සැමියාගේ මරණයෙන් පසු එතරම් දුරට ගමන් බිමන් යෑමට එතරම් කැමැත්තක් නොදැක්වූ සකුන්තලා ඉඳහිටලා හෝ ගියේ සිය සහෝදරියකගේ නිවෙසට පමණි. ඇගේ එක් සහෝදරියක් ඇය සිටි ගමට ආසන්න ගමේ පදිංචිව සිටි අතර අනෙක් සහෝදරිය පදිංචිව සිටියේ අනුරපුර ප්‍රදේශයේය. සැමියා මියගොස් වසර 20ක් ගෙවී ගියද සකුන්තලා රත්නපුරයේ සිටි සහෝදරියගේ නිවෙසට ගොස් තිබුණෙ දෙවතාවකි. ඔය අතරේ දිනක් හිමිදිරියේම සකුන්තලා රත්නපුරේ සිටින සිය සහෝදරිය බලන්නට යන්නට සිතුණේ අහම්බෙන් මෙන් වුවද ඇයට ඒ සඳහා කවුරුන් හෝ ආරාධනාවක් කළා වැනි හැඟීමක් තිබුණේය. කෙසේ හෝ සකුන්තලා රත්නපුරය බලා පිටත්ව ගියේ තනිවමය.
සහෝදරියගේ නිවෙසේ රාත්‍රිය ගතකළ සකුන්තලාට උදෑසන මිදුල අතුගාමින් සිටියදී එක්වරම මහ අමුත්තක් දැනුණේය. ඇය ඉදල පසෙකින් තබා ගුරුපාර දිගේ ඔහේ ඇවිදගෙන ගියාය. වැඩිදුරක් යන්නට පෙර පාරේ ගමන් කළ යතුරුපැදියක රෝදයකට හසුවූ යමක් විසිවී ඇවිත් සකුන්තලාගේ පාදයේ ගැටුණේය. එහෙත් එක්වරම එය කුමක්දැයි නොසිතූ සකුන්තලා දිගටම ඇවිදගෙන ගියේ එම සිදුවීම අහඹුවක් යැයි සිතමිනි. මඳ දුරක් ගොස් ආපසු හැරී බැලූ සකුන්තලාට දැකගන්නට ලැබුණේ තමන්ට පිටුපසින් ආ අයෙක් බිම තිබූ යමක් අහුලාගෙන කලබලයෙන් ආපසු හැරී යන ආකාරයය. එවිට ඇයට තම පාදයේ ගැටුණු නිල් පැහැයෙන් තිබූ දේ පිළිබඳවත්, තමා සිටින්නේ රත්නපුරයේ බවත් සිහියට නැඟුණේය. ඇතැම් විට එය මැණික් වන්නට බැරි නැතැයි ඇයට සිතුණේ එවෙලේය. සකුන්තලා මඳක් නැවතී කල්පනා කරමින් හිඳ ආපසු හැරුණේ යන්නට තැනක් ගැන නිච්චියක් හෝ යන්නට සිතාගෙන පැමිණි ගමනක් නොවන නිසාය.
සකුන්තලාට මෙය පෙරද එවැනිම අත්දැකීම් කිහිපයක්ම මතකයට නැඟුණේය. එයින් එක් අවස්ථාවක් වූයේ ඇය දිනක් බස් රථයක යමින් සිටියදී යාබද අසුණේ තිබී අයිතිකරුවකු නොමැති බෑගයක් හමුවීමයි. එය දුටු විගස බියට පත්ව බැස ගත්තද ඇයට පසුව දැනගන්නට ලැබුණේ එහි අයිතිකරුවකු නැති විශාල මුදල් තිබූ බවකි. තවත් දිනක සකුන්තලා සිය මිතුරියක සමඟ පොළට ගොස් එමින් සිටියදී බස් රථයට නැගගත් ලොතරැයි වෙළෙන්දකු බලෙන්ම ඇඟේ ගැසූ ටිකට් පතක් මිලට නොගෙන ප්‍රතික්ෂේප කළ අයුරුත්, එම ටිකට් පත තමාට පිටුපසින් සිටි පුද්ගලයා මිලට ගත් බවත් පසුව එම ටිකට් පතට මුල් දිනුම ඇදුණු බවට රාවයක් පැතිර ගිය බවත් සකුන්තලාට මතකය. මෙයද එවැනිම අවස්ථාවක් බව ඇයට සිහිපත් වූයේ පසුවය.
එදින සහෝදරියගේ නිවෙසේ සිටි සකුන්තලා පසු දින සිය නිවෙස බලා පිටත්ව යන්නට නගරයට එද්දී බස් නැවැතුමේ සිටි කිහිපදෙනකුගෙ කතාබහක් කනවැකුණේය. එම කතාබහට අනුව ඇය තේරුම් ගත්තේ කාට හෝ පාරේ තිබී විශාල වටිනාකමක් සහිත මැණිකක් හමුවූ පුවතකි. රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් එලෙස හමුවී ඇති බවත් ඇයට එම කතාවෙන් අවබෝධ වූවාය.
නිවෙසට පැමිණි සකුන්තලා යළිත් දින කිහිපයක් සුපුරුදු පිරිදි කාලය ගත කළාය. ඔය අතරේ ඇයට පෙර මෙන් හිටි හැටියේම නගරයට යන්නට සිතුණාය. හේතුවක් නැතිව වුවද ඇය ලක ලැහැස්තිව නගරයට ගියේ හිතේ කලකිරීමටය. තමන්ගේ සිතට එලෙස එක්වරම ඇතිවන සිතුවිලි ගැන සකුන්තලාට තිබුණේ දෙගිඩියාවකි. එනිසාම ඇය මේ බව සිය සහෝදරියකට පවසා තිබුණේය. කෙසේ හෝ එදින නගරයට ගිය සකුන්තලා කෙළින්ම ගියේ ලොතරැයි කවුන්ටරයක් අසලටය. රුපියල් විස්සක් ලොතරැයි නියෝජිතයාට දුන් ඇය එක් ටිකට් පතක් කඩාගන්නට සූදානම් වෙද්දී එය ඉබේටම ගැලවී කවුන්ටරය තුළට වැටුණු අතර, සකුන්තලා ගන්නට සූදානම් වූ ටිකට් පත ඇයට ගන්නට හැකි වූයේ නැත.
“අනේ මිස් වෙන එකක් කඩාගන්න”
අලෙවිකරු කාරුණිකව කීවේය. සකුන්තලා ඊළඟට තිබූ ටිකට් පත අතට ගත්තේ ඒ අනුවය. ඒත් සමඟම එම ලොතරැයි අලෙවිකරුගෙන් ටිකට් පත් රැගෙන අලෙවි කරන ජංගම අලෙවිකරුවකු එතැනට ආවේ අදනම් එකයි ඉතුරු කියාගෙනය. සකුන්තලාට එම පුද්ගලයා අත ඉතිරිව තිබූ ටිකට් පත ගන්නටම සිතුණේය. ඇය දෙවරක් නොසිතා එය මිලට ගෙන ආපසු නිවෙසට ආවාය.
දින කිහිපයක් ගතවිය. ඔය අතරේ සකුන්තලාගේ සහෝදරිය නිවෙසට පැමිණියේ සකුන්තලා පවසා තිබූ ආකාරයට ඇයට විවිධ අවස්ථාවල දැනගෙන සහ සිතෙන සිතුවිලිවලට හේතුව සොයා ගන්නට හැකි ප්‍රසිද්ධ දේවාලයක් ගැන හෝඩුවාවක්ද රැගෙනය. ඒ අනුව එදිනම දෙදෙනා අදාළ දේවාලය සොයාගෙන ගියේය. කපු මහතා සකුන්තලා සමඟ කතාබස් කොට අනතුරුව ආරූඪව කතා කරන්නට පටන් ගත්තේය. කපු මහත්තයාගෙන් නිකුත් වෙන්නේ තම මියගිය සැමියාගේ කටහඬම බව වසර විස්සකට පසුවද ඇය හඳුනා ගත්තාය. මං මෙච්චර කාලයක් ඔයාගෙ පස්සෙන්ම ආවා.ඔයත් එක්ක තරහට නෙවෙයි. ඔයාට ආදරේට. ඔයා මට බැරිවෙලාවේ හැම දේම කළා. මං වෙනුවෙන් ජීවිතේ හොඳම කාලෙ කැප කළා. ඔයාගේ ආදරේ ඉල්ලගෙන පස්සෙන් කොයි තරම් අය ආවත් ඒ කාටවත් ළං නොවී ඔයා මං වෙනුවෙන්ම කැපවුණා. මාව බේරගන්න ඔයාගෙ හැමදේම නැතිකරගත්තා. ඉතින් මට ඕන වුණේ ඔයාට ජීවිත කාලයම හොඳින් ඉන්න පුළුවන් විදියේ දෙයක් ඔයාට දෙන්න. ඒ වෙනුවෙන් මං කිහිප සැරයක්ම ඔයා පස්සෙ ආවා. ඒත් මං ආයේ එහෙම එන්නෙ නෑ. මං මගේ අරමුණ ඉටුකර ගත්තා. දැන් ඔයාට අඩුවක් නැතිව ජීවත් වෙන්න පුළුවන්. ඒක අද ආපහු යනකොට ඔයාට දැනගන්න ලැබෙයි.
දිගු විස්තරයකින් පසු කපු මහතා ආරූඪයෙන් මිදුණේය. සකුන්තලා දුකින් බලා සිටියේය. අවසානයේ කපු මහතාට ගුරු පඬුරු පූජා කළ දෙදෙනා ආපසු එන්නට පිටත් වූවාය. අතරමගදී බස් රථයට මුදල් දෙන්නට සැරසෙද්දී පසුම්බියේ වූ ලොතරැයි පත් දෙක දුටු සකුන්තලාට කපු මහතා ආරූඪයෙන් කියූ කතාව සිහිපත් විය. වහ වහා බස් රථයෙන් බැස ලොතරැයි කවුන්ටරයකට ගිය ඇයට දැනගන්නට ලැබුණේ තමන් පෙරදා ජංගම ලොතරැයි අලෙවි නියෝජිතයාගෙන් ඉතිරිව තිබී ලබාගත් ටිකට්පතට කෝටි හතරක ජයමල්ලක් දිනා ඇති බවයි.
ප්‍රසිද්ධ දේවාලයක කපු මහතකු පැවැසූ සත්‍ය කතාවක් ඇසුරින්
කුමාර රත්නායක











