අතරමගදි චරිත මරනවා…
BRO කියන්නෙ වෙනස්ම එකක්…
විවිධ බාධක, කම්කටොළු මැද ජීවිතය ජයගත්ත අපේ කාලයේ පටාචාරාවක් ඇය. ඒ තරමට ඇය සැබෑ ජීවිතයේ වගේම විවිධ චරිත හරහාද උතුම් වූ මවු සෙනෙහස විදහා පෑමට වෙහෙස මහන්සි වෙනවා. ඒ වෙන කවුරුත් නොව ජනප්‍රිය රංගන ශිල්පිනී ගයනි ගිසන්තිකා. ඒ උදාර මවු සෙනෙහස සමඟ ගෙවන ජීවිතය ගැන කතා කිරීමට අපි ඇයව සම්බන්ධ කරගත්තේ මේ විදියට.
ගයනි අපි මුලින්ම ‘BRO’ ගැන කතා කරමුද?
‘BRO’ ටෙලිනාට්‍ය වෙනස්ම විදියේ නිර්මාණයක් මම සම්බන්ධ වුණු. එය මට වගේම මගේ ආදරණීය ජනතාවට ඒ වෙනස තදින්ම දැනෙයි ‘BRO’ ටෙලිනාට්‍යය සමඟ දිගටම රැඳී සිටියොත්.
එකිනෙකාට දැනෙන වෙනස විවිධාකාරයි. ඒ නිසා අපි කැමැතියි ඔබෙන් දැනගන්න ඔබට දැනුණු වෙනස?
මෙහෙමයි. මම මෙයට කලින් ටෙලිනාට්‍ය ගණනාවක රඟපෑවා. ඒ සියල්ලගේ තිබුණේ දෙබස් සමඟ රඟපෑමක්. නමුත් එතැනින් එහාට ගිය මට යමක් කළ හැකි ලොකේෂන් වෙනස්වීමත් සමඟ තාත්වික රංගනයක් මට මෙය තුළින් නිරූපණය කිරීමට හැකි වුණා. අනෙකුත් නිර්මාණවල මට යමක් කිරීමට නොතිබුණා කියනවා නෙවෙයි. ඒ සියලුම නිර්මාණවල මම නිරූපණය කළ චරිතවලට වඩා වෙනසක් වෙයි. වැඩිපුර රඟපාන්න තිබෙනවා.
ටෙලිනාට්‍ය කිහිපයකම අපි මවක් ලෙස තමයි ඔබව දකින්නේ. මෙය එකාකාරී කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
සැබෑ ජීවිතයේදීත් මම මවක් තමයි. ඔබ පවසන විදියට මම ටෙලිනාට්‍ය කිහිපයකම අම්මාගේ චරිත නිරූපණය කළා. ඒ අම්මාවරුන් අතරත් විවිධ මාදිලියේ මවගේ චරිත තමයි රඟපෑවේ. අද සමාජයෙන් එවැනි අම්මාවරුන් ඕනෑ තරම් සිටිනවා. ඒ සියලුම චරිතවලට මම සාධාරණයක් කළා කියලා මම විශ්වාස කරනවා.
‘BRO’ ටෙලිනාට්‍ය හරහා පුංචි තිරයට එන අම්මා කොයි වගේද?
එය ගැන මට දැන්ම ලොකුවට කියන්න බැහැ. විවිධ බාධක, කම්කටොළු මැද ජීවත් වන මවක්. ඒ විතරක් නෙවේ ගතිපැවැතුම්වලින් වගේම ඉහළ පැලැන්තියේ මවක් ලෙසට රඟපානවා.
ඔය අතරෙ ගයනි ‘මහාපොළොව’ සමඟ ලොකු බැඳීමක් එක්ක වැඩකරනවා නේද?
දමිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘මහාපොළොව’ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු කරලා ඉවරයි. මහව අවට තමයි එහි රූපගත කිරීම් කටයුතු සිදුකළේ. ඇත්තටම මට සුමිත් රත්නායක සහෝදර ශිල්පියා හමුවන්නේ වේදිකාවෙන්. අපි අතර ලොකු බැඳීමක් තියෙනවා ‘මහාපොළොව’ වගේ. මම ඔහුගේ ‘මද්දාහාන’ ටෙලිනාට්‍යයේ කල්‍යාණි චරිතය නිරූපණය කළා. ඒ චරිතය වෙනුවෙන් සහාය නිළියටද සම්මාන හිමිවුණා. ඉතින් ‘මහාපොළොව’ නුදුරු දිනයකදී විකාශය වෙයි. අපි එතකොට එය ගැන කතා කරමු.
‘මහාපොළොව’ ටෙලිනාට්‍යයේ පිටපත තුළ විශේෂත්වයක් ඔබ දකිනවාද?
ඇත්තටම ඔව්. ‘මහාපොළොව’ ටෙලිනාට්‍යයේ විතරක් නෙවේ, ‘මද්දාහාන’ ටෙලිනාට්‍යයේ පිටපත තුළත් ඒ නිර්මාණ තුළ වැඩ කරපු සියලුම ශිල්පීන්ට දැනෙන්නට ඇති. මොකද වර්තමානයේ ටෙලිනාට්‍යවල එහෙම සම්පූර්ණ පිටපතක් අපේ අතට ලැබෙන්නේ නැහැ. ඒත් සුමිත් රත්නායකගේ සියලුම නිර්මාණවල පිටපත සම්පූර්ණ කරලා තමයි ටෙලිනාට්‍ය වැඩකටයුතු පටන්ගන්නේ. එවිට අපිට කිසිම බයක්, සැකයක් නැතුව නිර්මාණය හොඳට තේරුම් ගෙන චරිතයට හොඳ සාධාරණයක් කරන්න පුළුවන්. ඒ සුන්දර පිටපත් කලාව නැති වුණේ මේ මෙගා ටෙලිනාට්‍ය කලාව නිසයි. මේ වන විටත් මම ළඟ ‘BRO’ ටෙලිනාට්‍යයේ පිටපත තිබෙනවා ඉදිරි කොටස් කිහිපය.
මෙගා ටෙලිනාට්‍ය කලාවට මෙවැනි ක්‍රමවේදයක් සැකැසීමට අපහසුද?
මෙහෙමයි, මෙගා ටෙලිනාට්‍ය නිසා කොටස් පහළොවෙන්, පහළොවට තමයි රූපගත කිරීම් සිදුකරන්නේ. ඉතින් අපිට ලැබෙන චරිතය අනුව අපි උපරිම දායකත්වය ලබාදෙනවා. ඒ වගේම අපි හිතින් හිතනවා මේ චරිතය මේ විදියට සිදුවෙයි කියා. සමහර අවස්ථාවන්වල ඉතින් අතරමඟදී චරිත මරනවා. මෙගා ටෙලිනාට්‍යවල ඉතින් අපි රඟපාන්නේ අග-මුලක් නොදැන තමයි.
නවක පරපුර සමඟ වැඩකිරීම ගැන මොකද හිතෙන්නේ?
දැන් ප්‍රවීණ ශිල්පීන් නිර්මාණකරණයෙන් බැහැර වෙලා තියෙන්නේ. ‘BRO’ ටෙලිනාට්‍ය අධ්යක්ෂ ළාබාලතම තරුණයෙක්. මම එවැනි ළාබාලතම තරුණයෙක් සමඟ වැඩ කරන පළමු අවස්ථාව තමයි මේ. ඔහුගේත් පළමු ටෙලිනාට්‍ය තමයි ‘ BRO’ ඇත්තටම මම ගොඩක් ආශාවෙන් ඔහු සමඟ වැඩ කළේ ඔහුගේ වැඩ තුළත් කිසිම නුහුරු ගතියක් දැනෙන්නට නැහැ. ඔහුට අවශ්‍ය දේ පැහැදිලි කිරීමක් කරලා තමයි රූපගත කිරීම් පටන් ගන්නේ. ඔහුව දැනහඳුනගෙන වැඩ කරන්න ලැබීමත් සතුටක්. ඒ විතරක් නෙවේ මම විශ්වාස කරනවා අපේ නිර්මාණ කලාව ඉදිරියට ගෙන යෑමට ඔහුටත් ශක්තියක් තිබෙන බව.
‘අසන්ධිමිත්තා’ සිනමා නිර්මාණයෙන් පසු සිනමාවේ ඔබේ දායකත්වය කොයි වගේද?
‘අසන්ධිමිත්තා’ චිත්‍රපටයෙන් පසු මට සිනමාවට සම්බන්ධ වීමට බැරිවුණා. අනෙක තමයි මේ කොරෝනා වසංගතයත් නිසා සිනමාවට වගේම ප්‍රසංග වේදිකාවට ගොඩවීමට තව කාලයක් යයි කියලා මම හිතනවා.
වසන්ත විතාරණගේ











