අපේ සිංහල ඉතිහාසයේ කඳුළින් පිරුණු දුක්බර වූ අතීතයක් ඇත්නම් එම අතීතය ඇත්තේ කන්ද උඩරට රාජධානියේ බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. ඒ තරමටම කන්ද උඩරට රාජධානියේ නැත්නම් මධ්‍යම පළාතට අයත් මහනුවර රාජධානියේ ඇත්තේ කඳුළු කතාය. මීට ඉහත සතියකදී අප ඔබට කියූ මහනුවර වැව හදපු කතාව ඊට හොඳම උදාහරණයකි. එමෙන්ම එදා ඇහැළේපොළ පවුලට සිදු වූ කඳුළු කතාවද තවත් උදාහරණයකි. සැබෑවටම එවැනි කඳුළු කතා රැසක්ම කන්ද උඩරට රාජධානිය තුළ එදා සිදුවිය. පසුගියදා උතුම් දළදා වහන්සේ වැඩසිටින කන්ද උඩරටින්ම අපට තවත් එවැනිම ඉතාම දුක්බර වූ කඳුළු කතාවක් සොයාගැනීමට හැකිවිය. නමුත් මෙම කතාව වෙනත් කතා තරම් ප්‍රසිද්ධ නැත. ඊට එකම හේතුව මිනිසුන් මෙම කතාවට සම්බන්ධ ස්ථානය ගැන මෙදා එතරම් නොදැන සිටීමයි. එම නිසා අප එම කතාව ඔබට කියන්නට තීරණය කළෙමු.
අප අද ඔබට කියන මෙම කඳුළු කතාව ඇත්තේ මහනුවර ශ්‍රී දළදා මාලිගය පෙනෙන මානයේ ඇති බහිරවකන්ද උඩය. වර්තමානයේ බහිරවකන්ද යනු ඉතාම පූජනීය ස්ථානයක් වුවද මහනුවරට පැමිණ උතුම් දළදා වඳින මිනිසුන් බහිරවකන්දට යන්නේ නැත. ඊට හේතුව එහෙම පූජනීය කන්දක් ගැන ඔවුන් නොදැන සිටීමයි. එහෙත් මහනුවර බහිරවකන්ද කියා මිනිසුන් යන එන කන්දක් තිබේ. මෙම බහිරවකන්ද හමුවන්නේ මහනුවර දළදා මාලිගය අසලින් මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ ගිය තැනය. මේ අතර නුවර වැව ජලයෙන් පෝෂණය වීම පිටුපසද ඇත්තේ මෙම බහිරවකන්ද බව ප්‍රසිද්ධ කරුණකි.
මෙය අංගසම්පූර්ණ පූජා භූමියකි. ඒ අනුව දැන් මෙම බහිරවකන්දේ අලුත්ම නම වන්නේ බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහාරයයි. එදා අම්පිටියේ ධම්මාරාම නාහිමියන්ගේ අනුදැනුම මත ඉදිකළ බව කියන බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහාරය සහ බුද්ධ ප්‍රතිමාව විවෘත කර තිබෙන්නේ ලංකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාය. එමෙන්ම විහාර භූමියේ රන් වැටකින් වටකරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමක්ද දැනට වැඩ සිටියි. මේ අතර බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහාරය ඉදිකළ බව පැවසෙන්නේ අතීතයේ කන්ද උඩරටට සෙත් ශාන්තිය උදෙසා බිලි පූජාවන් කරමින් නොමග ගිය මිනිසුන් සුමඟට ගැනීමටත් එම මිථ්‍යා මත දුරු කිරීමටත් බව අපේ ජනප්‍රවාදයේ සඳහන් වෙයි.
එදා මහනුවර බහිරවකන්ද වෙසමුණි රජුගේ අණ පරිදි වෙන්කර තිබූ බව කියන්නේ බහිරවයාටය. මෙම කන්දට “බහිරවකන්ද” ලෙස නම වැටෙන්නේද එම බහිරවයා නිසාය. බහිරවකන්දේ සිටි බව කියන බහිරවයා බන්ධනය කිරීමට එදා රට වටේ සිටි කිසිදු යකැදුරකුට මෙන්ම බලවතකුට හැකියාවක් තිබුණේ නැත. එකල කලින් කී බහිරවයා ජීවත් වී තිබෙන්නේ රජු හා නගරවාසීන් කෙරෙහි උදහසකින් බව සඳහන්ය. එකල නගරයේ පැහැදිලි වෙනස්කම් රැසක්ද සිදුවිය. වර්ෂාව නොමැතිව රටේ ජලය හිඟවන්නට විය. ගස් වැල් වියළී පරඬැල් වී යන්නට විය. එක්වරම වනයේ සතුන් මියයන්නට විය. වසංගත තත්ත්වයක් පවා පැතිරුණි. මෙම සියලුම දේවල්වලට හේතුව බහිරවයා කෝපයෙන් සිටීම බව එකල රටේ ජනතාවට සිතූහ. රටේ රජුද සිතුවේ එයමය.
මෙම සිදුවීම් සියල්ල බහිරවයාගේ පිටින් යන විට රටේ රජුගේ පුරෝහිත මෙයින් අනිසි ප්‍රයෝජනයක් ලබාගැනීමට මානබලමින් සිට ඇත. ඔහු එදා මුලින්ම තමා ළඟම සිටින රජු රවටන්නේ ඒ නිසාය. ඔහු රජුට පවසන්නේ බහිරවකන්දේ සිටින බහිරවයා දැඩි ලෙස කෝප වී සිටින නිසා මෙම විපත් සියල්ලක්ම සිදුවන බවයි. එවිට රජු ඔහුට පෙරළා පවසන්නේ ඊට යම්කිසි පිළියමක් හොයන ලෙසයි. එය අවස්ථාවක් කරගන්නා පුරෝහිත එක් නක්ෂත්‍රකරුවකු ගෙන්වා ඔහුට කියා රජු රැවටූ බව සඳහන් වෙයි. නක්ෂත්‍රකරු පුරෝහිතගේ කීමට රජුට එදා පවසන්නේ මෙම විපත් මාලාවට පිළියමක් වශයෙන් වාර්ෂිකව නගරයේ වූ රූමත්ම මෙන්ම කන්‍යාභාවය ඇති එක තරුණියක් බහිරවයාට බිලිදිය යුතු බවයි. එසේ නොවන්නට රජුටත් නගරවාසීන්ට නිසැකවම උරුම මරණය බවද නක්ෂත්‍රකරු පවසයි. තරමක් බියට පත්වූ රජු පසුව අකැමැත්තෙන් වුවද ඊට අනුමැතියක් ලබාදී කැමැති වෙයි. ඒත් සමඟම එම බියකරු සමය අවසන් වන්නේ එහි වාසිය පුරෝහිතගේ පැත්තට තල්ලු වෙමිනි. ඒ නිසාවෙන් වාර්ෂිකව කිරීමට නියමිත බිලි පූජාව ආරම්භ වෙයි.
බහිරව පූජාව ආරම්භ කිරීමත් සමඟ රාජ පුරුෂයන් නඟරයේ සිටින කන්‍යාභාවය ඇති රූමත්ම තරුණියන් හොයන්නට පටන් ගනියි. පසුව ඔවුන් රජ වාසලේ සිටි එක්තරා විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට ගෙනැවිත් එයින් අදාළ තරුණිය තෝරාගෙන තිබේ. ඉන් පසුව එසේ තේරූ තරුණිය සුවඳ පැනින් නහවාගෙන රාජකීය වූ සළුපිළි අන්දවා රන් ආභරණයෙන් සරසා මන්ත්‍ර ජපකරමින් පෙරහැරකින් බහිරවකන්දට රැගෙන යයි. එසේ රැගෙන යන්නේ සවස් යාමයේය. ඊළඟට බහිරවකන්ද මුදුනේ එක් තැනක කණුවක් සිටුවා එම තරුණිය එහි බැඳ පෙරහැර ආපසු නගරයට පැමිණ තිබේ. පසුදින එතැනට ගොස් බැලූ විට නගරවාසීන්ට දැකගන්නට ලැබෙන්නේ එම තරුණියගේ නිරුවත් මළ සිරුරයි. පසුව එම මළ සිරුර රාජ්‍ය ගෞරව ඇතිව ආදාහනය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. පසුව මියගිය තරුණියගේ පවුලේ උදවියට ඉඩකඩම් ඇතුළුව වටිනාකමින් ඉහළ තෑගි බෝගද ලැබුණු බව පැවසෙයි. මෙම බහිරව පූජාව වසර කීපයක්ම එසේ සිදුකර තිබේ. එසේම බහිරව පූජාව සිදුකිරීමට නියමිත කාලයට නගරයේ තරුණියන් සිට ඇත්තේද ඉමහත් බියෙනි.
එක් කලකදී බහිරව පූජාව සඳහා තේරෙන්නේ වැලිකල මැණිකේ නම් වූ තරුණියකි. ඇය බෝධිගුප්ත පරපුරෙන් පැවතගෙන ආ රූමත් අයෙකි. ඇය එකල හේමමාලා දන්ත නම් වූ පරම්පරාවේ තරුණයකු සමඟින් පෙමින් වෙළී සිට තිබේ. ඔහු නමින් දුනුවිල නිලමේය. දුනුවිල නිලමේ යනු එකල යම්කිසි වරදකට රජවාසලෙන් නෙරපූ අයකු බවද පැවැසෙයි. කෙසේ හෝ බිලි පූජාව සඳහා ඇයට මුහුණදීමට සිදුවීම උඩ ඇය දුක්වෙයි. ඒ ගැන දුනුවිල නිලමේද සිටින්නේ දෙගිඩියාවෙනි. නමුත් අවසානයේ තරුණිය පෙරහැරකින් රැගෙන ගොස් බහිරවකන්දේ කණුවක ගැටගසා පැමිණෙයි. එහෙත් එදින රාත්‍රියේ මුළු නගරයටම ඇසෙන්නේ කන්දෙන් ආ බියකරු හඬකි. එය ඇසෙන නගරවැසියන් සිදුවූයේ කුමක්ද යන්න බැලීමට පසුදා බහිරවකන්දට ගොස් තිබේ. එහිදී දැකගැනීමට හැකිව ඇත්තේ බහිරවයා මරාදමා තරුණිය කිසිවකු හෝ පැහැරගෙන ගොස් තිබූ බවකි. පසුව ජනතාව රජුට මෙය පැමිණිලි කර තිබේ. අවසන පැහැදිලි වූයේ බහිරවයාට ඇඳ ඇත්තේ රජුගේ පුරෝහිත බවයි. ඔහු කලක පටන් එසේ බැඳ යන තරුණියන්ව දූෂණය කර මරාදමා රන් ආභරණ පැහැරගෙන ගොස් තිබේ. එදා පුරෝහිත මරා තරුණිය බේරාගෙන තිබුණේ වෙන කිසිවකු නොව දුනුවිල නිලමේය. ඒ සැබෑ ආදරේ හැටිය.
ඉහත සිදුවීමෙන් පසුව පුරෝහිතගේ අනුදැනුම මත බහිරව පූජාවට මුල් වූ කපුවාගේ සිරුරද සතර කඩකට පලා නගරයේ ප්‍රදර්ශනය කළ බව සඳහන් වෙයි. පසුව යළිත් කිසිදා බහිරවකන්දේ බහිරව පූජා නොතිබූ බවත් බහිරවයෙක් ඇතැයි විශ්වාස නොකළ බවත් පැවසෙයි. මේ අතර අතීතයේ බහිරවකන්ද යනු ඔත්තු බැලූ ස්ථානයක් බවද හැඳින්වෙයි. කන්ද උඩරට රාජධානිය නිතර නිතර විදෙස් ආක්‍රමණවලට මෙන්ම සතුරු ආක්‍රමණවලට ලක්වීම මත මෙය ඔත්තු බැලූ ස්ථානයක් ලෙස විශ්වාස කළ හැකිය. ඊට හේතුව මුළු නුවර නගරයම බහිරවකන්දට දර්ශනය වීමයි. එමෙන්ම රාජ්‍ය දඬුවම් දුන් ස්ථානයක් ලෙසද මෙම කන්ද හැඳින්වෙයි. එදා වැරදිකරුවන් කටු බෙරයක් තුළ දමා මෙම කන්දෙන් පහළට තල්ලු කළ බව අපේ ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එමෙන්ම තවත් නමගිය වරදකරුවන් මෙම කන්දෙන් පහළට තල්ලුකර මරාදැමූ බවද පැවසෙයි.
රුවන් එස්. සෙනවිරත්න











