චීනය අද වන විට ලෝකයේ බලවත්ම රාජ්‍යයක් ලෙස ඉදිරියෙන්ම කියැවෙන නමක් වී හමාරය. ඊට හේතුව කවුරුත් දන්නා පරිදි ලෝක ආර්ථිකයේ අති ප්‍රබල ස්ථානයක් මේ වන විට චීනය තමන් සතු කරගෙන හමාරය. එහෙමත් නැතිනම් චීනය ඉතා වේගයෙන් සිය ආර්ථික ඉලක්ක ජය ගනිමින් සිටී. දීර්ඝකාලීනව ලෝකයේ මානව වර්ගයාගේ ඉතිහාසය දෙස හැරී බැලීමේදී එතෙක් මෙතෙක් ඉතිහාසයේ මානවයාගේ විවිධ ක්‍රියාකාරකම් ලෝක ආර්ථිකයට මෙන්ම ලෝකයේ පැවැත්මටත් බලපා තිබේ. එලෙසම ලෝකයේ ස්වභාවික සංසිද්ධීන් පාලනයටත් මානවයාගේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවී තිබේ.
එවන් හපන්කම් අතර චීනය ඉදිරියෙන්ම කියැවෙන නමකි. ඇතැම් බටහිර ජාතීන් ඉතා ප්‍රාථමික අවධියක සිටින යුගයක චීනය සිය අභිමානය වෙනුවෙන් කළ දැවැන්ත නිර්මාණ අද වෙද්දී ලෝකයේ පාලනයට ප්‍රබලව සම්බන්ධකම් ඇති කරගෙන තිබෙන අයුරු දැකිය හැකිය. එහිදී චීනය සිය නාමය මුලින්ම ලෝක පූජීත කළේ චීන මහා ප්‍රාකාරය ඉදිකරමිනි. එවකට වෙනත් ජාතියකට එවන් වික්‍රමයක් කරන්නට තබා සිතාගන්නටවත් නොහැකි යුගයකි. එවන් යුගයක අති විශිෂ්ට නිර්මාණයක් කළ චීනය එයින් නොනැවතී සිය ආර්ථිකය ඉතා ශීඝ්‍ර දියුණුවක් සහිත වේගවත් ගමනකට යොමුකර ගන්නට සමත් විය. ඒ, 1978 වර්ෂයේ සියාව් පින්ග්ගේ නව ආර්ථික දර්ශනයත් සමගින් ඇති වූ ආර්ථික පුනරුදයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එම ආර්ථික වර්ධන වේගය සම වන්නට තබා අහලකටවත් එන්නට අනෙකුත් කිසිදු රාජ්‍යයකට පහසු නොවීමද විශේෂ කාරණාවකි.
එලෙස අති විශිෂ්ට ආර්ථික සංධිස්ථානයක් ලබාගත් චීනය තවත් දැවැන්ත කටයුත්තක් කරමින් ලෝකයේ පාලන බලය සියතට නතු කරගත්තේ එතෙක් පෘථිවියේ පැවැති භ්‍රමණ වේගයද යම් වෙනසකට බඳුන් කරමිනි.
චීන මහා ප්‍රාකාරයට නොදෙවැනි මෙම නිර්මාණය නම් ත්‍රී ජෝර්ජ් නමින් හැඳින්වෙන අති විශාල වේල්ලයි. මෙය වේල්ලක් යැයි කියූ පමණින් අපගේ සිහියට නැගෙන වේල්ලක් නොවන අතර එය ලෝක ඉතිහාසයේ ඉදිවූ විශාලතම වේල්ල ලෙසින්ද ඉතිහාසගතවී හමාරය. යන්ග්ට්සේ ගංගාව හරස් කරමින් ඉදිකර ඇති ත්‍රී ජෝර්ජ් වේල්ල සමගම කියැවෙන අනෙක් නිර්මාණය වන්නේ එතෙක් මෙතෙක් ලෝකයේ ඉදිකෙරුණු විශාලතම ජල විදුලි බලාගාරයයි. ත්‍රී ජෝර්ජ් වේල්ල හා ඉදිකෙරුණු ජල විදුලි බලාගාරයෙන් ජනනය කෙරෙන විදුලි ධාරිතාව දැනට ලෝකයේ ඇති විශාලතම න්‍යෂ්ටික බලාගාරයෙන් නිපදවන බලශක්තිය මෙන් පහළොස් ගුණයකි. එය කිලෝවොට් මිලියන 22.5කි. ඒ සඳහා ත්‍රී ජෝර්ජ් වේල්ල හා සම්බන්ධව ජෙනරේටර් 32ක් සවිකර ඇත. එම එක් ජෙනරේටරයක මෙගාවොට් 50ක විදුලි ධාරිතාවක් නිපද වේ.
මේ වේල්ල ඉදිකිරීම සඳහා චීනයට ඇමෙරිකානු ඩොලර් බිලියන තිහක මුදලක් වැය කරන්නට සිදුව ඇත. ත්‍රී ජෝර්ජ් වේල්ල ඉදිකිරීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල ජීවත් වූ ලක්ෂ 13ක ජනතාවට සිය උන්හිටි තැන් මාරු කරන්නට සිදුවී තිබේ.
මේ මහා නිර්මාණයේදී සම්පූර්ණ නගර 13ක්, අර්ධ නාගරික ප්‍රදේශ 140ක්, ගම්මාන 1,600ක් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. ඒත් සමගම වසර දහස් ගණනක් පැරැණි ඓතිහාසික භූමි විශාල ප්‍රමාණයක්ද අහිමි වීම කනගාටුවට කරුණක් වුවත් මෙයින් සිදුව ඇති ආර්ථික ප්‍රවර්ධනය නිසාම අන් සියලු කාරණා යටපත්ව යෑම රහසක් නොවේ.
මේ සියල්ල සමගින් ත්‍රී ජෝර්ජ් වේල්ල හා ඉදිවෙන ජලාශය තවත් සුවිශේෂ කාරණයක් හේතුවෙන් ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත් වෙනවා. එනම් මේ ජලාශයේ එක්රැස් වෙන ජල කඳ හේතුවෙන් පෘථිවියේ එතෙක් මෙතෙක් පැවැති භ්‍රමණ වේගය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීමක් සිදුවන බවට විද්වතුන් අදහස් දක්වා තිබෙනවා. ඒ අනුව පෘථිවියේ භ්‍රමණය මයික්‍රො තත්පර 0.6කින් ප්‍රමාද වීමක් සිදුව ඇත.
මෙම බලපෑමට හේතුව වන්නේ ත්‍රී ජෝර්ජ් වේල්ලේ සම්පූර්ණ මට්ටමට ජලය පිරුණු විට එය මුහුදු මට්ටමේ සිට මීටර් 175කින් යුක්ත වේ. මෙහි ඝන කිලෝමීටර් 39ක ජල කඳක් එකතු වීමක්ද සිදුවෙනවා. එම ජල කඳේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් ටි්‍රලියන 39ක් බවත් හෙළිවී තිබෙනවා. එතරම් බරක් සහිත ජල කඳක් ඉතා සීමිත ප්‍රදේශයක පැතිර තිබීම මත එය පෘථිවියේ භ්‍රමණයට බලපෑමක් විය හැකි බවටයි බොහෝ විද්වතුන් අදහස් පළ කර ඇත්තේ.
කෙසේ නමුත් චීනයේ ත්‍රී ජෝර්ජ් වේල්ල ලෝකයේ අද්විතීය නිර්මාණ සහ ඉදිකිරීම් අතර සුවිශේෂ තැනක් හිමිකර ගන්නා අතර, එය චීන මහා ප්‍රාකාරයට නොදෙවැනි ගෞරවයක් චීනයට උරුම කරවයි. එමෙන්ම එරට ආර්ථිකයට ත්‍රී ජෝර්ජ් වේල්ල හා ඊට සම්බන්ධ බලාගාරය හේතුවෙන් ලැබෙන දායකත්වයද සුළුපටු නොවේ.
කුමාර රත්නායක











