පාස්කු කොමිසන් සභා වාර්තාවෙන් හෙළිවූ කරුණු මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයද ශ්‍රී ලංකාව තුළ වහබ් සහ ජිහාඩ් මතවාදය පැතිරවූ බව කියන ජමාතේ ඉස්ලාම් සංවිධානයේ සභාපතිවරයා වන රෂිඩ් හජ්ජුල් අක්බාර් නම්වූ මව්ලවිවරයාව අත්අඩංගුවට ගත්තේය. මාවනැල්ල මුරුතවල පදිංචිකරුවෙක් වන ඔහු වසර 25ක්ම මෙම සංවිධානයේ සභාපති ධුරය දරන්නේය.
මුලින් අල්ලලා සාක්ෂි නෑ කියා නිදහස් කරලා
ජමාතේ ඉස්ලාම් සංවිධානය ක්‍රියාත්මක වූයේ දෙමටගොඩ කේන්ද්‍රකර ගනිමිනි. මෙරට වහබ්වාදී මත ව්‍යාප්තියේ ආරම්භක පුරුක ලෙස හදුනාගෙන සිටින්නේ ඔහුවය. මාවනැල්ල බුදු පිළිම හානි කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් ලෙස හඳුනාගත් සාහිඩ් සහ සාදික්ගේ පියාගේ වැඩිමහල් සහෝදරයා වන්නේද මොහුය. දෙමටගොඩදී මෙම වහබ්වාදියාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේද පාස්කු ප්‍රහාරයෙන් සතියක් ඉක්ම යන්නට මත්තෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගෞරවනීය නිදහසක් ලබාදීමෙන් වසර දෙකකට ආසන්න කාලයකට පසුව වීම විශේෂිතය.
සියලු සාක්ෂි ලිඛිතවම දුන්නේ ඥානසාර හිමි
පොලීසිය විසින් අල්ලා නිදහස් කළ මෙම අන්තවාදියා ගැන සියල්ලක්ම සාක්ෂි සහිතව කොමිසම හමුවේ හෙළිකරන්නේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසිනි. කොමිසන් සභාව පවා අන්තවාදයේ සැඟවුණු බොහෝ තැන් ගැන එදා යම් අවබෝධයක් ගන්නේද ඥානසාර හිමියන්ගෙනි. උන්වහන්සේ කොමිසම හමුවේ කරුණු දක්වන්නට වූයේද කට වචනයට පමණක් සීමා වී නොව, ලිඛිත සාක්ෂිද සහිතවය. වරක් අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් නැතැයි කියමින් නිදහස් කළ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හජ්ජුල් අක්බාර්ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නේ පාස්කු කොමිසම විසින් ඔහු සම්බන්ධයෙන් කර ඇති සටහනක් හේතුවෙනි.
නිර්මාතෘ මවුදුදි
හජ්ජුල් අක්බාර් නායකත්වය දුන් ජමාතේ ඉස්ලාම් සංවිධානය අපේ රටට සීමාවූ සංවිධානයක් නොවේ. හජ්ජුල් නායකත්වය දෙන්නේ අපේ රටේ සංවිධානයට පමණි. ලොව පුරාම ජමාතේ ඉස්ලාම් සංවිධාන විසිරී ඇත්තේ ඉස්ලාම් රාජ්‍ය ගොඩ නැගීමේ වහබ්වාදී මතයන් පෝෂණය කරන්නටය. පකිස්තානය කේන්ද්‍රකරගෙන බිහිවුණු මෙම සංවිධානයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ මවුලානා මව්දුදිය.
හජ්ජුල්ලා නායකත්වය දැරූ ජමාතේ ඉස්ලාම් මෙරට සංවිධානයේ ශිෂ්‍ය සංවිධානය හැඳින්වූයේ ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංවිධානය ලෙසිනි. ඊට තලබා යැයිද කියති. පාස්කු ප්‍රහාරයට පෙර සූදානමක් ලෙස මාවනැල්ලේ බුදු පිළිමවලටත්, පේරාදෙණියේ දේවස්ථානයක සුරුවමකටත්, කුරුණෑගල පැත්තේ කෝවිලක ගණදෙවි ප්‍රතිමාවකටත් හානිකරනු ලැබුවේ මෙම ශිෂ්‍ය සංවිධානයේ ක්‍රියාකාරිකයින් පිරිසකි.
සහරාන් පටන් ගත්තෙත් මෙතනින්
ඉස්ලාම් නොවන වෙනත් ආගමිකයින් ඉස්ලාම් ආගමට හරවා ගැනීම සදහා ජමාතේ ඉස්ලාම් සංවිධානයටම සම්බන්ධව රාජ්‍ය නොවන සංවිධානයක්ද ක්‍රියාත්මකව තිබී ඇත. එය හදුන්වන්නේ හීරා පදනම ලෙසිනි. දුප්පත් පවුල්වලට මිල මුදල් ලබාදෙමින් ඒ කටයුත්ත සිදුකර තිබේ.
ජමාතේ ඉස්ලාම් සංවිධානය රටපුරාම පැතුරුණු සංවිධානයකි. රට වටේම ඔවුන්ගේ සංවිධානය ව්‍යාප්තය. සහරාන්ගේ ආරම්භක අවධිය ලෙස සැලකෙන්නේද මෙම සංවිධානයයි. අල් හසනාත් සඟරාව මෙම සංවිධානයේ ප්‍රකාශනයකි. එහි ඇත්තේ අන්තවාදී අදහස්ය.
වසර 25ක්ම ජමාතේ ඉස්ලාම් සංවිධානයේ නායකත්වය දැරූ හජ්ජුල් අක්බාර් කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂිවලට අනුව නායකත්වය අතහරින්ගේ 2018 වසරේදීය. නායකත්වය අතහරින විට එම සංවිධානයේ සභාපති පුටුවට පත්වන්නේ ඔහුය. කොමිසමේදී හෙළිවන්නේ නායකයා වූවත් සභාපති වූවත් ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ හජ්ජුල් අක්බාර්ගේ අණට බවය.
පුතෙක් තුර්කි පුහුණුවටත් යවලා…
හජ්ජුල්ගේ සහෝදරයා ඊබ්‍රාහිම් මව්ලවිය. ඔහු දැඩි අයි.එස්.මතධාරියෙකි. මාවනැල්ලේ බුදු පිළීම හානි කිරීම්වලට නායකත්වය දෙන සාහිඩ් සහ සාදික් ඔහුගේ පුතුන්ය. ඔවුන් මරාගෙන මැරෙන පුහුණුව ලැබූවන්ය. එක් පුතෙකු තුර්කිය හරහා සිරියාවට ගොස් අන්තවාදී සටන් පුහුණුව ලබා ඇතැයිද එකල කියැවිණි. මොහුගේ දියණියද මෑතකදී අත්අඩංගුවට ගනු ලැබුවේ සහරාන් ඉදිරියේ මරාගෙන මැරෙන්නට දිවුරුම් දුන් සටන්කාරියක් යැයි කියාය.
ඒ අනුව දැන් ඒ මුළු පවුලම සිටින්නේ පොලිස් අත්අඩංගුවේය. එදා පාස්කු කොමිසම හමුවේ හජ්ජුල් සාක්ෂි දෙන විට ඔහුගේ සහෝදරයාත් සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය. කොමිසම හමුවේ සියල්ල සිය සහෝදරයා පිට පටවමින් ඔහු උග්‍ර අයි.එස්.අයි.එස්. මතධාරියෙක් බව හජ්ජුල්ලා පවසන්නට වූයේ තමන් ඒවට කිසිදු සම්බන්ධයක් නොමැත්තෙක් බව කියමිනි. එහෙත් සැබෑව වන්නේ සාහිඩ් සහ සාදික් මෙන්ම දෙහිවල බෝම්බකරු ඇතුළු මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගෙන් වැඩි දෙනෙක් ජමාතේ ඉස්ලාම් සංවිධානයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයේ ක්‍රියාකාරිකයන් බවය.
කොමිසමේදී හෙළිවන්නේ ෆජ්ජුල් අක්බාර් මුස්ලිම් තරුණයින් අන්තවාදයට යොමුකරමින් තුර්කිය, සිරියාව, ලිබියාව, ඇෆ්ගනිස්ථානය, වැනි රටවලට හොර පාරෙන් යවා සටන් පුහුණුව පවා ලබාදී ඇති බවය.
රට පුරා දේශන
හජ්ජුල් අක්බාර් ජමාතේ ඉස්ලාම් සංවිධානය පවත්වාගෙන ගියේද මුස්ලිම් දේශපාලනඥයන්ගේ ආශිර්වාදය සහ රැකවරණය ඇතිවය. ඔහු රටපුරා අන්තවාදය වපුරවමින් පවත්වන ලද දේශන මාලාවන්ට අනුග්‍රහයන් දක්වා තිබුණේද එකල පැවැති මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයයි.
එහෙත් මේ පුද්ගලයා පාස්කු කොමිසම හමුවේ සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ අන්තවාදී අදහස් පාලනයකින් තොරව හුවමාරු වන බැවින් ඒවා පාලනය කළ යුතුව ඇති බවය. පැය 06ක් පුරාවට ඔහු සාක්ෂි දෙන්නට විය. සාහිඩ් සහ සාදික් යන අයියා මලෝ දෙදෙනාගේ පියා වන සිය සහෝදරයාද ජමාතේ ඉස්ලාමීය සංවිධානයේ ක්‍රියාකාරීව සිටියෙකි. එහෙත් ඔහු පවසන්නේ පසුකාලයේදී ඔහුව සංවිධානයෙන් ඉවත් කළ බවය. ඒ අලුත්ගම වැනි සිදුවීම් නැවත වුවහොත් ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන බව සඳහන් කරමින් මතවාදයක් ගෙන යමින් ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය තුළ කණ්ඩායමක් ගොඩ නැගීමට ඔහු ගත් උත්සහය නිසා බවය. ඔහු එසේ සදහන් කළද අවසාන මොහොත දක්වාම සියලු දෙනාම සිට ඇත්තේ එක මතයකය. ඒ ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය රාජ්‍යක් ගොඩ නැගීමටය. සාදික් නැමැති සිය සහෝදරයාගේ පුතාව තුර්කිය හරහා සිරියාවට ඇතුළුකර අයි.එස්. පුහුණුවක් ලබාදීමට පවා ඔහු කටයුතු කර තිබුණේ එබැවිනි. හජ්ජුල් අක්බාර් සිය සහෝදරයාගේ පුතා සහ සිය සංවිධානයේ සෙසු තරුණයින් පමණක් නොව, තමාගේම පුතාවන රිෂාඩ් රිම්සාන්වද 2012 වසරේදී තුර්කියට යවා තිබුණේය. ඒ තුර්කි රජයෙන් ලබාදුන් සිව් වසරක ශිෂ්‍යත්වයකට යැයි කියාය.
හාජ්ජුල් අක්බාර්ද අන්තවාදයට යොමු වී ඇත්තේ මෙරට ප්‍රථම හා එකම අරාබි විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන බේරුවල පිහිටි ජාමියා විශ්ව විද්‍යාලයෙන් 1976 වසරේ සිට හත් වසරක් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුවය. අපේ රටේ ඉස්ලාම් පෙළපොත්වලට අන්තවාදය ඇතුළත් කර ඇත්තේද මෙම ජාමියා විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඉහළ තැන්වල සිටින්නන්ගේ මෙහෙයැවීමෙන් බවද කොමිසමේදී හෙළිවූ කරුණකි. ෆජ්ජුල් අක්බාර් යනු මෙහි එක් පුරුකක් පමණි.
රාසිකුත් සුලුපටු නෑ
සහරාන් පවා සාමාජිකත්වය දැරූ සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රාසික්ද සුළුපටු චරිතයක් නොවේ. කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලකළ හස්තු නැමැති අන්තවාදියා පෝෂණය වූයේ ඔහු යටතේය. පුලස්තිනී රාජේන්ද්‍රන් නැමැති දෙමළ තරුණිය එම බෝම්බකරුට විවාහකර දී සාරා ජෙස්මින් ලෙස වෙනස් කර ඇයවත් බෝම්බකාරියක් කරනු ලැබුවේ යැයි කියැවෙන්නේද අබ්දුල් රාසික් විසිනි. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අදටත් නීතිය ක්‍රියාත්මක ව නැත. පාස්කු කොමිසන් සභා වාර්තාවේ ඔහු ගැනද සටහනක් ඇති බව අමතක නොකළ යුතුය.
රුවන් වෙඩිවර්ධන
මේ ලිපිය මව්රට පත්තරෙන් කියවන්න මෙතනින් පිවිසෙන්න…
https://e.mawratanews.lk/wp-content/uploads/2021/20210321M1/#page=8










