ස්වභාවධර්මය යමක් නිර්මාණය කරන්නේ ඉතා ආකර්ෂණීය අයුරිනි. සත්වයාගේ අඛණ්ඩ පැවැත්ම උදෙසා එලෙස ස්වභාවධර්මයා කළ විශිෂ්ටම නිර්මාණය වන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි දක්වන ආකර්ෂණයයි. සත්වයා පරිණාමය වී මිනිසාගේ තත්ත්වයට පැමිණෙන විට විරුද්ධ ලිංගික ආකර්ෂණයට ආදරය නමැති සංකල්පයද ඇතුළත් වී තිබීම මිහිපිට ඇති සුන්දරත්වයේ උපරිම ස්ථානය හැටියට සලකන්න පුළුවනි. ඉතින් මේ විදියට තරුණ වයසට පැමිණෙන පිරිමි දරුවන් ගැහැනු දරුවන් සමඟද, ගැහැනු දරුවන් පිරිමි දරුවන් සමඟද ආදරයෙන් බැඳීම ඔවුන් ස්වභාවධර්මයේ රීතියකට යටත් වීමක් හැටියට සලකන්න පුළුවන්.
එහෙම බැඳීමක් ඇතිකර ගත් දෙදෙනෙක් ඊළඟට නීත්‍යානුකූලව විවාහයකට ඇතුළත් වීම තමයි සිරිත. මෙන්න මෙතැනදී අපේ සංස්කෘතිය තුළ විවාහය සඳහා පොරොන්දම් බැලීම සිදුකරනවා. හොඳයි දැඩි ලෙස ආදරයෙන් බැඳුණු දෙදෙනකුගේ විවාහ පොරොන්දම් ජ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව ගැළපෙන්නේ නැත්නම් මොකද කරන්නේ.
ජ්‍යොතිෂ විiාවේදී පොරොන්දම් නොගැළපීමට හේතු වන සාධක කිහිපයක් අද සොයා බලමු. මුලින්ම යෝජිත දෙදෙනාගේ,
- ලග්නාධිපතීන් දෙදෙනා
- චන්ද්‍ර රාශි අධිපතීන් දෙදෙනා
- 7 වැන්න අධිපතීන් දෙදෙනා
- 5 වැන්න අධිපතීන් දෙදෙනා
සතුරුද, මිතුරුද සොයා බලනවා. මේ කරුණු හතරෙන් දෙකක්වත් ගැළපෙනවා නම් තමයි විසි පොරොන්දම් බැලීමට යොමු වන්නේ. විසි පොරොන්දම කෙටියෙන් කියනවා නම්, - නක්‍ෂත්‍ර 2. ගණ 3. මහේන්ද්‍ර 4. ස්ත්‍රී දීර්ඝ 5. යෝනි 6. රාශි 7. රාශි අධිපති 8. වශ්‍ය 9. රජ්ජු 10. වේධ 11. වෘක්‍ෂ 12. ආයුෂ 13. පක්‍ෂි 14. භූත 15. ගෝත්‍ර 16. වර්ණ 17. ලිංග 18. නාඩි 19. දින 20. ග්‍රහ
ආදී වශයෙන් වෙනවා.
මේ විසි පොරොන්දම් බලන්නේ විවාහයෙන් පසුව දෙදෙනාට සාර්ථක යුගදිවියක් ගතකරන්න පුළුවන්ද කියන එකයි. ජ්‍යොතිෂ විiාත්මකව ඉතාමත් වටිනා, ගැඹුරු කරුණු කිහිපයක් මෙම විසි පොරොන්දමට ඇතුළත් වෙනවා. ඒ ඒ පොරොන්දම නොගැළපීමෙන් විවාහ ජීවිතයේදී මතුවිය හැකි ප්‍රශ්න ගැන කලින් කියන්න පුළුවන්කමක් ජ්‍යොතිෂ ශාස්ත්‍රය සතුව පවතිනවා. මෙම විසි පොරොන්දම අතරින් කිහිපයකට විශේෂ තැනක් හිමි කරදී අෂ්ටකූටයේ ලකුණු 36ක් ලබාදී එම ලකුණු ලැබෙන ප්‍රමාණයද ගණනය කර බලනවා.
මීට අමතරව විවාහ දෝෂ ගණනාවක් ගැනද ජ්‍යොතිෂ විiාවේදී විවාහ පොරොන්දම් ගැළපීම යටතේ සඳහන් වෙනවා. කුජ ග්‍රහයා ලග්නයෙන් හරි, චන්ද්‍රයාගෙන් හරි, සිකුරුගෙන් හරි 1, 2, 4, 7, 8, 12 කියන තැනක ඉන්නවා නම් කුජ දෝෂය කියලා කියනවා. කුජ දෝෂය තියෙන කේන්දරයකට කුජ දෝෂය තිබෙන කේන්දරයක්ම තමයි ගැළපෙන්නේ. එහෙම නැත්නම් එක කේන්දරයක කුජ ඉන්න ස්ථානයේ අනෙක් කේන්දරයේ පාප ග්‍රහයෙක් ඉන්න ඕනෙ. කුජ දෝෂය භංග වන ක්‍රම ගණනාවක්ද සඳහන් වෙනවා.
මීටත් අමතරව විවාහයට බලපාන අහිතකර යෝග හැටියට විෂ කන්‍ය යෝගය, කඩහන්දි මාරක දෝෂය, නාශාංශක දෝෂ, වැන්දඹු දෝෂ, ස්ත්‍රී කේන්දරයෙන් පෙන්වන පුරුෂ මාරක යෝග, පුරුෂ කේන්දරයෙන් පෙන්වන ස්ත්‍රී මාරක යෝග, බහු විවාහ යෝග, සරාගී යෝග, වඳ යෝග, තුන්කුලුඳුල් දෝෂ ආදී වශයෙන් ගණනාවක්ද සඳහන්.
දැනට ශ්‍රී ලංකාව තුළ විවාහ පොරොන්දම් පරීක්‍ෂා කරන ජ්‍යොතිෂවේදීන් අතරද විවිධ මත පවතින අවස්ථා හමුවෙනවා. විවාහයට යෝජිත කේන්දර දෙකක් අරගෙන ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනකු ලවා පරීක්‍ෂා කළ විට එක් අයෙක් විවාහයට සුදුසුයි කියන කේන්දර දෙකක් බවත්, ජ්‍යොතිර්වේදියෙක් විවාහයට නුසුදුසුයි කියන අවස්ථාද හමුවන බව ඔබ දන්නවා. ඒ වගේම තමයි කීයටවත් මේ විවාහය කරන්න එපා කියලා උපදෙස් ලැබුණු අය හිතුමතේ විවාහ වෙලා ඉතා සාර්ථක විවාහ ජීවිත ගතකරලා යහපත් දූදරුවන් ලබා අද දවසේද සතුටින් ජීවත් වන අවස්ථාද ඉතා හොඳින් පොරොන්දම් ගැළපෙන අය විවාහ වෙලා නොයෙක් ප්‍රශ්න ඇති වූ අවස්ථා ගැනද ඔබ දන්නවා ඇති. ලෝක ජනහනය සලකා බැලූ විට විවාහයට කලින් පොරොන්දම් බලන ප්‍රතිශතය ගැන ඔබට හිතන්න පුළුවන්. මේ කරුණු සියල්ල සලකා බලා අප විසින් පිළිතුරු සැපැයිය යුතු ප්‍රශ්නය වන්නේ කිසියම් දෙදෙනෙක් දීර්ඝ කාලයක සිට ආදරයෙන් බැඳිලා විවාහයට කලින් පොරොන්දම් බැලුවාම ‘ගැළපෙන්නේ නැත’ යන උත්තරය එනවා නම් ඔවුන් දෙදෙනා විවාහ නොවිය යුතුද? මෙතෙක් කල් පැවැති ආදරය කේන්දරය නිසා නැවැත්විය යුතුද? එය කළ හැකිද?
ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි











