නව යොවුන් වියට පා තැබූ ස්ත්‍රී – පුරුෂ සියලු දෙනාගේම පාහේ අපේක්‍ෂාව තමාට ගැළපෙන විවාහයක් සිදුකර ගැනීමය. මෙහිදී ස්ත්‍රියක් නම් තම සහකරු ලෙස තෝරා ගන්නා අයගේ කඩවසම් පෙනුම, උගත්කම, රැකියාව, වත්පොහොසත්කම, පවුල් පසුබිම, කුලමල ආදී කොට ඇති මෙකී නොකී කරුණු කාරණා රැසක් පිළිබඳ සැලකිලිමත් වෙයි. එහෙත් කරුණු සියල්ල පරයා ස්ත්‍රියක් නම් බොහෝ විට මුල්තැන දෙන්නේ තම ස්වාමියාගේ රූප සොබාවයටය.
නැත්නම් වත්පොහොසත්කමටය. ඇය මොහොතකටවත් තම සහකරු ලෙස තෝරා ගන්නා අයගේ සුචරිතවත් භාවය නම් කොහෙත්ම සොයා නොබලයි. මේ කනගාටුදායක තත්ත්වය නිසාම වර්තමාන සමාජයේ අගතියට තාඩන, පීඩනයන්ට මෙන්ම දුකට පසුතැවීමටපත් යුවතියන් බොහෝය. ඉන් බහුතරයකට විවාහ, විවාහ වීමටත්, පෙර අත්සනට පමණක් ලෙස හෝ විවාහකනම් දික්කසාදයෙන් හෝ කෙළවර වී හමාරය. මෙවැනි දේ සිදුවීම පිළිබඳ වගකීම නිසි විමර්ශනයකින් තොරව මීට ආධාර උපකාර කළ මවුපිය වැඩිහිටියන් අනිවාර්යයෙන්ම භාරගත යුතුය. එහෙත් ඒ වන විට ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවනු බැරිය.
විවාහයේදී පුරුෂ පාර්ශ්වයද ස්ත්‍රීන්ට නොදැවැනිය. ඉතා පටු රාමුවක් තුළ කල්පනා කර නිසි විමර්ශනයකින් තොරව හදිස්සියේ තීන්දු තීරණ ගෙන තම සහකාරිය තෝරාගනී. එහිදීද මුල්තැන හිමිවන්නේ රූප සොබාවට හා වත්පොහොසත්කම්වලටය. බොහෝ විට කිසිදු වගවිභාගයකින් තොරව හිතුමතේ විවාහ සිදුකරගනී. එහිදී බොහෝ විට නිසි කේන්දර පරීක්‍ෂාවක් පවා සිදුනොවේ. විවාහ වනතුරු දෙපාර්ශ්වයට තම සැබෑ ගතිගුණ, චරිත ස්වභාවය ඉතාම සූක්‍ෂ්ම ලෙස ඔවුනොවුන්ට සඟවයි. මෙය ඇතැම් විට එක පාර්ශ්වයකින් සිදුවෙයි. මෙයම විවාහ අසාර්ථක වීමේ මූලික අඩිතාලම කීවොත් නිවැරැදිය. එහෙත් විවාහය සඳහා අවැසි සියලුම සුදුසුකම් සැපිරූ අයට විවාහ ප්‍රමාදය. එහෙත් පුදුමයට කරුණ නම් ඉහත කී තරම් වූ සුදුසුකම් නොමැති අයගේ විවාහය කෙසේ, කවර ලෙසට හෝ සිදුවීත් හමාරය. මෙකී තත්ත්වයට ස්ත්‍රි – පුරුෂ දෙපාර්ශ්වයටම විiාත්මක පිළිතුර වනුයේ තම තමාගේ හඳහනේ පිහිටි ඉක්මන් විවාහ යෝග හා ප්‍රමාද විවාහ යෝගයි. ජ්‍යොතිෂය මැනවින් උගත්, දක්‍ෂ ජ්‍යොතිෂවේදියකු හට මෙකී යෝග පිහිටා තිබේද යන වග නිවැරැදි ජන්ම පත්‍ර පරීක්‍ෂාවක් තුළින් ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. එසේම යම් ජ්‍යොතිෂ දැනුමක් ඇති ඕනෑම අයකුට තමන්ගේ කේන්දරයේ මෙවැනි යෝග පිහිටා තිබේද යන වග මෙම ලිපිය මැනවින් අධ්‍යයනයෙන් බොහෝ දුරට සැකහැර දැනගත හැකිය.
සාමාන්‍යයෙන් විවාහයක් සිදුවීමට පුරුෂයන්ගේ විවාහ කාරක සිකුරුත්, ස්ත්‍රීන්ගේ නම් කුජත් බලවත් විය යුතුය. මීට අතිරේකව සඳු, ජන්ම පත්‍රයේ 7 වැන්නාධිපති මෙන්ම ලග්නාධිපතිද බලවත් විය යුතුය. එසේම එකී ග්‍රහයන්ට මෙන්ම එම ස්ථානවලට සුබ දෘෂ්ටි ලැබීමද විවාහයක් සිදුවීමට උපකාරිය. විවාහ ප්‍රමාදය බොහෝ විටම සිදුවන්නේ නෛසර්ගික පාපියකු වන ශනි ග්‍රහයා නිසාය. එසේම කුජ, රාහු කේතු වැනි ග්‍රහයන් 7 වැන්නේ වීමද, විවාහ ප්‍රමාදයට හේතු වන බව බොහෝ දෙනාගේ මතයයි. එහෙත් ජ්‍යොතිෂ විiාත්මකව එය එසේ නොවේ. කෙසේ නමුත් තමන්ගේ ජන්ම පත්‍රයේ තිබෙන්නේ විවාහයට කවර ලෙස බලපාන ග්‍රහ පිහිටීම්ද යන්න කල්තියා දැනගැනීම තුළ ඊට අදාළ මහ දශා, අන්තර් දශා තුළ නිසි වත්පිළිවෙත් සිදුකර යම් සහනයක් අනිවාර්යයෙන්ම ලබාගත හැකිය. බොහෝ ජන්ම පත්‍රවල සඳහන් විවාහ ප්‍රමාද කරන ග්‍රහ පිහිටීම් රැසකි. ඒ අතුරින් සුලබව දක්නට ලැබෙන ග්‍රහපිහිටීම් මෙසේය.
* ශනි – සිකුරු සංයෝගය හෝ දෘෂ්ඨිය.
* ශනි – චන්ද්‍ර සංයෝගය හෝ දෘෂ්ඨිය.
* ශනි – ගුරු සංයෝගය හෝ දෘෂ්ඨිය.
* 7 අධිපති සමඟ ශනි සංයෝග වීම හෝ 7 අධිපතිට ශනි දෘෂ්ඨිදීම.
* ශනි 7 වැන්නේ සිටීම හෝ 7 වැන්නට දෘෂ්ඨි දීම.
* ගුරු 7 වැන්නේ සිටීම හෝ 7 වැන්නට දෘෂ්ඨි දීම.
* ශනිගෙන් 2 වැන්නේ හෝ 12 වැන්නේ සිකුරු වීම.
* සිකුරු – ශනිගේ රාශිගත වීම.
* සිකුරු හෝ චන්ද්‍රයා හෝ 7 වැන්නාධිපති හෝ නීචය භංග නොවන ලෙස නීච වීම.
* චන්ද්‍ර ලග්නයෙන් කේන්ද්‍රගතව (1, 4, 7, 10) හෝ චන්ද්‍ර ලග්නයෙන් 11 වැන්නේ ශනි පිහිටීම.
* ශනි – සිකුරු පරිවර්තනය වී සිටීම.
* කාල සර්පයෝගය පිහිටා තිබීම.
* ශනි 7 අධිපති සමඟ සංයෝග වීම.
* 7 අධිපති හෝ සිකුරු අෂ්ඨ වීම.
* රවි හා සඳු – ශනිට සප්තම වීම.
* 7 අධිපති කුජ 8 වැන්නේ වීම.
* ලග්නයෙන් සිකුරුගෙන්, සඳුගෙන් 7 වැන්නේ පාපීන් වීම.
* භෞම දෝෂය, ශනි මංගල දෝෂය පිහිටා තිබීම.
* ශනි ග්‍රහයා උච්ච වීම.
* රවි, රාහු 7 වැන්නේ සිටීම.
* 7 වැන්නේ සර්ව අෂ්ඨක ප්‍රමාණය 20 හෝ ඊට ආසන්නව වැඩි වීම.
* 7 වැන්නාධිපති සිටින රාශියේ සර්ව අෂ්ඨක ප්‍රමාණය අඩු වීම. (20-23) අතර වීම.
* විවාහ කාරක සිකුරු – කුජ වැනි ග්‍රහයන් 7 වැන්නේ ලබා ඇති භින්නාෂ්ඨක ප්‍රමාණය අඩු වීම.
* ලග්නාධිපති සමඟ රවි 8 වැන්නේ වීම.
* 7 අධිපති 12 වැන්නේද, රාහු හා සිකුරු ලග්නයේද වීම.
ඉහත සඳහන් විවාහ ප්‍රමාද කරන ග්‍රහ පිහිටීම්වලට අතිරේක තවත් විවාහ පමා කරන ග්‍රහ පිහිටීම් රැසකි. එහෙත් ඒ සියල්ල මේ කෙටි ලිපියට කැටිකළ නොහැකිය. සාමාන්‍යයෙන් ඒ විවාහය ගැනත්, එය සිදුවන කාලය ගැනත්, ජන්ම පත්‍රයක 7 වැන්න පරීක්‍ෂාවෙන් දැනගත හැකිය. විවාහයක් සිදුවන කාලය බොහෝ විට 7 වැන්නේ තැන්පත් ග්‍රහයකුගේ මහ දශාවකදී හෝ අතුරු දශාවකදී සිදුවෙයි. එසේම කේන්දරයේ සඳු සිටි ස්ථානයෙන් 7 වැන්නේ සිටින ග්‍රහයා කාලයේද, බොහෝ විට විවාහය සිදුවෙයි. ස්ත්‍රී – පුරුෂ භේදයකින් තොරව විවාහය සිදුවන කාල නිර්ණයේදී ගුරු ග්‍රහයාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ විවාහය සිදුවන කාලය තුළ ගෝචරයෙන් ගුරු, බලවත් විය යුතු බැවිනි. කෙසේ වෙතත් ගුරුගේ මහ දශා, අතුරු දශා කාලවල මෙන්ම ගෝචර ගුරු 7 වැන්නට දෘෂ්ඨි දෙන විටද බොහෝ විට විවාහය සිදුවෙයි. එසේම 7 වැන්නාධිපති සිටින ස්ථානය හරහා ගුරු ගෝචරය වන විටද විවාහය සිදුවිය හැකිය. මීට අතිරේකව කුජ සිටින ස්ථානය මතින් ගුරු ගෝචර වන විටද, කුජ සිටින ස්ථානයෙන් 7 වැන්නේ ගුරු ගෝචරය වන විටද විවාහ කාරක සිකුරු වැනි ග්‍රහයකුගේ දශාවක් තුලා ලග්නයේ 3, 4 සිටින ග්‍රහයන්ගේ දෘෂ්ඨිය ගෝචරයෙන් 7 වැන්නට වැටෙන විටද විවාහයක් සිදුවෙයි යැයි අනුමාන කළ හැකිය.
දේශබන්දු මහේන්ද්‍ර පල්ලෙබැද්ද











