නාට්‍යවල ඇඩල්ට් ඔන්ලි පෙන්නන්නෙ නැහැ…
ඒක අහංකාරකමක් නෙමෙයි…
ටෙලි කලාවට පිවිසි ලස්සන නිළි කෙල්ලන් අතර අංජුලා රාජපක්ෂට ලැබෙන්නේ මුල් පෙළේ අසුනකි. ලස්සන විතරක් නෙමේය.
චරිතාංග දක්ෂ නිළියක ලෙසද අංජුලා තැබූ මංසලකුණු එමටය. අංජුලා ආඩම්බරකාරියකැයි ඇතැමුන් කීවද ඈ ආඩම්බර නැත.
අසීමිත කාර්යබහුල පසුබිමක් මැද ‘මව්රට’ පුවත්පතෙහි හදවතට සමීප වීමට අප වෙනුවෙන් මේ සුන්දර රංගවේදිනිය විනාඩි 30ක් දුන්නේද ඒ නිසාය.
ටෙලි කතා තුනක රංගනය වෙනුවෙන් මේ දවස්වල ඔබ වෙහෙසෙනවා?
ඔව්. විකාශනය වෙමින් පවතින දෙවැනි ඉනිම, සිහින සමාගම සහ සඳ තරු යළි ටෙලිනාට්‍යවල තමයි මේ දවස්වල රූගත කිරීම් තියෙන්නේ.
වැඩිපුරම නපුරු චරිත බාර ගන්නෙ ඇයි අංජුලා?
කවුද අනේ බාරගන්නෙ. බාර ගන්නවා නෙමෙයි බාරදෙනවා. හොයාගෙන එන්නෙම වැඩියෙන්ම නපුරු චරිතවලටමයි.
ඔබ අමනාපයිද ඒ කොටු කිරීම ගැන?
අයියෝ නැහැ. යමක් කරන්න පුළුවන් චරිතයක් නම් ඒ නපුරුද, අහිංසකයිද, කළුයිද, සුදුද කියලා මම බලන්නෙ නැහැ. ප්‍රේක්ෂකයගේ හිතට වදින චරිතයක් නම් මම එය බාරගන්නවා.
ඕනෑම චරිතයකට ඔට්ටු බවද එහි අදහස?
ඕනෑම චරිතයකට ඔට්ටුය කියන්නෙ ඉතින් ටෙලිවිෂන් කලාව තුළ ‘ඇඩල්ට් ඔන්ලි’ නාට්‍ය පෙන්වන්නේ නැහැනේ. ආලින්දයේ සිනමාව කියන්නේ මුළු පවුලක් අසුන්ගෙන විනෝද වෙන කලාවක්. කවදාකවත් එතැනදි නුසුදුසුය කියන දේ ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. ඒ නිසා චරිත මැන බැලීමේ සිරිතක් මට නැහැ. මම හිතන හැටියටවත් දක්ෂ නළුවකු හෝ නිළියක කියන්නේ කළු, සුදු දෙවර්ගයම අතර තම හැකියාව පෙන්වන පිරිසක්. අනික පෙම් චරිතවලට වඩා ප්‍රේක්ෂකයාට මතක තියෙන්නේ නපුරු චරිතයක් තමයි. එම නපුරු චරිතවලට ඔවුන් වෛර කරන්නේද ඒ නිසාම තමයි. ටිකක් හිතලා බලන්න නපුරු චරිතවලට ප්‍රේක්ෂකයෝ අකමැති වුණා නම් අංජුලා රාජපක්ෂට අද මෙතැන ඉන්න පුළුවන්කම තියෙයිද කියලා.
ඒත් ඔබ ටෙලි නාට්‍ය කිහිපයකම ආරාධනා ප්‍රතික්ෂේප කළ බවට කසුකුසු තිබුණා?
ඔව්. මුදල්මය ගැටලු සහ සුහදත්වය යන හැඟීම් ප්‍රකට නොවූ අවස්ථාවන් තුළ මම යම් චරිත ප්‍රතික්ෂේප කළා. එයටද තිබෙන හේතු සාධාරණයි. එකක් රංගනය සඳහා සරස්වතී දේවියගේ අනුග්‍රහය තුළ අප ලබන හැකියාවන් බාල්දු කිරීම හිතට වේදනාවක්. අනික ටෙලිනාට්‍ය නිෂ්පාදනයක් කියන්නේ කණ්ඩායම් හැඟීම තුළ සිදුවිය යුතු සිදුවීමක්. එතැනදී නිෂ්පාදනයේ සහ අධ්‍යක්ෂණයේ සිට තේ කෝප්පය පිළියෙල කරන්නාගේ දක්වාම සුහද බව සහ මිත්‍රශීලී බව ප්‍රගුණ විය යුතුයි. නැත්නම් ඒ මෙහෙවර සාර්ථක වන්නේ නැහැ. අන්න ඒ නිසා රංගන ශිල්පියාගේ අගය බාල්දු වන තැනක හෝ යහළුකමක් ගම්‍ය නොවන තැනක මම වැඩ කරන්නේ නැහැ.
අහංකාරකම් පෙන්වන්නේ ඔබයි කියා සමහර තැන්වල කියැවී තියෙනවා?
කාන්තාවක හෝ රංගවේදිනියක සතුව තිබිය යුතු කොලිටි එක මා තුළ තියෙනවා. එය අහංකාරකමකැයි සිතනවා නම් එය වැරැදියි. අනිත් කාරණය මා ගැන ඔවැනි කතා කියන්නේ එක දවසක්වත් මා සමඟ වචනයක් හෝ කතා නොකළ අයයි.
ටෙලි තරුවක ලෙස අද ඔබ සිටින තැනට පසුබිම දුන්නේ ‘ඕලු’ ටෙලිනාට්‍ය නේද?
අනිවාර්යෙන්ම එය එහෙමයි. ෂර්ලි පී. දෙලංකාවල කළ ‘ඕලු’ නම් ඒ අපූරු විස්මිත නිර්මාණය තුළ කිරුළුපලන් ටෙලි තරු රෑන අතර මමත් එක් තරුවක වීම මා ලැබූ භාග්‍යයක්.
ඔබව තරුවක් කළ ‘ඕලු’ සම්මානයක් සඳහාද ඔබව චරිතාංග ලෙස නිර්දේශ කළා?
නිර්දේශ වුණා නෙමේ ‘ඕලු’ ටෙලිනාට්‍යය නිසා මට සම්මානයක් ලැබුණා. නිර්දේශ වූයේ ‘කනේරු’ සහ ‘සැඳෑ සක්මන’ ටෙලි නාට්‍ය වෙනුවෙනුයි. ඒ වගේම කියන්නටම ඕනෑ මෙතැනදි. සෙනේෂ් බණ්ඩාරගේ ‘ෆැන්ටසි ඇවනියු’ තුළින්ද මා ප්‍රේක්ෂකයන් තුළ තැබූ මතකය අති සුන්දරයි. ඒ අතරම ටී. සුසිරන් ද සිල්වාගේ ‘සොඳුරු දඩයක්කාරයා’ රංගනය ඔස්සේ මා ලද ආත්මික තෘප්තිය අදටත් මගේ මනසට සුවයක් වාගේම අපූරු වින්දනයක් ගෙන එනවා. ඒ මතකයත් ලස්සනයි.
කලාකාරියක ලෙස ඉටුකර ගැනීමට පෙරුම් පුරණ හීන තියෙනවද?
හීන දකින්න කැමැති නැහැ. එය හිතට බරක්. රංගනයේදී හැකි පමණ ස්වාධීන වාගේම සැහැල්ල විය යුතුයි. හීන කියන්නේ එයට බාධාවක්. අංජුලා රාජපක්ෂ යන රංගවේදිනිය ලෙස මා අත්විඳින තෘප්තිය අසීමිතයි. අදටත් මට ටෙලිනාට්‍ය සඳහා ලැබෙන ආරාධනාවල අඩුවක් නැහැ. උසස් කියන බොහෝ නිර්මාණකරුවන් යටතේ රංගනයෙහි යෙදීමේ හැකියාව මට ලැබී තිබෙනවා. මඟතොටේදී ප්‍රේක්ෂකයන් මට ඔවුන්ගේ ආදරය තිළිණ කරනවා. ඉතින් මං අහනවා ඔබෙන් තව මොන හීන දකින්නද මම.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











