ජ්‍යොතිෂය ගැන දැනුම ඇති – නැති කවුරුත් ඒරාෂ්ටක අපල ගැන දක්වන්නෙ මහත් බියකි. එසේම සමහරුන් ඒරාෂ්ටක අපල ගැන සිතන්නේ ජීවිතය බිල්ලට ගන්නට එන රාක්‍ෂයන් ගැන සිතනා ආකාරයටය. එහෙත් එය එතරම්ම බිය විය යුතු තත්ත්වයක් නොවන බව ඉතා පැහැදිලිය. අවශ්‍ය වන්නේ ඒරාෂ්ටක ගැන නිසි අවබෝධයක් ලබාගෙන කටයුතු කිරීමය. ඒරාෂ්ටක යනු ශනිගේ ගමන මූලික කරගෙන ඇති වන තත්ත්වයකි. එය ජන්මියාගෙන් ජන්මියාට වෙනස් වෙයි. එසේම ඒ ඒ ජන්මියාට ඒරාෂ්ටකයක ප්‍රතිඵල අත්විඳින්නට වෙන්නේද එකිනෙකට වෙනස් ආකාරයටය. අප පසුගිය සතියේත් මේ සම්බන්ධව පැහැදිලි කළ අතර, ලග්න ඒරාෂ්ටකයක් යනු ලග්න භාවයෙන් දෙවැන්නේත්, දොළොස්වැන්නේත්, සෙනසුරු ගමන් කරන වසර 7 1/2ක කාලයයි. ලග්න ඒරාෂ්ටකය යනු ලග්නයෙන් 8 වැන්නේ සෙනසුරු ගෝචර වීමය. උපතේදී සඳු සිටින භාවයේ ශනි ගෝචරය ජන්ම ඒරාෂ්ටකයකි. සඳු සිටින භාවයෙන් 8 වැන්නේ ශනි ගෝචර වීම ජන්ම අෂ්ටම ඒරාෂ්ටකයකි.
යම් කෙනකුට ඒරාෂ්ටකයක් ලැබූ විට මෙම ඒරාෂ්ටක කාලය තුළ ගෘහ ජීවිතය සම්බන්ධ ගැටලු ඇති වීම හදිසි අනතුරු සහ විපත් අධ්‍යාපනයේ බිඳවැටීම් නිකරුණේ නින්දා, අපහාස ලැබීම, නොසිතූ ලෙඩ රෝග වැඩි වී චිත්ත පීඩා, ආර්ථිකයේ කඩාවැටීම් ආදිය ඇතිවිය හැකිය.
එහෙත් ඒරාෂ්ටක කාලය තුළ ධනය ලැබීම, විභාගවලින් ජය ලැබීම, ගේ-දොර ඉදිකර ගැනීමට වාසනාව ලැබීම, යාන-වාහන ලැබීම, මංගල කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව උදාවීම ආදී බොහෝ කටයුතු සාර්ථක වීමද සිදුවිය හැකිය. මෙයට හේතු වන කාරණා රාශියකි. ඒ අතර සෙනසුරුගේ බල, දුබල වීම, සඳුගේ බල දුබල බව, ඒරාෂ්ටක කාලවලදී ගතකරන මහ දශා, අතුරු දශාවල ස්වභාවය, අනෙකුත් ග්‍රහයන්ගේ ගෝචර ගමන ආදිය ප්‍රධාන වශයෙන් බලපානු ලබයි. එනිසා ඒරාෂ්ටක කියූ සැණින් කලබල වීම හෝ බියට පත්වීම සිදු නොවිය යුතු දෙයකි. එය සුබවේද, අසුබ වේද කළ යුත්තේ කුමක්ද, නොකළ යුත්තේ කුමක්ද යන්න ඉතා කල්පනාවෙන් තෝරා, බේරා ගැනීම වැදගත් වෙයි. ඒ සඳහා සහාය වීම ජ්‍යොතිෂවේදියාගේ වගකීමකි.
උදාහරණ ලෙස ජන්ම පත්‍රයක චන්ද්‍රයා වෘශ්චික රාශියේ 20 වැනි අංශකයේ තැන්පත්ව ඇති විට ජන්ම ඒරාෂ්ටක කාලය වන්නේ ශනි වෘශ්චික රාශියේ අංශක 5 සිට ධනු රාශියේ අංශක 5 දක්වා ගමන් කරන කාලපරිච්ඡේදය ඒරාෂ්ටක වෙයි. එසේම ඒරාෂ්ටකයක ප්‍රබල බව තීරණය කරගැනීමට නම් භාව පලයට පදනම්ව රාශි පලය ගළපාගත යුතු වෙයි. පිළිවෙළින් ශනි මේෂ, කටක, වෘශ්චික හා සිංහ යන රාශිවල දුර්වල වෙයි. ඒරාෂ්ටකය ඉහත රාශියකට සම්බන්ධ වුවහොත් එය තරමක් බලවත් ඒරාෂ්ටකයක් වෙයි. එවිට අයහපත් ප්‍රතිඵල ගෙනදෙනු ඇත. එසේම ඉහත සඳහන් කළ රාශියක චන්ද්‍රයා පිහිටි විටද ඒරාෂ්ටකය බලවත් වෙයි. රාහු – සඳු සමඟ යෝග වීම හෝ ලග්නය 12 වැන්න, 8 වැන්න, 2 වැන්න යන ස්ථානවල පිහිටීමද ඒරාෂ්ටක ප්‍රබලවීමට හේතු කාරණා වෙයි.
යම් ලෙසකට අමාවක දිනයක හෝ ඊට ආසන්න දිනයක ඉපදීම, එනම් රවි – චන්ද්‍ර යෝග වූ අයගේ ජන්ම ඒරාෂ්ටක හා ජන්ම අෂ්ටම ඒරාෂ්ටකයන් වඩාත් අයහපත් වෙයි. මෙය මේෂ හා වෘශ්චික ලග්න හිමියන්ට ප්‍රබල යෝගයක් වුවත්, ආමත්‍ය යෝගය සහ ධර්ම කර්මාධිපති යෝගය සහිතව ඒරාෂ්ටකය ලැබූ විට කරදර, බාධා අධික වෙයි.
කෙසේ නමුත් ඒරාෂ්ටකය ගැන බොහෝ දුරට ලියැවී ඇත්තේ අයහපත් ප්‍රතිඵලය. එය සෑම ජ්‍යොතිෂ ක්‍රමයකටම අනුව සාමාන්‍ය දෙයකි. එහෙත්, සෑම ඒරාෂ්ටක කාලයකම යහපත සිදුවන ග්‍රහ චාරයන් ඇත. එම කාල සීමාවන් ඉතා සූක්‍ෂ්මව සොයාගත යුතුය. එසේ සොයාගෙන අසුබ පල දෙන කාල සීමා කල්පනාවෙන් පසුකර යෑමත්, සුබපල ලබාගත හැකි සීමාවන්වලදී එම පල ලබා ගන්නට හැකි ක්‍රියාවන්ගේ යෙදීමත් කල්පනාවෙන් කළයුතුය. අපගේ ජීවිතයේ බොහෝ කාලයක් ඒරාෂ්ටක යෙදෙනමුත්, මරණය සිදුවන්නේ එක්වරකි. එනිසා නරකයි කියන කාලවල හොඳ ප්‍රතිඵල හඹා යෑම ඔබ සතු කාරියකි. එය ඔබගේ දැනුමෙන්, නුවණින් තේරුම් ගෙන වර්ෂාවෙන් බේරෙන්නට කුඩයක් ගෙන යන්නාක් මෙන් ජ්‍යොතිෂයේ පිහිටෙන් ඒරාෂ්ටකයට වත්පිළිවෙත් සකසාගෙන ඉන් බේරීමට ඔබට හැකියාව තිබේ. අවශ්‍ය වන්නේ එයට ගැළපෙන ක්‍රමය සොයා ගැනීම පමණි.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්











