‘හාට්’ විශේෂාංගය හැඩකරලීම සඳහා කතාබහට එක්කර ගන්නා ‘තිරතරුව’ කවුදෝ යැයි සිතන මොහොතක, මතකයට පැමිණියේ, අනුෂා දමයන්තිවය. බොහෝ විට සොඳුරු සිනාවක් නිතර මුව රඳවාගත් නිහතමානී අනුෂා, ඕනෑම මොහොතක මඟතොටකදී තම මුහුණට හමුවන ප්‍රේක්‍ෂකයන් හට ‘හලෝ’ කීවේ ඉතාම මිත්‍රශීලී ලෙසය. මාධ්‍යයකින් ඇමැතුමක් පැමිණි විට බොරුවට ‘මම හරි බිසී’ යැයි කවදාවත් නොකියන අනුෂා ‘හාට්’ වෙනුවෙන්ද පිළිසඳරට එක්වූයේ ඉතාම අවංක වූ සතුටකිනි.
කොහොමද ඔබේ කලාකටයුතු ගැන අලුත් ආරංචි එහෙම?
මම රඟපෑ චිත්‍රපට 7ක් තිරගත වීමට නියමිතව තිබෙනවා. කොරෝනා උවදුර නිසා එහි සියලු වැඩකටයුතු අඩාළ වී තියෙන බව කියන්නේ හරිම කනගාටුවෙනුයි. මොනවා කරන්නද? මෙය මට විතරක් නෙවෙයි, බොහෝ කලාකරුවනට සිදුවූ ව්‍යසනයක්. විවිධ ආකාරයෙන් වෙනස් චරිත සමූහයක් මත මා රංගනයෙන් දායක වූ එම නිර්මාණ 7 ප්‍රේක්‍ෂකයන් හමුවට එනතුරු මම බලා සිටිනවා. ඒ අතරම බර්ට්‍රම් නිහාල්ගේ තිරපිටපතකට අනුව රොෂාන් වීරසිංහ අධ්‍යක්‍ෂණය කළ මම රංගනයෙන් එක්වූ ‘දූවිලි’ ටෙලිනාට්‍යය ළඟකදී විකාශනය වීමට නියමිතව තිබෙනවා.
‘දූවිලි’ ටෙලිනාට්‍ය ගැන ඔබට විශේෂ යමක් කියන්න තියෙනවා වගේ පෙනෙන්නේ?
ඔව්… සත්තකින් ‘දූවිලි’ කියන්නේ වෙනස්ම නිර්මාණයක්. මම එහි කරන චරිත නිරූපණයද ඉතාම සංකීර්ණයි.
වංචනික විවාහයකට මැදිවන තරුණ කාන්තාවක් තම සැමියා සහ තරුණ දියණිය සමඟ ගෙවන පීඩාකාරී ජීවිත රටාව ගැන එහි අපූරුවට කියැවෙනවා.
එය බර්ට්‍රම් නිහාල්ගේ පිටපතක් නිසාද ඔබ එයට එක්වූයේ?
බර්ට්‍රම් නිහාල් කියන්නේ ප්‍රවීණ නිර්මාණකරුවෙක්. ඔහුගේ අතින් ලියැවුණු ඒ ගුප්ත සංකීර්ණ කතාපුවතට ඇත්තෙන්ම මම එකපයින්ම කැමැත්ත පළකළා.
‘දූවිලි’ ගැන තව ටිකක් එළිදරව් කරනවා නම්?
නැහැ… මම හිතන්නේ පැවසූ විස්තර හොඳටම සෑහෙනවා. ‘දූවිලි’ ගැන තව කතාබහ කිරීම එහි කතා පුවතෙහි අපූරු කුතුහලයකට හානි විය හැකියි. නුදුරු දිනෙකදී එය රූපවාහිනි තිරයක් ඔස්සේ විකාශනය වේවි.
ඔබ ටෙලිනාට්‍ය තෝරා ගැනීමක යෙදෙනවා කියන්නේ ඇත්තද?
ඔව්… එය සත්‍යයක්. මම මා වෙත එන හැම ටෙලිනාට්‍යයක්ම බාර ගන්නේ නැහැ. ‘දූවිලි’ වැනි ගුණාත්මක තිරපිටපතක් මා වෙත ආවොත් පමණයි ටෙලිනාට්‍ය බාර ගන්නේ.
ප්‍රවීණ සිනමාකරුවකු යටතේ දක්‍ෂ චරිතාංග නිළියක ලෙස රංගනයෙහි යෙදෙන්නට ඔබ පෙරුම්පුරනවලු?
මෙහෙමයි. සිනමා නිළියක ලෙස මම බොහෝ දැවැන්තයන් සමඟ රංගනයෙහි යෙදුණා. එය මා ලද භාග්‍යයක් ලෙස මම සලකනවා. ඒ වගේම ‘අනුෂා දමයන්ති’ කියන රංගවේදිනිය තුළ කොහේදෝ කොනක සැඟව සිටින දක්‍ෂ චරිතාංග නිළියව එළියට ඇද දමන ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂවරයකු යටතෙහි චරිත නිරූපණයක යෙදෙන්න මම හරිම ආසාවෙන් බලා සිටිනවා. නිළියක ලෙස කිසිවකු යමක් මගෙන් උකහා ගත්තා නම්, ඒ ගත්තේ තවමත් සියයට විස්සක ප්‍රමාණයක් පමණයි. සැඟවුණු අර සියයට අසූව හඳුනාගෙන යම් නිර්මාණකරුවකු මාව වෙනස් කරන්න උත්සාහ කරනවා නම්, ඒ වෙනස තුළ මගේ අභ්‍යන්තරයෙහි නිදා සිටින ගුණාත්මක රංගන ශිල්පිනියව අවදි කරන්න උත්සාහ ගන්නව නම්, මම හරිම කැමැතියි. හැම රංගවේදිනියක්ම උසස් චරිත රඟපෑමේ පිපාසයෙන් පෙළෙනවා. මමද එහෙමයි.., එක් තැනකට හෝ එක් රාමුවකට කොටුව සිටින්නට මම අකැමැතියි. අන්න ඒ නිසා මාව හඳුනාගත් අයකු මට ආරාධනා කරන තුරු මම පෙරුම්පුරා බලා සිටිනවා.
නිළියක වීම ගැන ඔබ යම් තෘප්තියකට පත්වෙනවද?
ඔව්… ජනතා ආදරය ආකර්ෂණය දිනාගත හැකි මෙම වෘත්තිය තුළට පයතබා ගන්නට හැකිවීම ගැන මම හරිම තෘප්තිමත්.
දේශපාලනයට පැමිණීම ගැන ඔබ යම් කලකිරීමට පත්ව සිටිනවද?
කිසිසේත්ම නැහැ, එහෙම ප්‍රශ්නයක් මගෙන් ඔබ අහපු එක ගැනත් මම කනගාටු වෙනවා. ඒ මොකද..? ජනතාව මට ආදරය කරන තරම, කොයි තරම්ද කියන එක මම හරියටම දැකගත්තේ දේශපාලන වේදිකාව තුළදී තමයි. අනෙක හොඳ දේශපාලන දැක්මක් තියෙන කණ්ඩායමක් එක්ක රටට, ජනතාවට සේවය කරන්න මම හරිම කැමැත්තෙන් සිටියා. ගෝඨාභය සහ මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ එකමුතුව මාව එම හැඟීම තුළ තවදුරටත් දිරිමත් කළාය කිව්වොත් හරි.
‘නර්තන රැජන’ යන නාමය සිංහල සිනමාව තුළ ඔබට පටබැඳුණා?
ඔව්… මම එයට හරිම කැමැතියි. මම නර්තන කලාව හැදෑරූ අයෙක් නෙවෙයි. නර්තනය මට ලැබුණේ සරස්වතී අම්මගේ අනුහස තුළිනුයි. මම බුදුන් අදහනවා. බුදුන්ට ගරු කරනවා. ඒ වගේම මම සරස්වතී අම්මාටත් නිතරම පුද පූජා පවත්වනවා. අවුරුදු 10 දැරියක වියෙහි සිටම මම සරස්වතී අම්මාට කරන සත්කාර නිසාත් දක්වන ගරුසරු නිසාත් ඈ මට කලා හැකියාවන් තිළිණ කළ බව මම හැමදාමත් අදහන කාරණයක් මෙහිදී සඳහන් කරනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











