අප අවට සජීවීව දක්නට නොලැබුණද යකුන් යක්ෂයන් අපගේ සාමාජීය, සංස්කෘතික කටයුතුවලදී ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගැනීමට සමත් වූ පිරිසකි. මෙම පිරිස් පිළිබඳව බොහෝ දෙනාගේ පිළිගැනීම වන්නේ මොවුන් අමනුෂ්‍යයන් බවයි. මෙරට ඉතිහාසය ලියැවී ඇති මහාවංශය, දීපවංශය වැනි ඓතිහාසික ග්‍රන්ථවල පවා යක්ෂයින්, යක්ෂණියන් පිළිබඳව සඳහන්වී තිබේ. මහා වංශයේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේ පළමුවර මෙරටට වැඩම කරන්නේ මෙරට වාසය කළ යකුන් දමනය කිරීමටය. විජය කුමරු මෙරටට ගොඩ බසින විට පළමුවෙන්ම හමුවන්නේ කුවේණි නම් යක්ෂණියකි. සිංහලයන් විජයගෙන් පැවත එන්නේ යැයි දැක්වෙන ඓතිහාසික පුවත් ප්‍රතික්ෂේප කරන පිරිස් පෙන්වා දෙන්නේ යක්ෂයන්, අමනුෂ්‍යයන් නොවන බවත් ඔවුන් විජය පැමිණීමට පෙර මෙහි වාසය කළ අප වැනිම වූ මනුෂ්‍ය ප්‍රජාවක් බවය. ඔවුන්ගේ ජාතිය යක්ෂ බවත් පසුකාලීන සාහිත්‍ය හා ඓතිහාසික ග්‍රන්ථ මගින් ඔවුන් අමනුෂ්‍යයන් ලෙස විස්තර කිරීම නිසා නූතන පරපුර ඔවුන් පිළිබඳ අමනුෂ්‍යයන් සේ සිතීමට හුරු පුරුදු වී ඇති බවත්, අප පැවත එන්නේද යක්ෂ නම් ජන පිරිස එකල සිටි නාග, දේව වැනි ජන කණ්ඩායම් හා මීශ්‍ර වීමෙන් බවත් ඔවුහු පෙන්වා දෙති. නමුත් වර්තමානයේ බහුතර පිරිසකට යකුන් පිළිබඳ මැවෙන්නේ නපුරු, රෞද්‍ර පෙනුමකි. ඇඟ පුරා මවිල් පිරි, තඩි බඩක් සහ දිගු උල් දළ දත් සහිත, දිගු දිවක් හා තද රතුපැහැ තොල් සහිත මානවරූපී මස් කන, ලේ බොන අමනුෂ්‍ය විශේෂයක් ලෙස යකුන් පිළිබඳ සාහිත්‍ය, කලා හා ඉතිහාස ක්ෂේත්‍රයන්වලදී විස්තර වේ. වර්තමානයේ යකුන් පිළිබඳ අපට හමුවන සිතුවම්, රූප, රූකඩ, කැටයම් ආදියද එවැනි ආකාරයේ ඒවාය.
යකුන් මනුෂ්‍ය වුවද අමනුෂ්‍යයන් වුවද අදටත් ඔවුන්ගේ ප්‍රබල මතකයක් අප සමග පවතී. ආලවක වැනි යකුන් බුදුදහමේ අපට හමුවේ. චිත්තරාජ, කාලවේල වැනි යක්ෂ නායකයෝ අපගේ රජවරුන්ට උදව් උපකාර කළ අතර යකුන් වෙනුවෙන් කැපවූ දේවාලද තිබේ. අදටත් මහසෝන් යක්ෂයා, ඊරි යකා වැනි යකුන් මිනිසුන් ලෙඩ කරන අතර ඔවුනට ප්‍රතිකාර සඳහා යක්ෂ වෙස් මුහුණු දමා තොවිල් නැටිය යුතුය. යක් බෙර ඒ සඳහා යොදා ගනී. යක්කුරේ, යක්කල, යක්දෙස්සාගල, යක්ගෙදර, යගිරල වැනි ගම්මානවල අදටත් මිනිස්සු ජීවත් වෙති. යකි නාරං ඖෂධයකි. හොඳට වැඩ කරනවා නම් අදටත් කියන්නේ යකා වගේ වැඩ කරනවා කියාය. ඉටු කර අවසාන කර ගත නොහැකි වැඩක් නම් යකා බැඳ ගත්තා වාගේ යයි කියති. පන්සලක සිතුවම් අඳිනවා නම් යකුන් දමනය සිතුවම අනිවාර්ය අංගයකි. මෙලෙස යකුන් පිළිබඳ මතකයන් රැසක් තවමත් ජීවමානව පවතී. යක්ෂණියන් ඉතා රූමත් පිරිසක් යැයි ප්‍රවාදයක්ද පවතී. “ඔය යක්ෂණී මගෙ මිනිහා දැපනේ දා” ගත්තා යැයි තම ස්වාමියා වෙනත් කාන්තා ඇසුරක වැටුණු පසු පවසන කතාවද රූමත් යක්ෂණියන්ට පිරිමින් වහ වැටීම නිසා ඇතිවූ අදහසක් යැයි එම ප්‍රවාදයේ විස්තර වේ. සීගිරි කාශ්‍යප රජු ධාතුසේන රජුගේ යක්ෂ ජාතික බිසවකගේ පුත්‍රයකු බවත් සීගිරිය කාශ්‍යප රජුගේ මූලිකත්වයෙන් යක්ෂ ප්‍රජාවගේ දායකත්වයෙන් තැනූවක් බවටද ප්‍රවාදයක් පවතී. සීගිරි සිතුවම් වල හමුවන නිල්වනුන් මෙම යක්ෂ ජාතික අප්සරාවන් යැයි එම අදහස ඉදිරිපත් කරන්නෝ දක්වති.
යකුන් පිළිබඳ අප අතර කුමන මතයක්,සංවාදයක් පැවතියද සීගිරි අප්සරාවන් මෙන් සුන්දර යක්ෂණියන් හෝ පන්සලේ සිතුවම්වල මෙන් භයංකර යකුන්ද වර්තමානයේ මෙරට දක්නට නොලැබේ. යකුන් මෙරට සැබෑ ලෙසම හමු නොවූවද තවමත් ඉතා සුළු ප්‍රමාණයක් සැබෑ යකුන් මේ ලෝකය තුළ ඉතිරිවී සිටී. ඒ මෙරට නොව බුදුන් වහන්සේ උපන් දඹදිව් තලයේ හිමාලයානු කඳුවැටිය ආශ්‍රිතවය. ඒ යකුන් අප මෙන්ම සුන්දර මිනිස් පිරිසකි. සීගිරි අප්සරාවන් මෙන් සුන්දර යක්ෂණියෝ ජීවමානවම එහි වාසය කරති. මේ යක්ඛ ප්‍රජාව වසර දස දහස් ගණනක් තිස්සේ වර්තමාන නේපාලයට අයත් කත්මණ්ඩු මිටියාවතෙහි දිවි ගෙවති. අප සිංහල ජාතිය මෙන් ඔවුන් යක්ඛ ජාතිකයන්ය.
යක්ඛ (Yakkha) නමින් හඳුන්වන මෙම ජන පිරිස වර්තමාන නේපාලයේ නැගෙනහිර කඳුකර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් වාසය කරති. අනන්‍ය සංස්කෘතියක්, භාෂාවක්, චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායක් සහිත මෙම යක්ඛ ප්‍රජාව හිමාලයානු කඳු ආශ්‍රිතව ජීවත් වන කඳුකර ජන සමූහයකි. නැගෙනහිර නේපාලයේ සංඛුවා සභා (Sankhuwa Sabha) සහ ධන්කුටා (Dhankuta) යන දිස්ත්‍රික්ක ප්‍රධාන වශයෙන් කේන්ද්‍රකර ගනිමින් මෙම යක්ඛ ප්‍රජාව වාසය කරන අතර යක්ෂ ප්‍රජාව බහුලව වාසය කරන මෙම කලාපය යක්ඛ කලාපය (Yakkha region) ලෙස නම් කොට තිබේ. මෙම යක්ඛ කලාපයෙහි බහුතර වශයෙන් ඔවුන් ජීවත් වුවද මේ ආසන්න තවත් ප්‍රදේශ කිහිපයක යකුන් හමුවේ. අතීතයේ නැගෙනහිර නේපාල කඳුකරයේ විශාල ප්‍රදේශයක යකුන් පදිංචිව සිටියද ලිච්ඡවී රජ දරුවන්ගේ ආක්‍රමණයක් නිසා යක්ඛ ප්‍රජාව මෙම යක්ඛ කලාපයට විතැන් වූ බවටද මතයක් පවතී. කත්මණ්ඩු මිටියාවතෙහි කඳුකර ප්‍රදේශයන්හි ජීවත්වන ස්වදේශීක ජනතාව හෙවත් නේපාලයේ කඳුකර කලාපයේ මුල් පදිංචිකරුවන් කිරාතවරුන් (Kiranti Kirat” Kirata” Kira~ti) ලෙස පොදුවේ හඳුන්වයි. යක්ඛ (Yakkha) ඉන් එක් කිරාත වර්ගයක් වන අතර රායි (Rai) ,ලිම්බු (Limbu) චෙත්රි තමංග් (Chettri Tamang), මාගර් (Magar) වැනි තවත් කිරාත ප්‍රජාවන් විශාල ප්‍රමාණයක් නේපාල කඳුකරයේ හමුවේ. නේපාල තොරතුරු හා සන්නිවේදන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද සංඛුවා සභා දිස්ත්‍රික්කයේ ජනගහනය සහ ජීවන රටාව පිළිබඳ තොරතුරු ඇතුළත් “Mechi Dekhi Mahakali” නම් ග්‍රන්ථයට අනුව රායි, ලිම්බු සහ යක්ඛ ප්‍රජාවන් එම දිස්ත්‍රික්කයේ අධිපති කුල (dominant castes) ලෙස දක්වා තිබේ.
යක්ඛ ප්‍රජාව මූලික වශයෙන් කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගත කරන අතර සුන්දරත්වයෙන් අනූන සරුසාර කෘෂිකාර්මික ගම්මානයන්හි ජීවත් වේ. මෙම යක්ඛ ගම්මාන සාමාන්‍යයෙන් යක්ඛ නමකින් හා නේපාල නමකින් හැඳින්වීම සිදුකරයි. එනම් බොහෝ යක්ඛ ගම්මානයන්ට නම් දෙකක් තිබේ. නූතන නේපාලයෙහි කුඩාම පරිපාලන ඒකකය ලෙස ග්‍රාම සංවර්ධන කමිටු (Village Development Committee – VDC) පිහිටුවා ඇති අතර එක් දිස්ත්‍රික්කයක් මෙවැනි ඒකක ගණනාවකින් සමන්විත වේ. මේ නිසා මෙම ග්‍රාම සංවර්ධන කමිටුවලදී යක්ඛ ගම්මාන නේපාල නමින් හැඳින්වෙන අතර ඒවායේ වෙසෙන ජනයා එදිනෙදා කටයුතුවලදී ගම හඳුනා ගැනීම සඳහා යක්ඛ ග්‍රාම නාමය භාවිතා කරයි. උදාහරණයක් ලෙස ටුමොක් (Tumok) නම් යක්ඛ ගම්මානයම තමාෆොක් (Tamaphok) යන නේපාල නමින් හැඳින්වීම දැක්විය හැකිය.
මොවුන් උතුරු ඉන්දීය හිමාල ප්‍රදේශවල මුල් පදිංචිකරුවන් ලෙස සැලකෙන අතර යක්ඛ ප්‍රජාවේ සම්භවය මෙන්ම යක්ඛ නාමයේ සම්භවය පිළිබඳවද විද්වතුන් අතර විවිධ මත පවතී. මෙම යක්ඛ යන්න පිළිබඳව ඇති ප්‍රබල මතයක් වන්නේ හින්දු ආර්ය හා පුරාණ බෞද්ධ කතාවන්හි එන යක්ස/යක්ෂ (Yaksa-sh) යන්නෙන් මෙම යක්ඛ යන්න සම්භවයවූ බවයි. මේ පිළිබඳව බොහෝ පුරාවෘත්තයන්ද පවතී. පුරාවෘත්තයන් වුවද යකස/යකෂ (Yaksa-sh) යන්න්නෙන් බිඳුණු පදයක් ලෙස මෙම ප්‍රජාව හඳුන්වන “යක්ඛ (Yakkha)” යන පදය පොදු පිළිගැනීමකට ලක්වී තිබේ. යක්ඛ ප්‍රජාවේ භාෂාව වන යක්ඛ භාෂාවේද යකෂ “Yaksa” යන පදයක් හමුවන බව සඳහන් වේ. යක්ඛ භාෂාවේ දැක්වෙන පරිදි යකෂ යන්නෙන් අදහස් කරන්නේ පැල්පත හෝ නිවෙස (hut or house) යන්නය. ආරම්භයේදී කිරාතවරුන් සංචාරක ජීවිතයක් ගත කළ අතර කිරාතවරුන්ගෙන් පළමු වරට ස්ථිර නිවාස ගොඩනංවා ඇත්තේ යක්ඛ ප්‍රජාව විසිනි. මේ අනුව ඔවුන් යක්ඛ වූ බවටද මතයක් පවතී. නමුත් මේ මත පිළිබඳ නිශ්චිත නිගමයකට පැමිණීමට තරම් පර්යේෂණ තවමත් සිදුවී නොමැත.
මෙම ප්‍රජාව වී, බඩ ඉරිඟු, මෙනේරි මෙන්ම ආවේණික එළවළු හා පලතුරු වර්ග වගා කරන අතර ගෘහාශ්‍රිත සතුන් ඇති කිරීමෙහිද නිරත වෙති. ඈත අතීතයේ සිටම සතුන් දඩයම් කිරීමද මෙම ජනයා විසින් සිදුකොට තිබේ. සම්ප්‍රදායික යක්ඛ ජනයා කෘෂිකාර්මික කටයුතු හා එදිනෙදා අවශ්‍ය භාණ්ඩ යකඩ නිෂ්පාදන හා ස්වාභාවික වැල් හා ලී වර්ගවලින් සකසා ගනී. දැල් වැනි ශාකමය ද්‍රව්‍යවලින් තැනූ උපකරණ මොවුන් බහුලව භාවිතා කරන අතර කාන්තාවන්ගේ ආවේණික ඇඳුමක් වන අතර මෙක්ලින් (Mekhling) නම් ඇඳුම් විශේෂයද දැල් ආකාර ශාකමය ද්‍රව්‍යවලින් සකස් කරනු ලැබූවකි. යක්ඛ ප්‍රජාව ස්වාභාවික ද්‍රව්‍ය භාවිතයෙන් අලංකාර නිවාස ඉදිකිරීමේ දක්ෂයෝය. මෙම යකුන් බොහෝ විට දෙමහල් නිවාස ලෙස තම නිවාස ඉදිකරයි. මෙම දෙමහල් නිවාස සුදු පැහැයෙන් වර්ණ ගන්වන අතර නිවාසයන්හි නිල් සහ රතු වර්ණ ගැන්වූ ලී භාවිතයෙන් ආධාරක කණු, ජනේල හා දොරවල් සකස් කරයි. ජනෙල් රාමු අලංකාර ලෙස කැටයම් කිරීමද විශේෂ ලක්ෂණයකි. යක්ඛ නිවාසයන්හි බිත්තිවල පහළ කොටස රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇති අයුරු මෙන්ම මැටි හා ගොම මිශ්‍ර කර බිම ආවරණය කර ඇති අයුරුද බහුලව දක්නට ලැබිය හැකිය. සාමාන්‍යයෙන් මෙම නිවාස වසරකට වරක් ප්‍රතිසංස්කරණය කිරීමද සිදු කරනු ලබයි.
යක්ඛ ප්‍රජාව ඓතිහාසිකව ඔවුන්ටම අනන්‍ය පොදු අභ්‍යන්තර නාම පුද්ගලයින් හැඳින්වීම සඳහා භාවිතා කරයි (යක්ඛාව) Yakkhawa හෝ යක්ඛබා (Yakkhaba) යන වදන් පිරිමි පුදගලයන් හැඳින්වීම සඳහා ඔවුන් භාවිතා කරන අතර යක්ඛමා (Yakkhama) යන්න කාන්තාවන් හැඳින්වීම සඳහා පොදුවේ භාවිතා කරයි. යක්ඛ ප්‍රජාව තුළ පරම්පරා අනුපිළිවෙළ හා සමානතාව ඉතා වැදගත් සේ සලකනු ලබන අතර එය යක්ඛ කුල (clan) තුළ ප්‍රධාන ලක්ෂණයකි. මෙම සාමාජීය කුල බෙදීම අනුව විවාහ හා සමාජ චාරිත්‍ර සඳහා සීමා පැනවීමද සිදුවේ. යක්ඛ පිරිස් අතර මුතුන් මිත්තන්ගෙන් පැවත එන චාරිත්‍ර ඉටු කිරීම සඳහා වගකීම පැවරුණු මාගාබා (Ma/ga/ba) නම් විශේෂඥ දැනුම සහිත පිරිසක් සිටින අතර ඔවුන් සෑම නිවෙසකම උපත, විවාහය, මරණය වැනි චාරිත්‍රානුකූලව අවස්ථාවලදී අවශ්‍ය කටයුතු සිදු කරයි. ඔවුන් පාරම්පරික චාරිත්‍ර නඩත්තු කරන අතර අමනුෂ්‍ය ලෝකය සමග සබඳතා ඇති කරන පිරිසක් ලෙසද සැලකේ. යක්ඛ සමාජය පීතෘ මූලික මෙන්ම මාතෘ මූලික ද වේ. එය විවාහය මත රඳා පවතී. මෙම යකුන් විවාහයේදී මනාලිය ඇගේ ස්වාමිපුරුෂයාගේ වංශයට සංස්ථාගත කිරීම සඳහා පැහැදිලි පියවර දෙකක් අනුගමනය කරයි. ඉන් සැබෑ විවාහය වන්නේ පළමු පියවරයි. එය මැන්ඩටා (mandata) නමින් හඳුන්වයි. දෙවන පියවර බැග්ඩටා (bagdata) යනුවෙන් හඳුන්වන අතර එය පළමු පියවරෙන් වසර ගණනාවකට පසුව හෝ ඇතැම් විට විවාහයෙන් දශක කිහිපයකට පසුවද විය හැකිය. බැග්ඩටා (bagdata) හිදී සැමියා විසින් බිරිඳ පිළිබඳව නැවත වතාවත් බිරිඳගේ මවගෙන් විමසිය යුතුය. එනම් තම දියණිය පුරුෂයාගේ කුලයට එක්කර ගැනීම පිළිබඳ බිරිඳගේ ඥාතීන්ගෙන් විමසීමේ චාරිත්‍රය කළ යුතුය. සැමියාගේ කුලයට එක් වීමට නම් මෙම චාරිත්‍ර කළ යුතු අතර එසේ නොමැතිව බිරිඳට සැමියාගේ කුලයට එක් වීය නොහැකිය. බිරිඳ චාරිත්‍ර අවසන් වීමට පෙර මියගිය හොත් එහිදී ඇය සැමියාගේ කුලය සමග එක්වීමට සම්පූර්ණ කළ යුතු චාරිත්‍ර අවසන් නොකළ බැවින් ඇය සැමියාගේ කුලයට අයත් නොවේ. එබැවින් බිරිඳගේ අවසන් කටයුතු, ඇයගේ ඥාතීන් සිටින්නා වූ මුල් පදිංචිය ඇති පෙදෙසෙහි ජීවත් වන ඥාතීන් විසින් සිදු කරනු ලබයි.
නූතන යක්ඛ ප්‍රජාව ප්‍රධාන වශයෙන්ම හින්දු දහම අදහන පුද්ගලයන් වන අතර බෞද්ධයන් හා සොබාදහම නමස්කාරය කරන්නන් ඉතා සුළු පිරිසක්ද වේ. නූතන යක්ඛ පිරිස් අතර බෞද්ධ හා හින්දු මිශ්‍ර සංස්කෘතික ලක්ෂණ බහුල වශයෙන් දක්නට ලැබෙන අතර ඔවුන්ගේ කලා හා සංස්කෘතිකාංග බෞද්ධ හා හින්දු කලා හා සංස්කෘතිකාංගවලට සමාන කමක් දක්වයි. උත්සව අවස්ථාවලදී ඉතා අලංකාර ඇඳුමින් සැරසී ඒවාට සහභාගි වන මෙම පිරිස් දකුණු ආසියාතික බෞද්ධ හා හින්දු ජනයා භාවිතා කරන ඇඳුම් පැලඳුම්, විලාසිතා මෙන්ම ගෘහ හා පාරිගෝගික භාණ්ඩද භාවිතා කරනු ලබයි. යක්ඛ ප්‍රජාවේ බොහෝ යක්ෂණියන් තවමත් සාරිය භාවිතා කරන අතර ලංකාවේ කාන්තාවන් භාවිතා කරන චීත්තය හා හැට්ටය වැනි ඇඳුම්ද භාවිතා කරයි. මෙරට භාවිතා වන යක් බෙරය වැනි බෙරයක්ද ඔවුන්ගේ සංස්කෘතිකාංග තුළ දක්නට ලැබේ.
යක්ඛ ප්‍රජාව ඔවුන්ටම අනන්‍ය වූ සාරවත් භාෂාවක් සහිත පිරිසකි. ඔවුන්ගේ භාෂාවද යක්ඛ භාෂාව (Yakkha language) ලෙස හැඳින්වේ. මෙම යක්ඛ භාෂාව ටිබෙටෝ-බුරුමන් (Tibeto-Burman) භාෂා පවුලට අයත් චීන-ටිබෙට් (Sino-Tibetan) භාෂාවක් ලෙස සැලකේ. ස්වර 05 සහ ව්‍යංජන 22 සහිත අක්ෂර මාලාවක්ද මෙම භාෂාවෙහි හඳුනා ගෙන තිබේ. මුළු නේපාල ජනගහනයෙන් ස්වදේශීය යක්ඛ භාෂාව භාවිතා කරන්නේ 0.06%ක් පමණි. යුනෙස්කෝ සංවිධානයේ භාෂා වාර්තාව මෙම යක්ඛ භාෂාව වඳවී යාමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ භාෂාවක් ලෙස නම් කොට තිබේ. මෙම භාෂාව ජාතික වශයෙන් භාවිතා කළ නොහැකි නිසා යක්ඛ ප්‍රජාවේ නූතන පරපුර අධ්‍යාපන, පරිපාලන, ව්‍යාපාරික වැනි එදිනෙදා කටයුතු සඳහා නේපාලි භාෂාව භාවිතයට පෙලඹී තිබේ. නූතනවාදයේ ආරම්භය සහ බාහිර සාධකවල බලපෑම දැඩි වීම නිසා මෙම භාෂාව වේගයෙන් අතුරුදන් වීමට පටන් ගෙන තිබෙන අතර එම භාෂාව තව දුරටත් රැක ගැනීම සඳහා යක්ඛ කලාපයේ පාසල් තුළ යක්ඛ භාෂාව ඉගැන්වීමේ ව්‍යාපෘතියක්ද 2009 වසරේදී ආරම්භ කොට තිබේ.
යක්ඛ ජනයාද ඉතා ඉක්මනින් වඳවී යා හැකි ප්‍රජාවක් ලෙස නම් කොට තිබේ. යක්ඛ ප්‍රජාවේ යකුන් හා යක්ෂණියන් අතර විවාහ සීමා සහිත වීම නිසා ලිම්බු ජනයා හා විවාහ සබඳතා ඇති කර ගැනීමේ ප්‍රවණතාවක්ද වර්තමානයේ ඇතිවී තිබේ. යක්ඛ කලාපයේ සිටින කිරාතවරු අතරින් වඩාත් විශාලම උප සමූහය ලිම්බු (Limbu) වන අතර ලිම්බු ජනයා සංස්කෘතික හා භාෂාමය වශයෙන් යක්ඛ ජනයාට යම් සමානතාවයක්ද දක්වයි. මෙලෙස යක්ඛ ප්‍රජාවේ යකුන් හා යක්ෂණියන් ලිම්බු ප්‍රජාව සමග විවාහ සබඳතා ඇති කර ගැනීම නිසා යක්ඛ ප්‍රජාවගේ අනන්‍යතාව ලිම්බු ජනයාට යටවී යාමේ අවදානමක්ද මතු වී තිබේ. ලෝක ජනගහනය තුළ අතිශය සීමිත පිරිසක් බවට පත්ව ඇති යක්ඛ ප්‍රජාවේ සාමාජිකයන් 50,000 ආසන්න ප්‍රමාණයක් සිටිතැයි විශ්වාස කරයි. 2001 නේපාල ජන හා නිවාස සංගණන වාර්තාව අනුව 17,003 ක පිරිසක් වාර්තා වී ඇති අතර 2011 වාර්තාව අනුව මෙම සංඛ්‍යාව 24,336කි.
වසර ලක්ෂ ගණනකට පෙර නූතන මානවයා හිමාලයානු කඳු ජනාවාසකරණයේදී මෙම යක්ඛ ප්‍රජාවද ඔවුන්ගෙන් වර්ධනය වී ස්වාධීන අනන්‍යතාවයක් ඇති කරගත් පිරිසක් බව ඇතැම් මානව හා පුරාවිද්‍යාඥයෝ මත පළ කරති. මෙරට කඳුකර ප්‍රදේශවල පුරාණයේ යක්ෂයින් වාසය කළ බව විශ්වාස කරන අතර හිමාල කඳුවැටිවල සිට විවිධ ජන සංක්‍රමණ රැලි ඔස්සේ මෙරටට පැමිණි ජන කණ්ඩායම් මගින් මෙරට යක්ෂ ප්‍රජාව බිහිවන්නට ඇතැයි මතයක්ද ඉදිරිපත්වී තිබේ. දැනට ඇති පුරා විද්‍යා සාධක අනුව දකුණු ආසියාවට පැමිණි ප්‍රථම නූතන මානවයා මෙරටට පැමිණි අතර ඔවුන්ගෙන් මෙරට කඳුකරය ජනාවාස වී පසුව සිදුවූ ජන සංක්‍රමණ රැලි ඔස්සේ ඔවුන් හිමාලය දෙසට සංක්‍රමණය වී එහි ජනාවාස බිහිකරන්නට ඇති බවටද මතයක් පවතී. නූතන සමාජ වෙනස් වීම්වලට ලක්වීම නිසා මෙම යකුන් හා අපගේ ජීවන රටාවන් තුළ විශාල වෙනස්කම් දැකිය හැකි නමුත් මූලික සමාජ කාර්යයන්වලදී බොහෝ සමානතාවයන්ද දක්නට ලැබෙන බැවින් නූතන නේපාල යකුන්, මෙරට අතීතයේ විසූ යකුන් හා යම් ඥාතීත්වයක් තිබූ පිරිසක්ද යන්න සොයා බැලීම ඉතා වැදගත්ය. මෙම යක්ඛ ප්‍රජාවද වර්තමානයේ ලොව අනෙකුත් ජාතීන් මෙන්ම නූතන සමාජ ක්‍රමයට හුරුවෙමින් ලෝකයා හා එක්වීමට උත්සාහ ගනී. මෙම යකුන් මෙන්ම මෙරට අතීතයේ සිටි යකුන් පිළිබඳ ප්‍රමාණවත් අධ්‍යයනයක් තවමත් සිදුවී නොමැත. එබැවින් අතීතයේ මෙරට සිටි යකුන් පිළිබඳව හා නේපාලයේ තවමත් ජීවත් වන යකුන් පිළිබඳවත් විධිමත් අධ්‍යයනයක් කළ හැකි වසර දහස් ගණනක් අපෙන් ඈත්වී සිටි ඥාතීන් පිරිසක් යළි හඳුනා ගත හැකි වනු ඇත.
මූලාශ්‍ර
The Yakha – Andrew Russell” University of Oxford
A grammar of Yakkha – Diana Schackow” University of Berlin
අසිරු වේදිත කරුණාරත්න











