දැනට අධිකරණයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයකු මුල් කරගෙන එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර ද්වන්ධ සටනක් ආරම්භ වී තිබේ.
මෙම ද්වන්ධ සටන ආරම්භ වී ඇත්තේ අදාළ වරදකරුවා සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා තැබූ ෆේස්බුක් සටහනකට නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ පිළිතුරු ලබා දීමට පියවර ගැනීමත් සමගය.
ඇතැම් මාධ්‍ය සදාචාර විරෝධී ලෙස මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් සිදු කරන අසත්‍ය විවේචන සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා තබා තිබූ සටහන මෙසේ විය.
‘මාධ්‍ය නම් දේශපාලනික ලොව සොඳුරුතම පිටියකි. වසර 52ක මාගේ ජීවිතයේ මාධ්‍ය සහෝදරයන් මිස මාධ්‍ය හතුරන් මට නොමැත. මන්ද මගෙන් ප්‍රශ්න අසන්නා වු මාධ්‍ය සහෝදරයන් අවංකවම මාගේ සහෝදරයන්ය. අවාසනාවක මහත නම්, පටු වාණිජ අරමුණු සඳහාද, මිනීමැරුම් සඳහා අධිකරණයෙන් වරදකරුවන් කරනු ලැබුවා වූ ඇතමුන් නිදහස් කරගැනීමට පවතින අරමුණු සඳහාද ඇතැම් මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ අණ මත මාධ්‍ය සදාචාර බිඳ දැමීමට ඔවුන්ට බලපෑම් සිදුවීමයි. නොවැම්බර් 16 වෙනිදා පටන් එලඹෙන පාලනයක් තුළ මාධ්‍යවේදීන් හට තම වෘත්තිය අභිමානවත් අයුරින් කිරීමට අවශ්‍ය පසුබිම ලබා දෙන බවට මම ප්‍රතිඥා දෙමි.’
කෙසේවෙතත් ඊට පිළිතුරු දෙමින් සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබා තිබූ නාමල් රාජපක්ෂ මහතා කියා තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය නිදහස හා මාධ්‍ය අගයන් පිළිබද නිතරම කතා කළත් තමන් එකග නොවන මාධ්‍ය වාර්තාකරණයක නිරත වීම හේතුකොටගෙන ප්‍රසිද්ධියේම මාධ්‍ය ආයතනයක් හෙළාදැකීමට කටයුතු කොට ඇති බවකි.
නාමල් රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රතිචාරයට ප්‍රේමදාස මහතා තවත් ට්විටර් පණිවුඩයක් මගින්ම නාමල් රාජපක්ෂ මහතාට පිළිතුරු දෙමින් කියා ඇත්තේ එක්තරා ‘පචවාහිනියක්’ දිගින් දිගටම තමන් කොන්දේසිවලට යටවී ඇති බව ප්‍රකාශ කරන බවකි. තමන් ජනාධිපති අපේක්ෂකත්වය පවා කොන්දේසි විරහිතව ලබා ගත් බවත්, කමන් කිසිදිනෙක මාධ්‍ය ප්‍රචාරය ලබා ගැනීම වෙනුවෙන් මිනීමරු කුඩු රජකුට සමාව නොදෙන බවත් ප්‍රේමදාස මහතා එහිදී සදහන් කර තිබේ.
ඔවුන් තමන්ට කෙතරම් ප්‍රහාර එල්ල කළද තම ජයග්‍රහණය වැළැක්විය නොහැකි බවද හෙතෙම නාමල් රාජපක්ෂ මහතාට පිළිතුරු දෙමින් සදහන් කර තිබේ.
මේ අතර ජනතාවට අයත් පොදු දේපොළක් වන මාධ්‍ය තරංග දැඩි ලෙස අවභාවිත කරමින් ගෙන යන ඒකපාක්ෂික ප්‍රචාරක ව්‍යාපෘතිය මත ‘හිරු’ නාලිකාවේ සියලු දේශපාලන වැඩසටහන් වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කර ඇත.
ඒ අනුව මින් ඉදිරියට ‘හිරු’ නාළිකාවේ කිසිදු වැඩසටහනකට සහභාගී නොවීමටත්, ඊට දැන්වීම් ලබා දීම අත්හිටුවීමටත් එක්සත් ජාතික පක්ෂය තීන්දු කොට තිබේ.