අන්තර්ජාලය ඔස්සේ රක්ෂණ වාරික මුදල් ඉතාමත් සුරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ දැවැන්තයින් දෙදෙනෙකු වන කොමර්ෂල් බැංකුව සහ සෙලින්කෝ ලයිෆ් සමාගම ඒකාබද්ධ වී තිබෙන අතර මේ අරමුණ වෙනුවෙන් පහසු ගෙවීමේ සැලසුම්ද හඳුන්වාදී තිබේ.
මේ අනුව, සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිය අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සම්පාදකයා ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර ඕනෑම බැංකුවකින් නිකුත් කර තිබෙන ඕනෑම සන්නාමයකින් යුතු ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ්පත් භාවිතා කරන්නන්ගේ අන්තර්ජාල ගෙවීම් අත්දැකීම මෙහිදී පුළුල් කර තිබේ. මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පතකින් රක්ෂණ වාරික මුදල් ගෙවීමේදී පහසු ගෙවීමේ සැලසුම් ලබාදීමටද සමාගම විසින් කටයුතු කර ඇත.
මෙහිදී පහසු ගෙවීමේ සැලසුමකින් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් සිය රක්ෂණ වාරික ගෙවීමේ පිළිවෙළ වසරකට දෙවරක් හෝ එක් වරක් ලෙස පරිවර්තනය කළ යුතු අතර එයට අනුව මාස හයේ හෝ මාස දොළහේ වාරික විකල්පයක් තෝරාගෙන තමන්ගේ කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඞ්පත මගින් මෙම ගෙවීම් කළ යුතුවේ. රක්ෂණ ඔප්පුවේ ගෙවීම් පැහැර හැරී ගොස් තිබෙන අවස්ථාවක හිඟ රක්ෂණ වාරික මුදල් ගෙවීම සඳහාද මෙම පහසු ගෙවීමේ සැලසුම් විකල්පය භාවිතා කළ හැකිවේ.











