම ඇත්නම් ඒවා දුරුකොට දිවියට අධ්‍යාපනයෙන් ආලෝකය ඇති කරගැනීමට ඔබම සිතට ගතයුතුය. සමහර නිවෙස්වල දරුවන්ටත් කලින් මවුපියන් මේ කටයුතුවලට මූලික වෙලා. නමුත් ඒකත් වැරදි නැහැ. මොකද දරුවන් වෙනුවෙන් මවුපියන්ට කළ නොහැකි දෙයක් නැහැ. ඒ වගේම නොකරනා දෙයකුත් නැති නිසාවෙනි.
ඒ වගේම හෙට අනිද්දා ගුරු මාරුවකුත් සිදුවෙනවා. මෙයින් දරුවන්ට ඇති වන අසුබතා මඟහැරගන්නත් අවශ්‍යයයි.
ඉතින් විභාගයකට මුහුණදීමට සූදානම් ඔබ ඔබේ ආගමට අදාළව විවිධාකාරයේ ශාන්තිකර්මයන්ට යොමුවෙලා ඇති. දේව ආශීර්වාද ලබාදෙන ගණ දෙවි – සරස්වතී වගේ යන්ත්‍රත් පැලඳගෙන ඇති. නිවැරැදිව සිදුකර ඇත්නම් ඇත්තෙන්ම ඒවාත් නරක නැහැ. ප්‍රබල පිහිටක් වෙනවා සත්තයි. දෙවියන්ගේ පිහිට ලැබෙනවාද සත්තයි. හැබැයි ඒ වගේම බෞද්ධාගමික ඔබට මුළු හදවතටම දැනෙන ඔබ මෙතෙක් පාඩම් කළ කී කරුණු ප්‍රබල විදියට මතුකරමින් ඉතාමත් සාර්ථකව විභාග ජය අත්කර ගැනීමට මඟ පාදන බෝධි පූජා ක්‍රමවේදයකට මාර්ගයක් පෙන්වා දෙන්නයි මේ සූදානම.
අවශ්‍ය පූජා ද්‍රව්‍ය
- අබතෙල්, තලතෙල්, පිරිසුදු එළඟිතෙල් පහන් 1 බැගින්.
- පිරිසුදු පොල්තෙල් පහන් 9ක්.
- මල්වට්ටි 9ක්. (පාට කුමක් වුවත් වරදක් නැත. ශ්වේත වර්ණ මල් වඩාත් සුදුසුය)
- සුවඳ පැන් කළ 7ක්
- රෙදි හෝ කඩදාසිවලින් බෞද්ධ කොඩි 7ක්.
- සුවඳ දුම් කුඩු සහ හඳුන්කූරු.
- පිරිසුදු හා සුවඳවත් කිරිබත් පාත්‍රයක්. (උදෑසන බෝධි පූජාවට පමණි)
- පැන්, ගිලන්පස හා දැහැත්විට.
අදාළ දිනය කුමක් වුවත් වරදක් නොවේ. නමුත් අනිවාර්යයෙන්ම උදේ හෝ සවස 6ත් – 7ත් අතර බෝධි පූජාව පැවැත්විය යුතුය. පුරුදු පරිදි ඉහත දක්වන්නට යෙදුණු මල්, පහන්, හඳුන්කූරු දල්වා, කිරිපිඬු සහ ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව දරුවා අතට අබතෙල්, තලතෙල් ආදී වූ විශේෂිත පහන් එක බැගින් දී බෝධිය වටා වාර 7 බැගින් පැදකුණු කොට බැති සිතින් තමාගේ ප්‍රාර්ථනය බෝධීන් වහන්සේ ඉදිරියේ කියා සිටින්න. බෝධියට ඈතින් පහන් තැන්පත් කරන්න. මෙසේ වාර 21ක් සිදු කරන්න. සියලු පූජාවන් අවසානයේ තමාම, රතන, කරණීයමෙත්ත, ජය පිරිත, මහා මංගල ආදී සූත්‍රයන් නිවැරැදිව සජ්ඣායනය සිදු කරන්න. මෙම පූජාව අවසානයේ සිතට මහා නිදහස්, නිවහල් බවක් දැනෙනු ඇත. විභාග කඩඉමද පහසුවෙන් ජයගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙය අනුහස් බවින් ඉහළ පූජාවක් බැවින් නිසි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු සිදුකිරීමෙන් උච්ච පල නෙළා ගැනීමටද හැකියාව පවතින්නේය.
ඔබටත්, දරුවන්ටත් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයම ලැබේවා
ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන සුරවීර











