ශ්‍රී ලාංකීය රාජාවලිය තුළ “වට්ටගාමිණී අභය” හෙවත් “වළගම්බා” රජුගේ රාජ්‍ය සමය තුළ මෙරටට මුහුණ දීමට සිදු වූ අභියෝග රැසකි. ඒ අතරින් එවකට ප්‍රධානම අභියෝගය වූයේ එම රාජ්‍යය සමයේ මෙරට ඇති වූ මහා සාගතයයි. එය එවකට හඳුන්වා ඇත්තේ “බැමිණිතියා සාගතය” යනුවෙනි. සැබෑවටම එම මහා සාගතය කිසිදා නොවූ විරූ අන්දමින් වසර දොළහක පමණ කාලයක් පැවති බව ඉපැරණි වංශකතා සහ අටුවා ග්‍රන්ථවල සඳහන්ය. අදටත් ඒ සාගත තත්ත්වය හැඳින්වෙන්නේ එතෙක් මෙතෙක් අප ලෝකයේ සිදුවූ දරුණුතම සහ දීර්ඝතම සාගත තත්ත්වය ලෙසිනි. තවද ඇතැම් තැන්හි “බැමිණිතියා සාය” සහ “චණ්ඩාලතිස්ස භය” මෙන්ම “මහා භය” යනුවෙන්ද හඳුන්වා ඇත්තේද මෙම බැමිණිතියා සාගතයයි.
“බැමිණිතියා සාගතය” ලෙසට හඳුන්වනු ලබන මෙම මහා දුර්භික්ෂය ක්‍රි.පූ. 103 සිට 89 අතර කාලයේ ඇතිවූ බව පැහැදිලිය. ඊට හේතුව එය වළගම්බා රජ සමයයි. මෙම සාගතය ඇතිවීමට ප්‍රධානම හේතුවක් වූයේ දශකයකට වැඩි කලක් ශ්‍රී ලංකාවට බලපෑ යම් යම් ආක්‍රමණ හමුවේ මෙරට වාරි කර්මාන්තයේ සිදුවූ විනාශය සහ ඒවා අලුත්වැඩියා කිරීමට ඒ ආක්‍රමණ හමුවේ තිබූ නොහැකියාවයි. මේ අතර මෙම සාගත තත්ත්වයට හෙවත් දුර්භික්ෂයට බැමිණිතියා සාගතය යන නම ලැබී ඇත්තේ මේ සාගතය තිබූ කල ටීය, තීය සහ තිස්ස යන නම්වලින් හැඳින්වූ බ්‍රාහ්මණයාගේ මෙහෙයවීමෙන් මෙරට හටගත් කැරලිකාරී තත්ත්වය නිසාය. ඒ අනුව සාගතයේ නාමය පිළිවෙලින් බ්‍රාහ්මණ ටීය, බැමිණිටියා, බැමිණිතියා සාය වී අවසාන වශයෙන් බැමිණිතියා සාගතය විය.
මෙම බැමිණිතියා සාගත සමය මෙරට අඳුරුම කාලයක් විය. ඉතා තද නියඟය මෙන්ම දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් ඔවුන් යටත් කරගත් ප්‍රදේශවල තිබූ වැව් අමුණු අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම පැහැර හැරීම මුලින් කී ලෙසම ඊට බලපෑවේය. මෙම තත්ත්වය පහව යන්නේ ආක්‍රමණිකයින් පරදා නැවතත් වළගම්බා රජතුමා බලය අල්ලා ගැනීමෙනි. එලෙසින් නැවත බලය ලබාගැනීමත් සමඟ රජුතුමා කැඩී බිඳී විනාශ වී ගිය වැව් අමුණු සියල්ල යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබේ. ඒ හරහා බැමිණිතියා සාගතය නම් වූ මහා දුර්භික්ෂය පහව යාම ආරම්භ වූ බවත් එයින් වළගම්බා රජතුමා ශ්‍රේෂ්ඨ වීරවරයකු ලෙස එවකට සිටි ජනතාව වළගම්බා රජු ඇදහූ බවත් පැවසෙයි. මෙම දුර්භික්ෂය ගැන ශ්‍රී ලංකාවේ පැරණිම ශාස්ත්‍රීය ග්‍රන්ථය වන “සීහළවත්ථුප්පකරණය” නම් වූ ග්‍රන්ථයේ පවා සඳහන්ය.
වසර දොළහක පමණ කාලයක් වූ බැමිණිතියා සාගතය නිසා වැසි නොලැබීම මෙරටට තදින්ම බලපෑ අතර ඒ හරහා රටේ වගා කටයුතු අඩාළ විය. එනිසාම රට තුළ ආහාර නිෂ්පාදනය අවම විය.එමෙන්ම විවිධ වසංගත තත්ත්වයන් නිසා ලෙඩ රෝග බහුලව ව්‍යාප්ත විය. මෙම සාගතය හේතුවෙන් පීඩාවට පත් ජනයාගේ ශරීරයේ ලේ මස් නැති වී ඇට සහ සම පමණක් ඉතිරි වී කාන්තාවන් යකින්නන් ලෙසද පුරුෂයින් ප්‍රේතයින් පිසාචයින් ලෙසද පෙනුණු බව සඳහන්ය. තවද මෙම කී සාගතය නිසා මිය ගිය මිනිසුන්ගේ මළ සිරුරු තැන තැන විසිරී ගොස් පැවතීම මඟින් ඇතිවන දුර්ගන්ධය සහ පැතිරෙන විෂබීජ මත විවිධ වසංගත රෝග තව තවත් පැතිරෙන්නට විය. ඒ හරහා බොහෝ මිනිසුන්ට සිදුවූයේ මියයන්නටය.
බැමිණිතියා සාගත තත්ත්වය නිසාවෙන් රට තුළ සොර සතුරු බියද ඇති විය. ආහාරපාන නොමැති අය ආහාරපාන ඇති අයගේ ආහාර සොරකම් කළේය. බුදුදහමට අවශ්‍ය අනුග්‍රහය ලබාදීමට සාමාන්‍ය ජනයාට නොහැකි වීම නිසා බුදුදහමද විශාල පරිහානියකට ලක්විය. භික්ෂූන්ට අවශ්‍ය සිව්පසය පවා නොලැබී ගිය අතර ඒ හේතුවෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලා පැවිදි දිවිය අතහැර ගිය අතර තව පිරිසක් දඹකොළ පටුන වරායෙන් ඉන්දියාවට පලාගිය බව සඳහන්ය. එසේම තවත් භික්ෂුන් පිරිසක් දුර්භික්ෂයේ තිබූ කටුකත්වය විඳගනිමින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට ත්‍රිපිටකය කටපාඩමින් පවත්වාගෙන යමින් මෙරටම වැඩ සිටි බවත් පැවසෙයි. අනුරාධපුරයේ විහාරාරාමවල විසූ බොහෝ භික්ෂුන් වහන්සේලා දිවයිනේ තිබූ කඳුකර ප්‍රදේශවලට පලාගිය අතර දුර්භික්ෂය නිමාවන තුරුම උන්වහන්සේලා ගස්වල කොළ මෙන්ම පොතු වළඳා තිබේ. එහෙත් මෙම සාගතය නිසා මෙරට සිටි සිල්වත් භික්ෂූන් වහන්සේලා විශාල වූ පිරිසක් අපවත් වූ බව විභංග අටුවාවේ සඳහන්ව තිබේ.
මෙම දුර්භික්ෂයේ උච්චතම වූ අවස්ථාව තුළදී කුසගින්න ඉවසාගත නොහැකි ඇතැම් මිනිසුන් තවත් මිනිසෙකු මරා අනුභව කරන තත්ත්වයකට පත් වූ බව පැවසෙයි. ඇතැම් භික්ෂූන් වහන්සේලාටද මෙවැනි වූ ව්‍යසනවලට භාජනය වෙන්නට සිදුවූ බව ප්‍රසිද්ධතම රහසකි. අභය නම් එක්තරා තෙරුන් වහන්සේ නමක් මරා කන්නට පැමිණි මිනී මස් අනුභව කරන මිනිසුන් කණ්ඩායමක් පිළිබඳව රසවාහිනියේ සඳහන්ය. සීහළවත්ථුවේද වත්තබ්බක නිරෝධ නම් වූ සාමණේරයන් වහන්සේගේ උපාධ්‍යායයන් වහන්සේ නමක් මිනී මස් කන්නවුන් විසින් එදා මරාගෙන අනුභව කළ ආකාරය සඳහන් කර තිබේ. ඒ අනුව බැමිණිතියා සාගතයේ වූ ප්‍රචණ්ඩ බවද මනාව පැහැදිලි වෙයි.
බැමිණිතියා සාගතය නිසා බුදු දහමට එල්ල වූ දුෂ්කරතාව නම් සුළුපටු නොවේ. එහෙත් එවකට සිටි ඇතැම් භික්ෂූන් වහන්සේලා එම දුෂ්කරතා හමුවේ බුදුදහම ආරක්ෂා කළ ආකාරය පැසසිය යුතුය. ඒ බව සමන්තපාසාදිකාව තුළඳ පැහැදිලිව සඳහන්ය. කෙසේ වුවද උන් වහන්සේලා කිසිම අවස්ථාවකදී බුදුදහම පරිහානියට පත්වීමට ඉඩක් තැබුවේම නැත. නිතරම උන්වහන්සේලා ධර්මය පරිහානියට පත්වීම වළක්වා ගැනීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත් බව සඳහන්ය. මෙම බැමිණිතියා සාගතය නිසාවෙන් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ බුදුදහමට බාධා ඇති වූ බව මහාවංශයේ දීපවංශයේ මෙන්ම අටුවා ග්‍රන්ථවලද සඳහන් වෙයි. එහෙත් බුදු සසුනේ අනාගත චිරස්තිථිය පිණිස එකී බාධාවන්ට මුහුණ දෙමින් ත්‍රිපිටක ධර්මය කටපාඩමින් ආරක්ෂා කර ගැනීමට භික්රෑෂූන් වහන්සේලා කටයුතු කළ ආකාරය එදා පාලි අට්ඨකතා තුළ සඳහන්ය. සැබෑවටම මෙම කී කාලපරිච්ඡේදය ලාංකීය ඉතිහාසයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් විය.මන්ද එකල භික්ෂුන් වහන්සේලා සාගත තත්ත්වය මධ්‍යයේ වුවද අතිමහත් කැපකිරීමක් නොකළේ නම් බුදු සසුන මෙරටින් අභාවයට යෑමට පවා බොහෝ ඉඩකඩ තිබුණි.
රුවන් එස්. සෙනවිරත්න











