හානි පූර්ණ ගාස්තු වර්ධනය සහ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පොලී අඩුකිරීම නිසා 2020 තුන්වන කාර්තුවෙහි ලාභ කෙරෙහි ඇතිවූ අහිතකර තත්ත්වය කොමර්ෂල් බැංකුව රජයේ සුරැකුම්පත්වල ආයෝජනයෙන් ලැබූ ලාභ සහ විදේශ විනිමය වෙළෙඳාම් ක්‍රියාකාරකම්වලින් ලැබූ ලැබීම්වලින් අවම කර ගැනීමට සමත්වී තිබේ.
මෙරට ප්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව සහ අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය විසින් 2020 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස 09ක කාලය සඳහා රුපියල් බිලියන 55.818ක සමස්ත මෙහෙයුම් ආදායමක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 11.84%ක වර්ධනයකි. සමූහයේ අනිකුත් ආදායම් රුපියල් බිලියන 5.804ක සිට රුපියල් බිලියන 12.262ක් දක්වා දෙගුණයකට වැඩියෙන් වර්ධනය වීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන අතර මෙම කාල සීමාව තුළදී ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 36.796ක් දක්වා 1.02%ක් වැනි සුළු වර්ධනයක් පෙන්වා ඇත.
කොමර්ෂල් බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළට ඉදිරිපත් කර තිබෙන මූල්‍ය වාර්තාවලට අනුව භාණ්ඩාගාර බිල්පත්වල සිදුකළ ආයෝජනය මගින් බැංකුව රුපියල් බිලියන 4.658ක ශුද්ධ ලාභයක් උපයා ඇත. මෙය පසුගිය වසරේ මුල් මාස නමය තුළ මෙම ආයෝජනය මගින් ලැබූ රුපියල් මිලියන 444.754ක ශුද්ධ ලාභය සමග සසඳන විට දස ගුණයකට අධික වර්ධනයක් ලෙසින් සඳහන් කළ හැකිය.











