ලබන මාසෙ මම විවාහ වෙනවා…
තාම කියන්නේ ජෝතිපාලගෙ සින්දු….
විරහා ගීතයට සොඳුරු හඬ අවදි කරමින් ‘සිරස – සුපර් ස්ටාර්’ තරගාවලියෙන් මතුවුණු සුරේන්ද්‍ර පෙරේරා ඔබට මතක ඇති. අද විවිධ ‘රියැලිටි’ වැඩසටහන් හරහා ගායන තරු බිහිවුණත් එයින් රැඳෙන්නේ කීයෙන් කී දෙනාද. කාටත් අමතක වෙලා ගිය ඒ සුමියුරු හඬ සමඟ අප කතා කරන්න හිතුවේ ඔහුගේ ජීවිතයේ යම් වෙනසක් සිදුවන බව ලැබුණු ආරංචියත් එක්ක.
මේ කාලේ ඔබේ හිතෙත් ප්‍රාර්ථනා එහෙම ඇති?
මේ කොරෝනා වසංගතය නිසා අසරණ තත්ත්වයට පත්වෙලා සිටින ජාති, ආගම් නොතකා මම ආදරය කරන, ඒ වගේම මට ආදරය කරන දේශීය, විදේශීය සියලුම රසික රසිකාවියන්ගේ සිත්පහන් වේවා, ඒ වගේම මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ලෝකයම ගොදුරු කරගත්ත මේ වසංගතය දුරුවේවා. සියලුම දෙනාට දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා කියලා තමයි.
සුරේන්ද්‍ර කාලෙකට පස්සේ හඬ අවදි කළා. අපි ‘බෙත්ලෙහෙමේ’ අලුත්ම නිර්මාණ ගැන කතා කරමුද?
සිසිර ප්‍රනාන්දුගේ පද රචනයෙන් තමයි ‘බෙත්ලෙහෙමේ’ නත්තල වෙනුවෙන් ගීතය නිර්මාණය කළේ. ජේසුතුමාගේ ඉපදීම පිළිබඳව තමයි මේ ගීතයෙන් කියැවෙන්නේ.
ඔබේ තිබුණු ජනප්‍රියතාවය දැන් එන්න එන්නම බොඳවේගෙන යන බවයි අපට පෙනෙන්නේ?
ජනප්‍රියතාවය විතරක් නෙවේ මේ කලා ක්‍ෂේත්‍රයම, ඒ වගේම ලෝකෙම සියලුම ආර්ථිකයන් කඩාවැටිලා මේ කොවිඞ් ප්‍රශ්නය නිසා. එය ගැන අපි මුලින් සිතාමතා කටයුතු කළ යුතුයි. එළියට බැහැලා වැඩක් කරන්න බැරි වුණත් මම ගෙදරට වෙලා මගේ ‘යූ-ටියුබ්’ චැනල් එක හරහා ගීත නිර්මාණය කළා. අපේ නිර්මාණ ප්‍රේක්‍ෂකයන්ට අහන්න නැතිවුණාම තමයි නිකම්ම අමතක වෙලා යන්නේ.
ඔබ කිසිම රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ නොවන්නේ ඇයි?
මට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ මාධ්‍ය ආයතනත් සමඟ. හැම රූපවාහිනී නාළිකාවකින්ම මට ආරාධනා කරනවා. ඒත් මම සම්බන්ධ වීමට කැමැති නැහැ. මොකද කතා කිරීමට දෙයක් නැති නිසා.
ජෝතිපාල මහතාගේ ගීතද තවමත් ගායනා කරන්නේ?
ඔහුගේ ගීත මම අදටත් ප්‍රසංගවල ගායනා කරනවා. මොකද ඒ හඬට ප්‍රේක්‍ෂකයන් තවම ආදරය කරන නිසා. මගෙන් ඉල්ලන්නෙම ඒ ගීත ගායනා කරන්න කියලා. ඒ අතරතුර මම නිර්මාණය කරපු මගේ ගීතත් ගායනා කරනවා.
අද විවිධ රූපවාහිනී නාලිකාවල ‘රියැලිටි’ සංගීතමය වැඩසටහන් රැල්ලක් මතුවෙලා. එය ගැන මොකද හිතෙන්නේ?
එය ගැන මට සතුටුයි. 2007 ‘සිරස – සුපර් ස්ටාර්’ තරගය ජයග්‍රහණය කරලා තමයි මමත් අද මේ තැනට ආවේ. මම වගේම දක්‍ෂ තරුණ තරුණියන් රැසක් සිටිනවා අපේ රටේ සැඟවිලා. ඔවුන්ගේ දක්‍ෂතාව මතුකර ගන්න නවාතැන්පොළක් කියලා එය මම විශ්වාස කරනවා.
‘රියැලිටි’ වැඩසටහන් විනිශ්චය කිරීමට ඔබට ලැබුණු ආරාධනා ප්‍රතික්‍ෂේප කළේ ඇයි?
මම හිතන විදිහ වෙනස්. මම කැමැති නැහැ මිනිසුන්ගේ දෝෂාරෝපණ අහන්න. පේනවානේ විනිශ්චය මණ්ඩලයට බනින බැනුම්. මට එහෙම කතා ඕනෑ තරම් අහලා පුරුදුයි. මටත් ඔය වගේ ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවුණා. ඒත් මම ඒ කිසිවකට උත්තර දෙන්න ගියේ නැහැ. නිහඬව පැත්තකට වෙලා හිටියා.
ඔබ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කළා නේද, මොකද ඒකට වුණේ?
ඔව්… අමිලා නදීෂාණි සමඟ තමයි මම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ. ‘සඳ පායන්න’ ගීතය ගායනා කළේත් ඒ චිත්‍රපටය වෙනුවෙන්මයි. ඒත් අවසානයේ ඒ චිත්‍රපටයට මොකද වුණේ කියලවත් මම දන්නේ නැහැ.
2021 වසරේ ආරම්භයත් එක්ක ජීවිතේ වෙනසක් සිදුවෙනවා කියන්නේ ඇත්තද?
ඒ හැම දේටම මම කාලයට ඉඩ දෙමින් තමයි හිටියේ. දැන් තමයි ඒ හරිම කාලය කියලා මට හිතෙනවා. ඉතින් ලබන මාසයේ මුල මගේ විවාහ මංගල්‍යයේ කටයුතු සිදුකෙරෙනවා කියලා මගේ ආදරණීය රසික, රසිකාවියන්ට මම කියන්න කැමැතියි. ඔයාලා හැමෝම නිසා තමයි මම අද මෙතැන ඉන්නේ. ඔයාලා වෙනුවෙන් මම ගීත නිර්මාණය කරනවා කියලා කියන්න කැමැතියි.
වසන්ත විතාරණගේ











