ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් සිදුකරන ලද මුදල් සම්පාදනය ඔස්සේ, මුලතිව් දිස්ත්‍රික්කයේ නිතර නියඟයෙන් පීඩා විඳින ඉරණපාලෙයි ප්‍රදේශයේ නවලඩිවේලිහී, කුඹුරු අක්කර 300කට පමණ ජලය සැපයීම සඳහා ඉදිකරන ලද අමුණ විවෘත කිරීම පසුගිය අගෝස්තු 28 වන දින සිදුකෙරිණි. ජෝන් කීල්ස් පදනමේ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු අවසන් කාර්යය ලෙස ඉදිකර, මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ. විමලනාදන් ඇතුළු ප්‍රාදේශීය නිලධාරීන්, ජෝන් කීල්ස් සමූහය නියෝජනය කරමින් එහි දේපළ සමූහයේ සමූහාධිපති සුරේෂ් රාජේන්ද්‍ර ඇතුළු ජෝන් කීල්ස් පදනමේ ප්‍රධානීන් සහ වර්ල්ඞ් විෂන් ආයතනය වෙනුවෙන් එහි ජාතික අධ්‍යක්ෂ ධනන් සේනාධිරාජා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වය තුළ ජනතා අයිතියට පත්කරන ලද මෙම අමුණ, ප්‍රදේශයේ ජල සම්පත උපරිම ඵලදායී ලෙස භාවිතා කරමින් යල සහ මහ කන්න දෙකේදීම භෝග වගාකිරීමට අවස්ථාව සලසා දෙන අතර, එමගින් ඉරණපාලෙයි සහ ඒ අවට පවුල් 100 කට අධික සංඛ්‍යාවකට සෙත සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2013 වසරේදී ක්‍රියාවට නංවන ලද මෙම ව්‍යාපෘතිය මගින් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉරණපාලෙයි ග්‍රාම නිලධාරි වසම සහ මැරිටයිම්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුදුමාතලන් ග්‍රාම නිලධාරි වසම ආවරණය කෙරිණි. දීර්ඝ කාලයක් තිස්සේ පැවති සිවිල් යුද්ධයෙන් වැඩිම කාලයක් පීඩාවට පත්වූ සහ, යුද්ධය අවසන් වීමෙන් පසුව නැවත පදිංචි කිරීම් කටයුතු අවසානයටම සිදුකෙරුණු ප්‍රදේශ වන මෙම ගම්මාන දෙකෙහි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ තිරසාර ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කරමින්, එහි ජනතාවට අධ්‍යාපන සහ අනෙකුත් අවස්ථාවන් ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරදීම මෙහි ඉලක්කය විය.











