ඈත අතීතයේ ලොව පුරාම අපේ හෙළ ශිෂ්ටාචාරය පැතිර තිබූ බවට සාධක එමටය. වචනයක නිරුක්තිය සෙවීමේදී ඒ පැහැයේ. නාමයක් යනු ඉතිහාසය මතුවන මූලාශ්‍රයකි.
පිටරැටියන් සිය ගම්බිම්වලට තමතමන්ගේ බසට ආවේණික නම් ගොත් තබනු විනා අපට හිමි වදනින් ඒ කාර්යය ඉටුකර ගන්නේ පිස්සුවට යැ.
හේළි හෙළ වදනින් නිපන් මේ නම්ගම් විමසා බලත්වා.
මිසරයේ මහ නදිය ඉංගිරිසියෙන් බ්ලූ නයිල්ය (Blue Nile). එහෙත් මිසර වැසියන් ඒ නදිය හඳුන් වනු ලැබුවේ “නිල් නාහර්” ලෙසිනි. මේ නිල්නාහර් යන වචනය හොඳ පිරිසිදු හෙළ වදනකි.
“ඉල්” යන වචනයේ තේරුම කොළ (ගසේ කොළ-පත්‍ර) යන්නයි. ගොයම් කොළ (ගස්) හැදෙන මාසය ඉල් මාසය වූයේ ඒ නිසයි.
“න” යන අකුරෙහි අර්ථය ඇදෙනවා යන්නයි. ඇදීයන හෙයින් නයාට (න-යා) කියත්.
“නාය යනවා”, තවත් උපහැරණයකි. ඇදෙන දිය නිසා නදියයි (ගඟ). නමුණුකුල තවත් එකකි. පේළියට ඇදීයන හෙයින් එසේ වී ඇත. .
“නූල්” යන වදන ඔබ කොතෙකුත් අසා ඇත්තකි. ඒ ගැනත් සිතන්න. ඇදෙන හෙයින් “නූල්” වේ.
“හර ” යනු “වැල” මෙන්ම “මාලයට”ද යෙදේ. “මුතුහර” යන්න ගැනත් සිතන්න.
“දිව ගඳ විහිදෙන එසඳුන් හරකුත්-මනුලොව බිසවටදී තොසකර සිත්” ලෙසින් අලගියලවන්න මුකවැටි පඬිතුමන් “කුසදා කවෙහි” සඳහන් කර ඇති සේය.
ඉදින් මිසරයේ ඈත අතීතයේ විසූ අපේ හෙළයන් නයිල් නදියට “නිල්නාහර්” යන නාමය තැබුවේ මේ ගලන නිල් දිය දහර, නැතහොත් ඇදෙන නිල් දිය වැල යන අර්ථාන්විත අර්ථයෙනි.
මිසරයේ ප්‍රසිද්ධම නගරය කයිරෝය. අගනුවරද එයයි. “කා” සහ “කයි” යන දෙවදනම “භූමිය” (බිම) යන අරුත දනවයි. “රෝ” සහ “රා” දෙපදයද සූර්යයාට ම නමකි. “කා රෝ” යන දෙවදන ගැටගැසී “කයිරෝ” වූවේය. ඒ අනුව “කයිරෝ” යනු “හිරු බිමයි” ඒ අපේ හෙළ වීරයන් (වැඩ්ඩන්) ඒ භූමිය “සූර්ය භූමිය” ලෙසින් නම්කර ඇති අන්දමයි.
එසේම “කා” යන්න “හිසට”ද බාහිර “පොත්තට”ද යෙදේ කා (හිස) වඳ (නැති-වඳ ගෑනි) තණ්හි යෙදී ඇත. එසේ හෙයින් හිසසුන් මළ කඳට “කවන්දය” යැයි කියත්.
“මහි කා” (පොළවේ පොතු) යනු “මිනිරන්”ය. ඉංගිරිසියෙන්ද “මහිකා” (Maica) වේ.
“කාබෙරියා” යැයි අපි අප්‍රිකානුවන් හඳුන්වමු. එම වචනයෙන්ද අනාවරණ වන්නේ හෙළ බස් වහරේ ප්‍රතාපවත් බව මෙන්ම අපේ සැහියාව (සංස්කෘතිය) දසත පැතිර තිබූ වගයි. අප්‍රිකානුවන්ගේ හිස (කා) අපිරිසිදු බැවින් අපට අපිරිය (අප්‍රිය) ඇතිවේ. එබැවින් කා අපිරියා කාපිරියා වී කාබෙරියා වී තිබේ.
“කරය” සහ“බඩ්‍ර (බොඩ)” යන දෙපදය කිසියම් ප්‍රදේශයක් (පළාතක්) වෙන්කර හැඳින්වීමට භාවිත කෙරේ.
කඳුකරය, මූදුකරය, පොල්කරය මෙන්ම කඳුබඩ සහ වැල්ලබඩද නිදසුනි.
මහා කාන්තාරයක් මැද පිහිටි පලදාය (සශ්‍රීක) ප්‍රදේශය ක්‍ෂේම භූමියයි. වර්තමානයේ “මැඩගස්කර්” ලෙසින් හැඳින්වෙන්නේ කාන්තරයක් මැද තිබූ ඒ සශ්‍රීක ප්‍රදේශයට “මැද ගස් කරය” ලෙසින් අතීත හෙළයන් තබන ලද සංනාමයම “සුදු මහත්වරුන්” තමනට හැකි අන්දමට උසුරුවන්නට පටන් ගත් හෙයිනි.
“රෝ” පදයෙන් හිරු (සූර්යා) සහ සූර්යාලෝකය හැඳින්වේ.
රුහුණ යන පදය හැදුණේ “රෝ සොන්” යන දෙපදය එකට එක්වීමෙනි. “සොන්” යනු “පුත්‍රයා”යි. කාලයාගේ ඇවෑමෙන් කටවහරට අනුව (වහරනු සෙරෙන් සපයා-සිදත) රොසොන් රොහාන්වී රුහුණ වීය. (“ස” සහ “හ” යන අක්‍ෂර දෙක එසේ මාරු වේ. (සඳ-හඳ සතුරා හතුරා)
(අපේ ඉතිහාසය අමතක නොකළ මැනවි. හෙළයන් පැවැත එන්නේ සූර්යයා (රා) ගෙන් බැවිණි. එහෙයින් හෙළයන් සූර්ය වංශිකයන් වේ. සූර්ය දිව්‍යරාජයාට දාව නෑඹුල් කන්‍යාවියකගේ කුසයේ “මානවයා” උපන් බව මහා සම්මත හෙවත් මනු රාජ වංශයේ සඳහනි. හැබැයි ඒ “චාල්ස් ඩාවින්” පරිණාමවාදය ඉදිරිපත් කරන්නට බොහෝ කලකට පෙරය. (ඒ කතාවත්ථුව (පුවත) පසුව දක්වන්නෙමු)
බොහෝ එළිය (දිස්නෙ) දෙන හෙයින් හිරුට “වෛරෝ(දි)ඩි” යන්න බැවහැර වේ. “වෛරෝ(දි)ඩි යනු සූර්යයා සේ ආලෝකය විහිදුවන තේරුමයි. නිවැරදි වදන “වෛරෝදි” යන්නය. අපේ දහඅට වන්නම්හි “වෛරෝදි” වන්නම යැයි වන්නමකි. ඒ “හිරු නැටුමයි” නොහොත් “සූර්ය” නමස්කාරයයි.
වෛාරා්දි(ඩි) මැණික තුළ නූලක් සේ නටන ආලෝක ධාරාවක් ඇත. ඒ ඛනිජ පාෂානයට ඒ නම ලැබී ඇත්තේ සූර්යාලෝකය සේ රඟන ආලෝක දහරාව නිසාවෙනි.
“බා” වචනයේ තේරුම් කීපයකි. බහිනවා, (හිරු බහිනවා) පාත්වෙනවා (වැල බානවා), වැටෙනවා, (හේ බානවා) වාසනාව (වමු අපි මහ බා), වල්ගය (කබර බා) යන සේම පිනි බානවා, අඳුර බානවා. අව්ව වැටෙනවා. අන්දමින් ඕනෑ තරම් උදාහරණ. තිබේ.
“රබා” නැත්හොත් “රඹහ” යනු බහින හිරු එළියයි. කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ වැවකට හොඳින් හිරු එළිය වැටුණු හෙයින් පැරැන්නන් ඊට “රඹහ වැටුණු වැව” යැයි කීයෙන් අද ඒ පෙදෙස “රඹාව” (රඹෑව) ලෙසින් පළය.
අප කුඩා අවධියේ ලේන්සු ගැටයක් සඟවන (හංගන) ක්‍රීඩාවක් තිබිණි. (වර්තමානයේ දරුවන් ඒ ක්‍රීඩාව අසා හෝ නැති තරමි) එහිදී ක්‍රීඩකයෝ “රෝද(දැ) රෝද(දැ) මල් වලා” යන ගීය ගයති.
එය ගැයීමේදී අප (නොදන්නාකමෙන්) “රෝද රෝද” යැයි කීවද කිව යුත්ත රෝදැ, රෝදැ යන්නයැ. “රෝ” යනු හිරුයි. “රා” යන්නද යෙදේ. (මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ටාචාරය) “දැැ” (දැය) යනු ජාතියයි. එවිට හිරුදැ යනු “සූර්ය ජාතියයි (සූර්ය වංශයයි).
“සහරා” කාන්තාරය ගැන ඔබ ඇතැම් විට අසා තිබෙන්නට පිළිවන. පිවිතුරු හෙළ වදනකි. “සහ” යන්න “සමග” (සම්බන්ධය) යන අදහස අඟවන පදයකි. “රා” සූර්යායි. “සහ රා ”යනු සූර්යා මෙන් ගිනි ගහන ප්‍රදේශයයි.
“නිරිවාණය” විමුක්තියයි. මිදීමයි. “පිරි” යන පදය “සම්පූර්ණ” යන අර්ථයද දේ. සම්පූර්ණයෙන්ම මිදීම “පිරමිදියයි”. ඒ මරණයෙන් පසුවය. ඒ පිරිසිදු, සුපිරිසිදු සිංහල නිරුක්තියකි. ඒ වදන ඉංගිරිසි බසට ගියේය. උසුරුවන්නේ පිරමිඩ් (Piramid) ලෙසිනි. අපේ උන් ඊජිප්තුවේ “සොහොන් කොත්” හැඳින්වූ පිරමිදිය පිටරැටියනට පිරමිඩ් වූයේ එපරිද්දෙනි.
අප බොහෝ දෙනා “ඉඳුරා”දනිත් යැයි කියති. එහි අරුත “හිරු (රා) සඳු (ඉඳු) සේම නිසැකවම දන්නා බැව් කීමය.
අපේ අතීත හෙළයෝ නිරුක්ති විදා්‍යාව (Etimology) සම්බන්ධව කෙතරම් කෙළ පැමිණියෝ දැයි විමසත්වා.
චන්ද්‍රසේන මාරසිංහ











