හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා තිබූ නඩුවෙන් පසුගිය සතියේ ඒ මහතා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පියවර ගෙන තිබිණි. කොළඹ මහාධිකරණ විනිසුරුවරයා එහිදී ලබාදුන් සම්පූර්ණ තීන්දුව මෙසේය.
බස්නාහිර පළාතේ කොළඹ පැවැත්වෙන
මහාධිකරණයේය
නීතිපතිගේ අංකය : CR 5/03/2015 මහාධිකරණයේ අපරාධ
නඩු අංකය : HC
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විරුද්ධව
- බැසිල් රෝහණ රාජපක්ෂ
- රණවක ආරච්චිලාගේ
අමිත කිත්සිරි රණවක - යක්දෙහිගේ දොන්
නිහාල් ජයතිලක - රත්නායක පල්ලියගුරුගේ බන්දුල තිලකසිරි
මහාධිකරණය අංක 02,
කොළඹ මහාධිකරණ විනිසුරු නැත්පත්
රත්නප්‍රිය ගුරුසිංහ මැතිතුමා ඉදිරිපිටදීය,
(සටහන් ගැනීම ලඝුලේඛිකා
බී. එම්. ඩී. රංගා විසිනි.)
නඩු අංකය. :- එච්.සී.8222/2016.
දිනය :- 2020.11.30
තීන්දුව
ශ්‍රී ලංකා ජනරජයේ නීතිපතිවරයා විසින් මෙම නඩුවේ චූදිතයින් හතරදෙනාට එරෙහිව අධිචෝදනා නගා ඇත. ඔවුන්ගෙන් දෙවන, තුන්වන සහ හතරවන චූදිතයින් රජයේ නිලධාරීන්ය. මෙහි ප්‍රධාන චෝදනාව නඟා තිබෙන්නේ දෙවන විත්තිකරුට එරෙහිවය. ඔහු 2003 අංක 01 දරන දිවි නැඟුම පනතේ (මින් ඉදිරියට පනත යනුවෙන් හඳුන්වන) 3 වන වගන්තිය ප්‍රකාරව දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස ක්‍රියා කරන ලද පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ය.
ඔහුට නඟා ඇති චෝදනාවේ පදනම වන්නේ, 2014 වර්ෂයේ ඔක්තෝබර් 20 සිට නොවැම්බර් 30 දක්වා කාලය තුළ “ඉසුරුමත් නිවහනක්” නැමැති ව්‍යාපෘතිය යටතේ දිවි නැඟුම ප්‍රතිලාභීන් 1,197,111 දෙනෙකු අතර ඔවුන්ගේ නිවාසවල අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවන් සඳහා එක් අයකුට රුපියල් 2500 බැගින්, රුපියල් 2,992,777,500ක් දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රජාමූල බැංකු පද්ධතිය සතු මුදලින් ගෙවීමට කටයුතු කර, එම මුදල පිළිබඳ සාපරාධී විශ්වාසය කඩ කිරීම පිළිබඳවය.
සෙසු චූදිතයන් වන්නේ එවකට දිවි නැඟුම අමාත්‍යාංශයේ අමාත්‍යවරයාව සිටි 1 වන චූදිත් එම අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි 3 වන චූදිතත්, දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය අධ්යක්ෂ වූ 4 වන චූදිතත්ය, එකී 1, 3, 4 වූදිතයින්ට එරෙහිව චෝදනා නඟා ඇත්තේ 2 වන චූදිත විසින් කළා යැයි සඳහන් කරන වරදට ආධාර හෝ අනුබලදීම හෝ කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවක්ය.
පළවන චෝදනාව සියලුම විත්තිකරුවන්ට එරෙහිවද, දෙවන චෝදනාව 2 වන විත්තිකරුට එරෙහිවද, තුන්වන චෝදනාව 1 වන විත්තිකරුට එරෙහිවද, හතරවන චෝදනාව 3 වන විත්තිකරුට එරෙහිවද, පස්වන චෝදනාව 4 වන විත්තිකරුට එරහිවද ගොනු කර ඇත.
මේ අනුව ප්‍රථමයෙන් සලකා බැලිය යුතුව ඇත්තේ 2 වන චූදිතට එරෙහිව නඟා තිබෙන චෝදනාවයි. එකී චෝදනාව ඔප්පු වුවහොන් පමණක් 1 වන, 3 වන සහ 4 වන චූදිතයින්ට එරෙහිව ඇති චෝදනා සලකා බැලිය යුතුව ඇත. 2 වන චූදිතට එරහි චෝදනාව සනාථ වන්නේ නැති නම්, සෙසු චූදිතයින් සියලුදෙනාට එරෙහිව ඇති චෝදනාද ඒ හේතුව මතම බිඳ වැටෙනවා ඇත.
පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අවසන් කළ පසුව, චූදිතයින් වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තිය යටතේ ඉල්ලීමක් කර, චූදිතයින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ පිළිබඳව විත්තිය විසින් ලිඛිත කරුණු දැන්වීමක් කළ අතර, ඊට පිළිතුරු වශයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින්ද පසුව ලිඛිත කරුණු දැක්වීමක් සිදු කරන ලදී.
පැමිණිල්ල අවසන් වූ වහාම මෙවැනි ඉල්ලීමක් කළ හැකි බව අභියාචනාධිකරණය විසින් 2003 (1) ශ්‍රී ලංකා නීති වාර්තා 340 පිටුවේ සඳහන් නීතිපති එරෙහිව බරණගේ නඩුවේදී පෙන්වාදී ඇත. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තිය මෙසේය.
“චෝදක පක්ෂය වෙනුවෙන් නඩුව ඉදිරිපත් කිරීම අවසන් කරනු ලැබූ විට, චෝදක පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ සාක්ෂි විනිශ්චයකාරවරයා මුළුමනින්ම අවිශ්වාස කරන්නේ නම් හෝ අධිචෝදනා පත්‍රයෙහි චූදිතයාට විරුද්ධව යම් වරදක් සම්බන්ධයෙන් චෝදනා නඟා ඇත්තේද ඒ වරද හෝ ඒ අධිචෝදනා පත්‍රය මත චූදිත වරදකරු කරනු ලැබිය හැකි වෙනත් යම් වරදක් හෝ සිදු කර ඇති බව සනාථ කිරීමට ඒ සාක්ෂි අපොහොසත් වන බව විනිශ්චයකාරවරයාගේ මතය වන්නේ නම්, විනිශ්චයකාරවරයා විසින් නිදොස් කිරීමේ තීන්දු ප්‍රකාශයක් වාර්තා ගතකළ යුතුය; එසේ වුවද නඩු විභාගය පවත්වාගෙන යාමට හේතු ඇතැයි විනිශ්චයකාරවරයා සලකන්නේ නම් ස්වකීය විත්තිවාචකය ඉදිරිපත් කරන ලෙසට විනිශ්චයකාරවරයා විසින් වූදිතයාට නියම කළ යුතුය.”
මේ වගන්තිය අනුව, මෙහි අවස්ථා දෙකක් ඇත. එනම්, සාක්ෂි විශ්වාස කිරීමට නොහැකි බවට තීරණයක් ගන්නා අවස්ථාව, නැතහොත් එම සාක්ෂි මත අධිචෝදනා පත්‍රය මත වරදකරු කළ හැකි වරදක් සනාථ වන්නේ නැති අවස්ථාව.
මෙම නඩුවේ විශේෂත්වය විත්තිය විසින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් දී ඇති සාක්ෂි විශ්වාස කළ නොහැකි බවට කිසිදු අභියෝගයක් සිදු නොකිරීමයි. ඒ අනුව පළවන අවස්ථාවට මෙම නඩුව ඇතුළත් වන්නේ නැත. විත්තිය විසින් කියා සිටින්නේ, පැමිණිල්ල ඉදිරිපත් කර ඇති සාක්ෂි මතම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා නගා ඇති චෝදනාව සනාථ වන්නේ නැති බවය.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 388 වගන්තිය මෙසේය,
“යම් අන්දමකට යම් දේපොළක් භාරදෙනු ලැබූ හෝ දේපොළක යම් අධිපත්‍යයක් භාරදෙනු ලැබූ තැනැත්තෙකු විසින් ඒ දේපොළ වංක ලෙස, සාවද්‍ය පරිහරණය කළහොත් හෝ තමාගේ ප්‍රයෝජනයට ගතහොත් හෝ එකී භාරය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් තමා බැඳුණු ප්‍රකාශිත හෝ ඇඟවුණු නීත්‍යානුකූල ගිවිසුමක නීති පිළිබඳ නියමයකට විරුද්ධව දේපොළ වංක ලෙස පාවිච්චි කළහොත් ඔබ එකී දේපොළවලට යමක් කළහොත් හෝ එබන්දක් වෙනත් තැනැත්තෙකු විසින් කරනු ලැබීමට ඕනෑවට ඉඩ හරිතොත් ඔහු ‘සාපරාධී විශ්වාසය කඩ කිරීම’ සිදු කරයි.”
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 102 වන වගන්තිය මෙසේය,
“අනුබලදීමේ ප්‍රතිඵලයක් වශයෙන් අනුබල දෙනු ලැබූ ක්‍රියාව සිදු කළ විට එබඳු අනුබලදීමක් සඳහා දඬුවමක් පිළිබඳව විධිවිධානයක් මෙම සංග්‍රහයේ ප්රකාශිතව සලස්වා නොමැති විට එබඳු වරදකට අනුබල දෙන්නා ඒ වරදට නියමිත දඬුවමෙන් දඬුවම් කළ යුතුය.”
පැමිණිල්ලේ පදනම වන්නේ, මෙම පැමිණිල්ලේ සඳහන් කරන වියදම දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමට නියමිත කාර්යයක් නොවන බවය. තවද ඒ සඳහා අය-වැය මඟින් මුදල් ප්‍රතිපාදන සපයා තිබුණේ නැති බවත්ය. ඒ අනුච දිවි නැඟුම ප්‍රජා මූල බැංකුවල එක් එක් තැන්පත්කරුවන්ගේ ගිණුම්වල ඇති මුදල්වලින් මෙම ව්‍යාපෘතිය සඳහා ගෙවීම් සිදුකර ඇති බවය.
විත්තිය මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ, පැමිණිල්ලේ ස්ථාවරය අනුවම මුදල් ගෙවීම සිදුකර ඇත්තේ දිවි නැඟුම ප්‍රතිලාභීන්ගේ මුදල්වලින්ම බැවින්, එකී මුදල් ගෙවා ඇත්තේද දිවි නැඟුම ප්රතිලාභීන්ටම බැවින්, වරදක් සංස්ථාපනය නොවන බවය.
පැමිණිල්ලේ සාක්ෂි අංක 1 ඉද්දමල්ගොඩ දේශප්‍රිය නදීකා සංජීවනීගේ සාක්ෂිය අනුව, දිවි නැඟුම ප්‍රතිලාභීන් 1,197,111 දෙනෙකු අතර රුපියල් 2500 බැඟින් ගෙවා ඇත. එම මුදල හරියටම 1,197,111 × 2500 = 2,992,777,500/-ක් වේ. අධිචෝදනා පත්‍රයේ සඳහන් වන මුදල වන්නේද එකී මුදලයි. මේ අනුව චෝදනාවේ සඳහන් සම්පූර්ණ මුදලම දිවි නැඟුම ප්‍රතිලාභීන් වෙත පමණක්ම ගෙචා ඇති බව පැ.සා. 1ගේ සාක්ෂියෙන්ම සනාථ වී ඇත. ඒ අනුව කිසිදු චූදිතයෙකු වෙත එකී මුදලින් එක සතයක්වත් ලැබී නැතැයි යන තත්ත්වය පැ.සා. 1 විසින්ද පිළිගෙන ඇත.
මේ අනුව සාපරාධී විශ්වාසය කඩකිරීම් වෝදනාවේ අංග දෙකෙන් අංගයක් වූ දේපොළ තමාගේ ප්‍රයෝජනයට ගැනීම යන කාරණය විත්තිකරුවන්ට එරෙහිව උද්ගතවන්නේ නැත. එසේ නම් සලකා බැලිය යුත්තේ එම භාරය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් ගිවිසුමක හෝ නීතියක නියමයන්ට පටහැනිව වංක ලෙස පාවිච්චි කිරීම හෝ පාවිච්චි කිරීමට ඉඩ දුන්නාද යන කාරණයයි. එසේ වරදක් සිදුවීම නම්, එකී මුදල නීත්‍යානුකූලව ලැබීමට හිමිකමක් නොමැති අයෙකුට එම මුදල ලැබීම සිදුවිය යුතුය.
“එක් තැනැත්තෙකුට අයුතු ලාභයක් හෝ වෙනත් තැනැත්තෙකුට අයුතු අලාභයක් කරවන අදහසින් කිසිවෙකු කිසිවක් කළහොත් එය “වංක ලෙය” කරන ලද්දක් ලෙස සලකනු ලැබේ. ”
මේ සම්බන්ධයෙන් පැමිණිල්ල කියා සිටින්නේ, මෙහිදී දිවි නැඟුම බැංකුවලට යම් අයුතු අලාභයක් සිදු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සඳහන් කරනු ඇත,
දිවිනැඟුම බැංකුවල සාමාජික මුදල් හැර වෙනත් මුදල් නැත. නමුත් එය පාලනය කරන පාලක මණ්ඩලය විසින් එම මුදල් ආයෝජනය කර මුදල වැඩි කර ගෙන ඇත. චර්තමානය වන විට එම බැංකුවල රුපියල් බිලියන 80කට වඩා වැඩි මුදල් තිබෙන බව පැ.සා. 13 සාක්ෂියෙන් සඳහන් කර ඇත. රු. 2500/- බැගින් සාමාජිකයන්ට ගෙවීමට තීරණය කර තිබෙන්නේද එම කළමනාකාර මණ්ඩලය විසින්මය.
දිවිනැඟුම් ප්‍රජාමූල බැංකුවල කර්තව්‍යය පනතේ 28 වන වගන්තියේ විස්තර කර ඇත. 28(ඈ) වගන්තිය මෙසේය.
“නැන්පත්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු තහවුරු කිරීම,”
ඒ අනුව රූ. 2500/- බැගින් සාමාජිකයන්ට නිවාස අලුත්වැඩියා කරගැනීමට ලබාදීම බැංකුවේ කාර්යයක්ය. ඒ තුළින් බැංකුවට අයුතු අලාභයක් සිදු වන්නේ යයි කිව නොහැකිය. අයුතු අලාභයක් ලෙස ගත හැක්කේ යම්කිසිවෙකුට නීතියට අනුව හිමිකම් නොලබන ලාභයක් ලැබීමය. මෙහිදී තැන්පත්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය සුබසාධනය තහවුරු කිරීම බැංකුවේ කාර්යයන්ගෙන් එකක්ය.
දිවි නැඟුම ප්‍රජාමූල බැංකුවල මුදල් ප්‍රයෝජනයට ගත යුත්තේ දිවි නැඟුම ප්‍රතිලාභීන්ගේ සුබසිද්ධිය සඳහාය. ඒ අනුව එම මුදල් දිවි නැඟුම ප්‍රතිලාභීන්ගේ සුබසිද්ධිය උදෙසා පාවිච්චි කිරීම නීතිමය නියමයන්ට පටහැනි දෙයක් නොවේ.
පැමිණිල්ල විසින් විශ්වාසය තබන ලේඛන අතර පළමුවැන්න වන්නේ, ඞෂ වශයෙන් ලකුණු කර ඇති 2014.10,30 වෙනි දින දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එනම්, 2 වන චූදිත විසින් නිකුත් කළ එම දෙපාර්තමේන්තුවේ 2014 අංක 11 දරන චක්‍රලේඛයයි. මෙම චක්‍ර ලේඛය 2 වන විත්තිකරුගේ උපදෙස් මත පැ.සා. 1 විසින් සකස් කළ බව ඇය සාක්ෂියේදී කියා සිටියාය.
එය ‘ඉසුරුමත් නිවහනක්” දිවි නැඟුම සහනාධාරලාභීන්ගේ නිවාස අලුත්වැඩියා කිරීම පිළිබඳ සමීක්ෂණය ලෙස ශීර්ෂයේ දක්වා ඇත. එහි කොටස් කිහිපයක් ඇත.
ඒවා නම්,
1, අරමුණ. - ප්‍රතිලාභියා තෝරා ගැනීම.
- සමීක්ෂණයට භාජනය කළයුතු කරුණු.
- අයදුම්පත් නිකුත් කිරීම සහ සම්පූර්ණ කළ අයදුම්පත් ලබා ගැනීම.
5, ගෙවීම් කිරීම. - ව්‍යාපෘති කාලරාමුව.
- අධීක්ෂණය සහ පසු විපරම යන කොටස්ය.
මෙහි පිටපත්, - ආර්ථික සංවර්ධන අමාත්‍ය එනම්, 1 වන චූදිත.
- ලේකම්, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය එනම්, 3 වන චූදිත,
- ලේකම්, මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශය.
- සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්.
- අධ්යක්ෂ, ක්ෂුද්‍ර මූල්‍ය දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව එනම්, 4 වන චූදිත.
- ප්‍රධාන ගණකාධිකාරී, දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව,
- සියලුම නියෝජ්‍ය දිස්ත්‍රික් දිවි නැඟුම අධ්යක්ෂවරුන්,
- සියලුම ප්‍රාදේශීය දිවි නැඟුම නිලධාරීන්.
- ප්‍රධාන අභ්‍යන්තර විගණක.
- සියලුම වෘත්තීය සමිති ලේකම්වරුන්, වෙත පිටපත් යවා ඇත.
පැමිණිල්ල විසින් 1 වන චෝදනාවට පදනම් කරගත් එනම්, කුමන්ත්‍රණය කිරීම එය සම්බන්ධව ඉදිරිපත් කර ඇති ප්‍රධානම සක්ෂියක් වන්නේ මෙම ලියවිල්ලයි. මේ අනුව එහි සඳහන් චීන කුමන්ත්‍රණය බව කියන කාරණය එහි සඳහන් ලංකාවේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු සෑම දෙනාටම ප්‍රසිද්ධියේ දන්වා ඇත.
දිවි නැඟුම ප්‍රජාමූල බැංකු පනතේ 25 වන වගන්තිය අනුව පිහිටුවා ඇත. 25(3) වගන්තිය මෙසේය.
25(3) එවැනි සෑම බැංකුවක්ම එයට පවරා දී ඇති නාමයෙන් සංස්ථාපිත මණ්ඩලයක් විය යුතු අතර, අවිච්ඡින්න පැවැත්මක් සහ පොදු මුද්‍රාවක් තිබිය යුතු අතර එකී නාමයෙන් නඩු පැවරීම සහ එයට එරෙහිව නඩු පවරනු ලැබීම කළහැකිය.
ඒ අනුව ඒවා එක්තරා ආකාරයක ස්වාධීන පැවැත්මක් ඇති වෙන වෙනම ආයතන වේ. එම දිවි නැඟුම බැංකු සඳහා රජය විසින් ප්රාග්ධනය වශයෙන් හෝ වෙනත් ආකාරයකින් රජයේ මුදල් යොදවා ඇති බව පැමිණිල්ලේ සාක්ෂි අංක 22 වන, එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ හාණ්ඩාගාරයේ ලේකම් වූ පී. බී. ජයසුන්දර විසින් සාක්ෂි ලබා දී ඇත.
පනතේ 35 වන වගන්තිය අනුව දිවි නැඟුම බැංකු 1988 අංක 30 දරන බැංකු පනතේ විධිවිධාන සහ 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ විධිවිධාන අදාළ වන්නේ නැති බව ප්රකාශිතවම සඳහන් කර ඇත,
චූදිතයින්ට එරෙහිව චෝදනා කරනු ලබන ක්‍රියාවන් පනතේ ප්‍රතිපාදන ඇතුළත් කරන ලද ක්‍රියාවක්ද, ඉන් පරිබාහිරව කරන ලද ක්‍රියාවක්ද යන්න චෝදනාව සම්බන්ධයෙන් සලකා බැලිය යුතුව ඇත. පනතේ පූර්විකාව මෙසේය,
“ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමෙහිලා සහ දිළිඳු බව තුරන් කිරීමේ සහ සමාජ සාධාරණත්වය සහතික කිරීමේ ජාතික ප්‍රතිපත්තිය බලාත්මක කිරීමෙහි ලා පුද්ගල, පවුල, කණ්ඩායම් සහ ප්‍රජාව කේන්ද්‍රකරගත් ජීවනෝපාය සංවර්ධන ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය වී ඇති හෙයින්ද?
දිවි නැඟුම ප්‍රජාමූල සංවිධාන ස්ථාපිත කොට කලාපීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ සම්බන්ධීකරණ ජාලයක් ගොඩනැඟීම මඟින් සහ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම මඟින් ප්‍රජා මට්ටමේ ජාතික සංවර්ධන ක්‍රියාවලියකට ජනතාව ඒකරාශී කිරීම සඳහා දිවි නැඟුම අදහස් කරන හෙයින් ද;
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- ”
මේ අනුව එකී කළමනාකාර මණ්ඩලයට නිල බලයෙන් පත්වන සාමාජිකයින් පස්දෙනෙකු සහ අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන තිදෙනකුගෙන් සමන්විතව අටදෙනෙකුගෙන් යුත් කළමනාකාර මණ්ඩලයක් ඇත.
1 වී4 වශයෙන් ලකුණු කර ඉදිරිපත් කර ඇති, 2014.11.07 වන දින දිවි නැඟුම ප්‍රජා මූල බැංකු කළමනාකාර මණ්ඩලයේ රැස්වීම් වාර්තාවේ කොටසක් ලකුණු කර ඇත. ඒ අනුව එදින එකී රැස්වීම සඳහා දිවි නැගුම අධ්යක්ෂ ජනරාල් – 1 වන චූදිත රණවක යන අයද, චූදිතයකු නොවන අධ්යක්ෂ, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව – අබේසිංහ යන අයද, තවත් වූදිතයකු නොවන ප්‍රධාන ගණකාධිකාරී, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඩබ්ලිව්. ඒ. එස්. කුමාර යන අයද, වූදිතයකු නොවන පත් කළ සාමාජික – ඩබ්ලිව්. එම්. කරුණාරත්න යන අයද, 4 වන චූදිත තිලකසිරිද, චූදිතයකු නොවන ආවාර්ය ඩබ්ලිව්. චිලී ගමගේ යන අයද සහභාගී වී ඇත. නොපැමිණි අය ලෙස භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය – ආචාර්ය බී.එම්.එස්. බටගොඩ යන අයගේ නම සඳහන්ව ඇත. මෙම රැස්වීමේ ගනු ලැබූ තීරණයන් අතර 24/2014 පත්‍රිකා අංකය යටතේ 1වී4(අ) ලෙස ලකුණු කර ඇති කොටස පෙන්වා දී ඇත. ඒ අනුව පෙර කී අංක දරන මාණ්ඩලික පත්‍රිකාවේ එනම්, ඉසුරුමත් නිවහනක් දිවි නැගුම සහනාධාරලාභීන් නව නිවාස අලුත්වැඩියා කිරීම පිළිබඳ සමීක්ෂණය යන කාරණය සාකච්ඡාවට බඳුන් කර ඇත. එහිදී කළමනාකරණ මණ්ඩලයේ තීරණය වශයෙන් මෙසේ දක්වා ඇත. “අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් ලද ඉල්ලීම මත, අපගේ දිවි නැඟුම ප්‍රතිලාභීන් සඳහා සිදු කරනු ලබන යහපත් අරමුණක් ලෙස සලකා මෙම වැඩසටහන අනුමත කරන ලදී. භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රති පූර්ණය කර ගැනීම් පදනම මත අනුමත කරන ලදී. ගතයුතු ක්‍රියා මාර්ග වශයෙන් ජාතික සභාව දැනුවත් කිරීම සඳහන් කර ඇත. වගකීම අධ්යක්ෂ, ක්ෂුද්‍ර මූල්‍ය එනම්, 4 වන විත්තිකරුට පවරා ඇත.”
මේ අනුව මෙම තීරණයට පුද්ගලයින් හයදෙනකු සහභාගි වි ඇත. එයින් දෙදෙනෙකු පමණක් මෙම නඩුවේ විත්තිකරුවන් කර ඇත. එයින්ද වරද සිදු කළේ 2 වන චූදිත වශයෙන් චෝදනා නගා ඇත. එසේම එහි දක්වා ඇති පරිදිම එය දිවි නැගුම ජාතික සභාව වෙත දන්වා යවා, ඔවුන් විසින්ද අනුමත කර ඇත. දිවි නැගුම ජාතික සභාව, පනතේ 7 වන වගන්තිය අනුව පිහිටුවා ඇත. 7 වන වගත්තිය මෙසේය, - (1) දිවි නැගුම සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිපත්තිය සහ කළමනාකරණයට අදාළ කරුණු සම්බන්ධයෙන්, අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මෙහෙයවීමට යටත්ව, දෙපාර්තමේන්තුවට සහායවීම සඳහා දිවි නැගුම ජාතික සභාවක් පිහිටුවනු ලැබිය යුතුය.
(2) අමාත්‍ය මණ්ඩලය විසින් විධිවිධාන සලස්වනු ලබන සහ තීරණය කරනු ලබන ආණ්ඩුවේ ප්රතිපත්තිවල අනුකූලව අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබිය හැකි යම් විධානවලට අනුව දිවිනැගුම ජාතික සභාව කටයුතු කළ යුතුය.
(3) දිවි නැගුම ජාතික සභාව පහත සඳහන් සමාජිකයන්ගෙන් සමන්විත විය යුතුය:
(අ) සභාවේ සභාපතිවරයා විය යුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ – ජනරාල්වරයා;
(ආ) දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය විෂය භාර අධ්යක්ෂවරයා;
(ඇ) දෙපාර්තමේන්තුවේ දිවි නැගුම ප්‍රජාමූල සංවිධාන විෂයය භාර අධ්යක්ෂවරයා;
(ඈ) දෙපාර්තමේන්තුවේ ජීවනෝපාය විෂයය භාර අධ්යක්ෂචරයා;
(ඉ) මුදල් විෂයය පවරා ඇත්තා වූ අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ අනුයෝජිතයකු;
(ඊ) අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ අනුයෝජිතයකු; සහ
(උ) අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන තැනැත්තන් පස්දෙනකු.
ඒ අනුව එකී ජාතික සභාව එකළොස්දෙනෙකුගෙන් සමන්විත සභාවක්ය. 2 වන චූදිත එහි අධ්යක්ෂ ජනරාල්වරයා වේ. ඊට මුදල් විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ ලේකම් හෝ නියෝජිතයකුද ඇතුළත්ය. දිවි නැඟුම ජාතික සභාව මෙම තීරණය අනුමත කළ බව පැ.සා.1 සාක්ෂියේදී සඳහන් කර ඇත. ඒ අනුව එකී ජාතික සභාවේ සභාපතිවරයා පමණක් චූදිතයෙක් වශයෙන් නම් කැර ඇත. මේ අනුව 2 වන චූදිතට එරෙහිව චෝදනා කරන කාරණය වරදක් ලෙස උපකල්පනය කළත්, එය 2 වන චූදිතගේ තනි තීරණයක් නොවේ. එය කළමනාකරණ මණ්ඩලයක් සහ දිවි නැඟුම ජාතික සභාව විසින් අනුමත කර ගන්නා ලද සාමූහික තීරණයය. එහි සාමාජිකයින් සංඛ්‍යාව පෙර දක්වා ඇත. ඔවුන්ගේ තීරණය ඒකමතික බව පෙර සඳහන් කළ ලේඛන අනුව පෙනී යයි. එසේ තිබීයදී 2 වන චූදිතට පමණක් එරහිව චෝදනා කිරීම් කළ නොහැකිය. එම කරුණට සමීබන්ධ සෙසු අය කවරක් දැයි පැමිණිල්ල නොදන්නා අවස්ථාව, පැමිණිල්ල නොදන්නා පුද්ගලයින් සමඟ එසේ කළා යයි චෝදනාවක් කළ හැකිව තිබේ. කෙසේ වුවද මෙහිදී එවැනි නොදන්නා පුද්ගලයින් කිසිවෙක් නැත. එසේ තිබීයදී 2 වන චූදිත පමණක් තෝරා ගැනීම නීතනුකුල නොවේ.
1වී6 ලියවිල්ලට අනුව ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියද, ඉසුරුමත් නිවහනක් වැඩපිළිවෙළ 2014 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දන්වා ඇත. 1වී6 – 2013.06.28 වනි දින දරන ලිපියක්ය. එය පහත සඳහන් අයට පිටපත් කර ඇත. - ආර්ථික සංවර්ධන අමාත්‍ය –
බැසිල් රාජපක්ෂ. - නියෝජ්‍ය අමාත්‍ය –
එස්. එම්. චන්ද්‍රසේන. - නියෝජ්‍ය අමාත්‍ය –
සුසන්ත පුංචිනිළමේ. - නියෝජය අමාත්‍ය –
මුත්තු සිවලිංගම්, - නියෝජ්‍ය අමාත්‍ය –
එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, - ලේකම්, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය.
- අතිතිරේක ලේකම්, ආර්ථික සහ සංවර්ධන අමාත්‍යාංශය.
- අධ්යක්ෂ මණ්ඩල ලේකම්,
- නියෝජ්‍ය අභ්‍යන්තර විගණක.
මම ලේඛනය අනුව 2 වන චූදිතගේ නමක් එහි සඳහන් වන්නේ නැත. 2 වන චූදිත එවකට එහි සේවය කළාද යන්න සම්බන්ධයෙන්ද සාක්ෂියකින් සඳහන් වන්නේ නැත. එසේම මෙම ඉසුරුමත් නිවහනක් නැමැති වැඩසටහන 2 වන චූදිත විසින් ආරම්භ කරන ලද්දක් නොවන බව ඒ අනුව පැහැදිලිය. දිවි නැගුම දෙපාර්තමේන්තුව පිහිටුවීමට පෙර එහි පූර්වගාමී ආයතනයක් වශයෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය පවතින අවධියේද මෙම වැඩසටහන ක්‍රියාත්මකව තිබී ඇත. ඒ අනුව ඞෂ වශයෙන් ලකුණු කර ඇති ලේඛනය මත ආරම්භ වූ වැඩසටහන, එම පෙර පැවති වැඩසටහනේම දිගුවක්ය.
2 වන චූදිතට එරෙහිව මෙම නඩුවේ චෝදනා කරන ක්‍රියාව රජයේ ප්‍රතිපත්ති වශයෙන් ක්‍රියාත්මක කරන ලද තීරණයක කොටසක්ය. එසේ නොමැතිව එය 2 වන චූදිතගේ පුද්ගලික අදහසක් නොවේ.
1වී7 සමෘද්ධි අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන, දිරිය පියස නිවාස සංවර්ධන වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක වාර්තාවක්ය. ඊට සහභාගි වී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් – පී.බී.ජයසුන්දර, අතිරේක ලේකම් – චන්ද්‍රා වික්‍රමසිංහ, අතිරේක ලේකම් – හේමා ධර්මවර්ධන, අතිරේක ලේකම් – ශාන්ත බණ්ඩාර, ප්‍රධාන ගණකාධිකාරී – ඩබ්ලිව්.ඒ. විමලසේන, අධ්යක්ෂ, ජනරාල්, අයවැය දෙපාර්තමේන්තුව – ඒකනායක මිය, අධ්යක්ෂ, අයවැය – චාන්දනී විජේවර්ධන මිය, අධ්යක්ෂ ජනරාල්, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව – රණසිංහ, අයවැය අතිරේ අධ්යක්ෂ, අධ්යක්ෂ ජනරාල් රාජ්‍ය ගිණුම් සහ අධ්යක්ෂ ජනාරාල්, සමෘද්ධි අධිකාරිය එනම්, 4 වන විත්තිකරු යන අයයි. මෙය සිදු වී ඇත්තේ මෙහි නඩුවේ චෝදනා කරන දිනයන් නොව, 2013.07.05 වන දිනදීය. මෙහි කිසි තැනක 2 වන විත්තිකරුගේ නමක් සඳහන් වන්නේ නැත. එහිදී සාකච්ඡා කරගෙන ඇති තීරණ අතර, ලකුණු කර ඇති කොටස්වලට අනුව මෙම නිවාස පහසුකම් සඳහා ගෙවීමක් සිදු කිරීමට යෝජනා කර ඇත. එනම්, රුපියල් 30,000ක උපරිමයකට යටත්ව, තවත් කාරණා, සඳහා රුපියල් 50,000ක උපරිමයකට යටත්ව, තවත් අවස්ථාවක රුපියල් 65,000ක උපරිමයකට යටත්ව නිවාස සකසා ගැනීමට ආධාරදීමට බලාපොරොත්තු වී ඇත. එහිදී ද සමෘද්ධි අරමුදලෙන් අවශ්‍ය මුදල් ලබාගෙන, පසුව මහා භාණ්ඩාගාරය මඟින් එය ප්‍රති පූර්ණය කිරීම, සිදු කිරීම කරනු ඇති බවට එහි සඳහන් කර ඇත. එය බොහෝදුරට X1ට සමානය.
මෙම ඉසුරුමත් නිවහන වැඩසටහන නීති විරෝධී කාර්යයක් යයි යන හැගීමක් කිසිවිටකත් තමන්ට තිබුණේ නැති බව පැ.සා. 1 හරස් ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් සඳහන් කර ඇත. පැ.සා. 1ගේ සාක්ෂි අනුව මෙම රුපියල් 2500/- ගෙවීම දිවි නැගුම ප්‍රතිලාභීන් අතරද, වඩාත්ම දුප්පත් අයට ගෙවීම සඳහා සමික්ෂණයක් කර ලබා ගන්නා ප්‍රතිඵල අනුව සිදු කර ඇත. එය පෙර සඳහන් කළ කාරණා මත සලකා බැලූ විට පනතේ පරමාර්ථ සහ බලතල ඇතුළත සිදු වී ඇති බවට තීරණය කරමි. 2 වන වූදිත වංක ලෙස ක්‍රියා කළා යයි මේ අනුව කිසිසේත් පිළිගත නොහැකිය. වංක ලෙස වීමට නම්, නීති විරෝධී ලෙස කිසිවෙකුට යම්කිසි අයුතු වාසියක් හෝ අයුතු අවාසියක් සිදුවිය යුතුය. මෙමහිදී එවැන්නක් සිදුවී නැත. එබැවින් 2 වන චුදිතට එරෙහිව චෝදනාව සනාථ වන්නේ නැත.
දිවි නැගුම ප්‍රජා මූල බැංකුවල තිබෙන මුදල් 1988 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනතේ ප්‍රතිපාදන අනුව පොදු දේපොළක්ද යන්න සලකා බැලිය යුතුව ඇත. එම පනතේ 12 වන වගන්තියේ පොදු දේපොළ යන්න මෙසේ විස්තර කර ඇත.
“පොදු දේපොළ යනුවෙන්, ආණ්ඩුවේ දේපොළද, යම් දෙපාර්තමේන්තුව, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, රාජ්‍ය සංස්ථාවක, බැංකුවක, සමුපකාර සමිතියක හෝ සමුපකාර සංගමයක දේපොළ අදහස් වේ.”
පැමිණිල්ල කියා සිටින්නේ දිවි නැගුම බැංකු, බැංකු කටයුතු කරන එනම්, තැන්පත් භාර ගැනීමේ හැකියාව සහ ඵම නැත්පත්වලින් ණය දීම් සිදු කිරීමට හැකි බැංකුවක් වන බවයි. එසේම ලංකාවේ කිසිදු බැංකුවක් මහ බැංකුවේ අධීක්ෂණයෙන් තොරව පවත්වාගෙන යාමට නොහැකි බවයි. විත්තිය විශ්වාසය තබන පැමිණිල්ලේ සාක්ෂි අංක 22 – පී.බී. ජයසුන්දරගේ සාක්ෂිය අනුව දිවි නැගුම බැංකුවල ඇති මුදල් පොදු දේපොළ නොවේ යැයි කියා සිටියත්, එය ඔහුගේ මතයක් මිස, නීතියට අනුව කරන ප්‍රකාශයන් වන බව සඳහන් කර ඇත.
පැමිණිල්ල කියා සිටින්නේ පැ.සා. 4 ගේ සාක්ෂි අනුව අනිවාර්යය ඉතිරි කිරීම, ඒවායේ ගිණුම් හිමියන්ට අවශ්‍ය ඕනෑම විටක ලබා ගැනීමට නොහැකි බවයි. ඒවා ලබාගත හැක්කේ, උදාහරණ වශයෙන්, ගිණුම් හිමියාගේ වයස සම්පූර්ණ වූ විට, නැතහොත් අසනීප වූ අවස්ථාවක, එවැනි වෛද්‍ය පහසුකම් අවශ්‍ය විටක යන අවස්ථාවලදී පමණක් බවය. එබැවින් පී.බී. ජයසුන්දරගේ සාක්ෂිය මත එම දේපොළ පොදු දේපොළක්ද යන්න තීරණය නොකළ යුතු බව දක්වා ඇත.
දිවි නැගුම ප්‍රජා මූල බැංකුවල ඇති මුදල් පොදු දේපොළද යන්න සලකා බැලීමේදී, එම සාක්ෂි පමණක් නොව, පනතේ ප්‍රතිපාදන සහ 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත්, පොදු දේපොළ සඳහා දී ඇති අර්ථ නිරූපණය සලකා බලා තීරණයක් කළයුතුව ඇත. එහිදී දී ඇති අර්ථ නිරූපණය මීට පෙර සඳහන් කර ඇත. එකී අර්ථ නිරූපණ වගන්තිය අනුව දිවි නැගුම බැංකුව ඊට ඇතුළත් වී නැත. එසේ වුවත් “බැංකුව” යන වචනය එහි ඇතුළත්ව තිබෙන බැවින්, “බැංකුව” යන්න කුමක්දැයි එහි දක්වා ඇති අර්ථ නිරූපණය සලකා බැලිය යුතුය. එම පනතේ “බැංකුව” යන්නෙහි අර්ථය මෙසේ නිරූපණය කර ඇත.
“බැංකුව යන්නෙන්,
(අ) ණය අත්තිකාරම් හෝ ආයෝජනය ප්රදානය කරන නැතහොත් මහජනයාගෙන් මුදල් තැන්පත් භාර ගන්නා ආණ්ඩුව වෙනුවෙන් ක්‍රියා කරන්නා වූද, යම් ලිඛිත නීතියක් හෝ අන්‍යාකාරයකින් පිහිටුවන ලද යම් නියෝජිත ආයතනයක් සහ;
(ආ) ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් මෙම පනතේ කාර්ය සඳහා බැංකුවක් ලෙස මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද වෙනත් යම් තැනැත්තෙක් හෝ පුද්ගල මණ්ඩලයක් අදහස් වේ.”
එය ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කර ඇත්තේ මෙසේය,
‘Bank” means
(a) any agency or institution acting on beball of the Government (whether established under any written law or otherwise) which grants loans” advances or investments” or accepts deposits of money from the public;
and
(b) any other person or body of persons declared by the Minister in charge of the subject of Finance by Order published in the Gazette to be a bank for the purposes of this Act;
දිවි නැඟුම බැංකුව 1982 අංක 12 දරන පොදු දේපොළ පිළිබද පනත් කාර්ය සඳහා පොදු දේපොළක් වශයෙන් මුදල් අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මඟින් නම් කර ඇත. ඒ අනුව එය පොදු දේපොළක් වශයෙන්, ඒ ආකාරයෙන් ඇතුළත් වන්නේ නැත.
තවද දිවි නැගුම බැංකු එහි සාමාජික ප්‍රතිලාභීන්ට පමණක් විවෘතව ඇති බැංකුවක්ය. එහි ඕනෑම කෙනකුට මුදල් තැන්පත් කිරීමට හෝ ඕනෑම කෙනනකුට ණය ලබා ගැනීමට හැකියාව ඇති ආයතනයක් නොවේ. පනත් 25 වන වගන්තිය ආරම්හ වන්නේම ස්වකීය ප්‍රතිලාභීන් අතර යනුවෙනි. ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කර ඇත්තේ, ්පදබට සඑි ඉැබැසෙජස්රසැි යනුවෙන්ය.
එසේ පනතේ 35 වන වගන්තිය අනුව දිවි නැගුම පනත යටතේ පිහිටුවන බැංකු 1988 අංක 30 දරන බැංකු පනතේ විධිවිධාන සහ 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ විධිවිධාන අදාළ නොවන ආයතනයක්ය.
එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාරයේ ලේකම් වූ පී. බී. ජයසුන්දරගේ සාක්ෂියෙන් සඳහන් කළේ, එම දිවි නැඟුම බැංකු සඳහා ප්රාග්ධනය වශයෙන් රජය විසින් මුදල් ලබාදී නැති බවය. මෙම කරුණු සලකා බැලූ විට දිවි නැඟුම ප්‍රජා මූල බැංකුවල ඇති මුදල් පොදු දේපළක් වශයෙන් සැලකීමට හැකියාවක් නැත.
දිවි නැගුම පනතේ රජයේ මුදල් පිළිබඳ වෙනමම ප්‍රතිපාදන ඇත. 8 වන කොටසේ 36 සහ 37 වගන්තිවල රජයේ මුදල් සම්බන්ධයෙන් සඳහන් කර ඇත. 36 සහ 37 වගන්ති මෙස්ය.- (1) ගමේ පනත් කාර්යය සඳහා “දිවි නෑගුම සංවර්ධන අරමුදල” යනුවෙන් හඳුන්වනු ලබන අරමුදලක් පිහිටුවනු ලැබිය යුතුය, ඒ අරමුදලට ආණ්ඩුව විසින් කලින් කල සපයනු ලැබිය හැකි සියලු මුදල් ප්‍රමාණ බැර කරනු ලැබිය යුතු ය.
(2) (අ) දෙපාර්තමේන්තුවට ලැබෙන සියලු ප්‍රදානයන් සහ ත්‍යාග,
(ආ) මේ පනත යටතේ පිහිටුවන ලද බැංකු සහ බැංකු සමිති විසින් ලබා දෙන සියලු ත්‍යාග සහ වෙනත් දායක මුදල්;
(ඇ) මේ පනත යටතේ පිහිටුවන ලද බැංකු සහ බැංකු සමිතිවල ලාභයෙන් අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි යම් මුදල් ප්‍රතිශතයක්; සහ
(ඈ) මේ පනත යටතේ ලැබිය හැකි වෙනත් මුදල්, ඒකාබද්ධ අරමුදලට බැර කරනු ලැබිය යුතු අතර, ඉන්සපුව, පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව දිවි නැගුම සංවර්ධන අරමුදලට බැර කරනු ලැබිය යුතුය.
(3) ඉහත අරමුදලෙහි බැරට පවතින මුදල් අමාත්‍යවරයා විසින් කලින් කල නියම කරනු ලැබීය හැකි පරිදි යම් කාර්ය සඳහා සහ යම් ආකාරයට භාවිතා කරනු ලැබිය හැකිය. - (1) මේ පළාතේ කාර්ය සඳහා “දිවිනැඟුම චක්‍රීය අරමුදල” යනුවෙන් හඳුන්වනු ලබන අරමුදලක් පිහිටුවනු ලැබිය යුතුය.
(2) 1995 අංක 30 දරන සමෘද්ධි සංවර්ධන අධිකාරිය පනත යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, 1996 අංක 18 දරන දක්ෂිණ සංවර්ධන අධිකාරිය පනත යටතේ පිහිටුවන ලද දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ 2005 අංක 26 දරන උඩරට සංවර්ධන අධිකාරිය පනත යටතේ පිහිටුවන ලද උඩරට සංවර්ධන අධිකාරිය යන අධිකාරිවල චක්‍රීය අරමුදල මේ පනත බලාත්මක වන දිනයට පෙරාතුවම වූ දිනයේ දී බැරට පැවති සියලු මුදල් නියමිත දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පනත යටතේ පිහිටුවන ලද දිවි නැගුම චක්‍රීය අරමුදලට බැරවූ ලෙස සලකනු ලැබිය යුතුය.
පැමිණිල්ලේ සඳහන් කරන චෝදනාවේ, සඳහන් කරන මුදල් මෙම 36 සහ 37 වගන්තියේ දක්වා ඇති මුදල් නොවේ.
ඉහතින් දක්වන ලද කරුණු සලකා බැලූ විට දිවි නැඟුම බැංකු 1982 අංක 12 දරන පොදු දේපළ පිළිබඳ පනතේ අර්ථයට අනුකූලව පොදු දේපළක් වශයෙන් ඇතුළත් වී නැත. මේ කරුණු අනුව දිවි නැගුම පනතේ ප්‍රතිපාදන සහ 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ අර්ථයට අනුව 2 වන විත්තිකරු විසින් වරදක් සිදු කළාය යන කාරණය සංස්ථාපනය වන්නේ නැත.
ඉහතින් දැක්වූ තත්ත්වයන් මත 2 වන චූදිතට එරෙහිව නගා ඇති චෝදනා ඔප්පු වන්නේ නැති බැවින්, 2 වන චූදිතට එරෙහිව නගා ඇති චෝදනාවලින් ඔහුව නිදොස් කොට, නිදහස් කරමි.
2 වන චූදිතට එරෙහි චෝදනා ඔප්පු වන්නේ නැති බැවින්, සෙසු චූදිතයින් කොහොමත්ම වරදකරුවන් කළ නොහැකිය. ඒ අනුව 1, 3 සහ 4 වූදිතයින්ද නිදොස් කාට. නිදහස් කරමි.
- (රත්නප්‍රිය ගුරුසිංහ) මහාධිකරණ විනිසුරු.
කොළඹ.
2020.11.30
ඉහතින් පිටු අංක 01 සිට 26 දක්වා දැක්වෙන්නේ කොළඹ මහාධිකරණයේ අංක: එච්.සී. 8222/2016 දරන නඩුවේ 2020.11.30 දිනැති තීන්දුවේ සත්‍ය පිටපතක් බව සහතික කරමි.
- (රත්නප්‍රිය ගුරුසිංහ) මහාධිකරණ විනිසුරු.










