නෙස්ලේ සමාගමේ ජනාදරයට පත් සන්නාමයක් වන මයිලෝ, තම සැකසූ පානය සමඟ ලබාදෙන ප්ලාස්ටික් බීම බටය වෙනුවට කඩදාසි බීම බටයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ මෙරට සැකසූ පාන අතරින් වඩාත් තිරසාර විසඳුමක් ලෙස කඩදාසි බීම බට හඳුන්වා දුන් පළමු නිෂ්පාදනය බවට පත්වෙමිනි. මේ සමඟ වසරකදී ප්ලාස්ටික් බීම බට මිලියන 90ක් පමණ භාවිතයෙන් ඉවත් කිරීමට හැකි වී තිබෙන අතර, මයිලෝ පාන ඇසුරුම 100%ක්ම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි තත්ත්වයටද පත්කොට තිබේ. තම නිෂ්පාදන ඇසුරුම් හරහා පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමට නෙස්ලේ සමාගම අනුගමනය කරන විවිධ පියවර රාශියක් අතරින් තවත් සුවිශේෂ පියවරක් ලෙස මෙය හැඳින්විය හැක. මීට අමතරව නිෂ්පාදන ක්‍රියාවලි සහ ඇසුරුම්කරණ විසඳුම් පිරිනමන සමාගමක් වන Tetra Pak සහ නෙස්ලේ සමාගම එක්ව මෙවැනි සැකසූ පාන ඇසුරුම් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ඒකකයක් ද පිහිටුවා තිබේ.
මෙම ප්‍රතිචක්‍රීයකරණ ඒකකය හරහා මයිලෝ සැකසූ පාන ඇසුරුම් ප්‍රතිචක්‍රීයකරණය කරන අතර, ශ්‍රී ලංකාවේ සමස්ත සැකසූ පාන කර්මාන්තයටම එමගින් ප්‍රතිලාභ අත්කරගත හැක. මීට සමගාමීව අධ්‍යාපන අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ තෝරාගත් පළාත් පාලන ආයතන හා එක්ව වගකීම්සහගත ලෙස කසළ බැහැර කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පාසල් මට්ටමින් සිදුකිරීමට නෙස්ලේ සමාගම පියවර ගෙන ඇත.











