කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ ළමා නිවේදකයකු ලෙස ජාතික රූපවාහිනියේ වැඩසටහන්වලට සම්බන්ධ වූ ඔහු පසුව පාසලෙන් සමුගෙන ස්වාධීන රූපවාහිනියේ නිවේදන කටයුතුවලට සම්බන්ධව සිටින කාලයේ “නීලපබළු” ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙයි. “නීලපබළු” හරහා ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම පැමිණි ඔහු සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගත්තේ සිරස නාලිකාවේ විකාශය වන “නීලපබළු” නාට්‍යයේ අභිමන්ගේ චරිතය වෙනුවෙනි. අපි ඒ සම්මානය ලැබීමේ සතුට පිළිබඳ ඔහුගෙන් විමසුවෙමු.
කොහොමද රංගන ජීවිතේ ආරම්භය?
මම ක්‍ෂේත්‍රයට පැමිණුනේ ළමා නිවේදකයකු ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරනකොට. ඒ කාලේම ජාතික රූපවාහිනියේ වැඩිහිටි වැඩසටහනුත් මෙහෙයවන්න ලැබුණා. ඉන් පසුව පාසලෙන් සමුගෙන ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වුණා. එහිදී සඳරුවන් ජයවික්‍රම මහත්තයා තමයි මාව මුලින්ම ටෙලිනාට්‍යවලට සම්බන්ධ කරගත්තේ. ඒ 2013 වර්ෂයේ විකාශය වුණු “සුළ`ඟ’ කියන ටෙලිනාට්‍යයේ ‘පවන්’ කියන ප්‍රධාන චරිතයට. සඳරුවන් අයියා පාසල් යන කාලයේ අපේ ගෙදරට දුරකතන ඇමැතුමක් දීලා මෙහෙම ඇහුවා. මල්ලි මම “සුළඟ” කියලා නාට්‍යයක් කරනවා ඔයා කැමතිද ප්‍රධාන චරිතය රඟපාන්න කියලා. මම කිව්වා අම්මලාගෙන් තමයි අහන්න ඕනේ කියලා. අපේ පවුලේ එකම දරුවා මා නිසා මවුපියන්ගෙ අවධානය ඉහළින් පැවතුණා. පොඩි දෙයක් කළත් ඒ කාලේ ඒ දෙන්නා පස්සෙන්මයි හිටියේ. එකම ළමයා නිසා එයාලා රඟපාන්න කැමැත්ත දුන්නත්, අම්මා කිව්වා කොච්චර රොමැන්ටික් චරිත තිබුණත් ගෑනු ළමයින්ගේ අතින් අල්ලන්න, බදාගන්න යන්න එපා කියලා. ආශා එදිරිසිංහ අක්කා එක්ක තමයි රඟපාන්න ලැබුණේ. කොහොම හරි සුළඟෙ දර්ශනවල අතින් අල්ලන්නේ නැතුව ආදරේ කරලා රඟපෑවා. රසිකයන්ට ඒ ආදරයත් දැනුණා.
සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලැබුණාම දැනුණු සතුට කොයි වගේද?
ජනප්‍රියම නළුවා සම්මානය ලැබෙන්නේ වාසනාවකට. ඒ ජනතාවගේ ආදරය. ඒක තමයි කලාවේ රඳා පවතින්න වටිනාම දේ. ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක කලාකරුවෙක්ට ඉදිරියට යන්න ලැබෙන ලොකු පන්නරයක්. අසීමිත සතුටක්. අසීමිත ආදරයක් මේ දේවල් මට ගොඩක් වටිනවා. මෙහෙම සම්මාන උළෙල සංවිධානය කරන්න ඕනේ. කලාකරුවන් දිරිගන්වන්න ඕන. ඒක ඉදිරි රඟපෑම් කටයුතුවලට ලොකු ශක්තියක්.
කොහොමද රසික ප්‍රතිචාර, ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලැබීම ගැන?
මට වඩා මේ සම්මානය වුවමනා වුණු පිරිසක් හිටියා. ඒ අතර මගේ අම්මලා දෙන්නා. තාත්තලා දෙන්නා, බිරිය, බිරියගේ නංගී මගේ ව්‍යාපාරික ආයතනයේ පිරිස. අපේ ලංකාවේ නිවේදක නිවේදිකාවන්ගේ එකමුතුව කියලා සංගමයක් තියෙනවා. ඒ සංගමයේ ඉන්නවා විවිධ නාලිකාවල නිවේදක නිවේදිකාවන්. එයාලත් උදව් කළේ ඒ තමන් වැඩකරන නාලිකාවන කලාකරුවන්ට නෙවෙයි. මට සම්මානය අරන් දෙන්න එයාලට ලොකු වුවමනාවක් තිබුණා. විශේෂයෙන්ම රාජකීය විද්‍යාලයේ 2006 කණ්ඩායමත් මේ රටේ මගේ රසික රසිකාවියන්, මගේ බිරිය ප්‍රෙග්නන්ට් නිසා සම්මාන උළෙලට ආවේ නැහැ. දැන් අපට පුතෙක් ලැබෙන්න ඉන්නේ. දැන් මාස 6ක් ගතවෙලා බිරිය මේ සම්මානය ලැබුණා කියලා රූපවාහිනියේ දැකලා සතුටට අඬලා තිබුණා. අම්මා ඒ ගැන මට දුරකතනයෙන් කතා කරලා කිව්වා. මේ සියලුම දෙනාව මම ආදරයෙන් මතක් කරනවා.
ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලැබෙන්න පෙර දින විරෝධතා දක්වලා දුරකතන ඇමතුම් ලැබුණාලු නේද, ඒ ගැන කිව්වොත්?
ඔව්. ඇත්තෙන්ම එහෙම ඇමතුම් ලැබුණා. උදාහරණ වශයෙන් අපි ඡන්ද ව්‍යාපාරයක් ගත්තාම තමන් කැමති කෙනා දිනනවාට තමයි කැමති. ඒ වගේ තමයි සම්මානයත්. තමන් කැමති කෙනාට සම්මානය ලබාදී ඒ කෙනාව ඉහළින් ඔසවා තබන්න කවුරුත් කැමතියි ඉතින්. ඒ දුක සාධාරණයි. සමහර අය කිව්වලු කොහොමද එයාට ඒ සම්මානය ලැබෙන්නේ කියලා. මේ විරුද්ධත්වය දක්වපු කිසිම කෙනෙක් කෙරෙහි මගේ තරහක්, වෛරයක් කවදාවකවත් නැහැ. ඒ අය අද බැන්නත් ඉදිරි දිනයක ඔවුන් මට ආදරය කරයි.
ඔබ නීල පබළු නාට්‍යයේ වගේ සැබෑ ජීවිතෙත් බොස් කෙනෙක් නේද, ඒ ගැන කිවවොත්?
මට තියෙන්නේ ඇඟලුම් ව්‍යාපාරයක්. ඒකේ නම “ඩීප් කෝනර්” පිහිටලා තියෙන්නේ ඇහැලියගොඩ. මේ සම්මානය අතට ගන්න මගේ ව්‍යාපාරයේ කළමනාකාරිත්වය, දරුවෝ ටික දැරූ උත්සාහය වචනවලින් කියලා නිම කරන්න බැහැ. ඒ අයටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒක තමයි ආදරේ කියන්නේ. මේ සියලු දෙනා පවුලක්. එයාලා තමයි මගේ ජීවිතේ ශක්තිය.
සැබෑ ජීවිතයේදී කුරුලු සහ පූජා යන මේ දෙන්නා ලැබුණොත් බාරගන්න කැමති කාවද?
සැබෑ ජීවිතේ පූජා ලැබුණත්, කුරුලු ලැබුණත් භාරගන්නේ මගේ බිරිය නවෝද්‍යා. මම බලාපොරොත්තු වන සියලුම ගතිගුණ සර්වසම්පූර්ණව තියෙන්නේ මගේ බිරිය ළඟ.
අභිමන් පූජාට, කුරුලුට ආදරේ කරන එකට නවෝද්‍යාගේ අකමැත්තක්, ඉරිසියාවක් දැනිලාම නැද්ද?
කවදාවත්ම නැහැ. කුරුලු සහ පූජා කියන්නේ නවෝද්‍යාගේ හොඳම යාළුවෝ. එයා තමයි ෂූටිං කරන අවස්ථාවලදී ආදර චරිත රඟපානකොට කියන්නේ තව ටිකක් ළංවෙලා ඒ චරිතය රඟපාන්න කියලා. ගෙදරින් ඒ නිදහස ලැබුණේ නැත්නම් ඒ චරිතය රඟපාන්න බැහැ. මේ සම්මානයට පාත්‍රවෙන්න ඒ අවබෝධය, නිදහස ගොඩාක් පිටිවහලක් වුණා.
මේ සම්මානයට දායක වුණු අය මතක් කළොත්?
විශේෂයෙන්ම සිනේ එන්ටර්ප්‍රයිසස් ආයතනයට, සිරස ආයතනයට සහ සඳුන් රාජකරුණා මහතාට, කැමරා අධ්‍යක්‍ෂ දුලිප් පුස්සැල්ල මහතාටත් මුළු නීල පබළු කණ්ඩායමටත් ස්තුතිවන්ත වෙනවා. අධ්‍යක්‍ෂතුමාගේ පටන් තේ හදන අයියා දක්වාත්, ලයිට් බෝඞ් අල්ලන සියලුම දෙනාගේ සහායත් මේ සඳහා ඉවහල් වුණා. මේ සම්මානය අපි හැමෝගෙම සම්මානයක්.
සුමිරාන්ගේ පවුලේ විස්තර කොහොමද?
පවුලේ එකම දරුවා මම. විශාල කැපවීමකින් මාව හැදුව අම්මා, පුංචි කාලේ වගේම තාමත් මා ළඟ ඉන්නවා. අපි පුංචි පවුලක්. නවෝද්‍යා වැලිකෙළියේ සෙල්ලම් කළ පුංචි කෙල්ල අවුරුදු 5ක් ආදරේ කරලා විවාහ වුණා. මගේ මාමා කෙනෙක්ගේ දුවෙක් එයා.
අනාගත බලාපොරොත්තු?
සාර්ථක පවුල් ජීවිතයක් සහ ජනතාව ආදරය කරන හොඳ කෙනෙක් ලෙස ජීවත්වීම.
නිලන්ති රේණුකා