බුද්ධාගම සුරැකි මහා ගිවිසුමේ පහ වගන්තිය

ආණ්ඩුව හා බුද්ධාගම අතර පැවැති සම්බන්ධයට ඉංග්‍රීසි පාලන සමයේදී අවැඩක් වෙතැයි සිතා ඉංග්‍රීසින් සහ සිංහලයන් අතර ඇති කරගත් මහ ගිවිසුමට වගන්තියක් එක් කොට තිබිණි. එම වගන්තිය ගිවිසුමේ පස්වැනි වගන්තිය වන අතර ඊට අනුව බුද්ධාගම හා බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවට පත්විය. එහෙත් කැරැලිකරුවන්ට බෞද්ධ භික්ෂුන්ගේ සහාය පළවීම මත ඉහත වගන්තිය වෙනස් කොට බෞද්ධාගමට හා බෞද්ධ උත්සව සඳහා පෙර දැක්වූ සහයෝගය දක්වන බවට පමණක් සඳහන් කෙරිණි.
සුද්දගෙ ආරක්ෂාවට රට වටේටම බලකොටු

රටෙහි බලය තමන් සතුකර ගැනීමෙන් පසු යුදමය වශයෙන් වැදගත් සෑම තැනකම බලකොටු ගොඩනැංවීමට ඉංග්‍රීසින් කටයුතු කරන ලදී. ඒ අනුව රුවන්වැල්ල ඉද්දමල්පාන, හෙට්ටිමුල්ල, අට්ටාපිටිය, අමුණුපුරය සහ කුරුණෑගල, මාතලේ, ගලගෙදර, නාලන්ද, බදුල්ල හා බටුගෙදරද බලකොටු පිහිටුවීමට ඉංග්‍රීසීහු කටයුතු කළහ. ඉන් පසු 1817 දී ඇතිවූ උඩරට කැරැල්ලෙන් පාඩමක් ඉගෙනගත් ඉංග්‍රීසීහු කඳුකරයෙහි පිහිටි නුවරඑළිය, වැලිමඩ, කොත්මලේ, මතුරට, අළුපොත ආදී තැන්වලද බලකොටු ඉදිකළහ. ඒ අනුව සියලු ප්‍රදේශ ආවරණය කරමින් මංමාවත්ද දියුණු විය.
ඉංග්‍රීසීන්ට නොගැළපුණු රදල බලතල

උඩරට රදලයන්ට අයත්ව තිබූ ඇතැම් බලතල පිළිබඳ ඉංග්‍රීසින්ට තිබුණේ තරමක් නොසතුටකි. එහෙයින් රදලයන් සතුව තිබූ ඇතැම් ගාස්තු අයකිරීම්, දඩගැසීම් හා නඩු ඇසීමේ බලතල නැතිකොට බි්‍රතාන්‍ය උසාවි ඇතිකරන ලදී. මෙයින් සියලු දෙනාටම සමාන බවක් ලැබුණු අතර, රදලයන් සතු බලයට ඉන් පහර වැදිණි. මේ කාලයේ එනම් 1822දී උඩරටට මහා මාර්ගයක් කැපීම නිසා එම ප්‍රදේශ හමුදාව මගින් පාලනය පහසු විය. ඒ හේතුවෙන් පෙර මෙන් බරපතළ කැරැලි ඇතිවීමට ඉඩක් නොවූ හෙයින් ඉංග්‍රීසීන්ට සිය පාලනයට අවශ්‍ය ආකාරයට රටත් ජනතාවත් හැඩගස්වා ගන්නට පහසු විය.











