දවස 2024 අගෝස්තු 20 වැනිදා. මේක රැස්වීමක්. රැස්වීමක් කිව්වට දේශපාලන රැස්වීමක්. දේශපාලන රැස්වීමේ කතා කර කර ඉන්නවා එවක විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් වෙච්ච අනුර කුමාර දිසානායක කියන මහත්තයා. එතුමා අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක්.Sri Lanka Latest News
‘බෙල්ලේ තිබුණු චේන් එක කෝ?’
‘මංගල දවසේ දැම්ම මුද්ද කෝ?’
‘පොඩි එකාගේ බෙල්ලේ බැඳපු පංචායුධය කෝ?’
‘අතේ තිබුණු වළල්ල කෝ?’
‘ඒවා කෝ?’
‘ඒවා උකස් තියලා.’
‘කවුරු ගාවද?’
‘රත්තරන් බඩු කඩේ.’
එතුමා එහෙම කියනවා.
ඉතින් එතුමා එදා ඒ කියපු කතාව අපි නිකමට හිතුවා අදට ගළපගන්න. දැන් අද එතුමා ජනාධිපති. අද ලංකාවේ තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙන්න එපායැ. අද ලංකාවේ මිනිස්සුන්ට මිල මුදල් එහෙම යහමින් තියෙනවනේ.
මෙන්න අලුත් වාර්තාව. වාණිජ බැංකුවල ස්වර්ණාභරණ උකසට තබා 2024 වර්ෂයේදී ලබාගෙන තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 66,000ක්. මේ වර්ෂයේ මාර්තු වෙනකොට රුපියල් කෝටි 1,01,100 දක්වා ඒක වැඩිවෙලා තියෙනවා. රටේ පවතින ආර්ථික උද්ධමනය නිසා මේක මෙහෙම කළා කියලා මහාචාර්ය වසන්ත අතුකෝරල මහත්තයා තවදුරටත් පැහැදිලි කරමින් කියනවා. රටේ නිවාසවලින් සියයට 60කට වඩා වැඩි ප්‍රමාණයක ස්වර්ණාභරණ කොහොමටවත්ම නැහැ. ඒගොල්ලන්ගේ රත්තරන් බඩු ඔක්කොම තියෙන්නේ උකස් තියලා. එහෙම තමයි එතුමන්ලා පැහැදිලි කරන්නේ. මේකට හේතුව ආර්ථික අර්බුදය කියලා එතුමන් පැහැදිලි කරනවා.
ඉතින් දැන් වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කරලා ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145ක්. ඒක පැහැදිලි කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහත්තයා. අර කතාව කියන්නේ ලංකාවේ එවක විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් වෙච්ච අනුර කුමාර දිසානායක මහත්තයා. දැන් එතුමා ජනාධිපති. දැන් එතුමා ජනාධිපති වුණාට පස්සේ තමයි මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මෙවැනි තත්ත්වයක් නිර්මාණය කරනවා කියලද එතුමා එදා කිව්වේ? නැත්නම් මේක ඉස්සරහට මෙහෙම වෙයි කියලද? නැත්නම් මේක වෙනස් කරනවා කියලද? මේක වෙනස් කළ යුතුයිද? මේක වෙනස් කරන්න පුළුවන්ද?
අපි විශ්වාස කරනවා ලෝකයම ආර්ථික අර්බුදයකට ගියාම ඒක අපේ රටටත් පොදුයි. ඒක කොයි ආණ්ඩු කාලෙටත් අදාළයි. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ආණ්ඩු කරනකොට ගෝඨාභයට මුහුණ දෙන්න සිද්ධ වුණා ඉතාම බරපතළ අර්බුදයකට. ඒ තමයි කොවිඩ් කියන වසංගතය. මේ කොවිඩ් වසංගතයෙන් මිදෙන්න බේරෙන්න කාටවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. කොවිඩ්වලින් හැම රටකම ආර්ථිකය කඩාගෙන වැටුණා. සෞඛ්‍ය ඇතුළු සියලු අංශ කඩාගෙන වැටුණා. එහෙම කඩාගෙන වැටෙද්දී ඒ තත්ත්වය අපිටත් එහෙමම බලපාන බව අපිට අමතක කරන්න බැහැ. හැබැයි එවක හිටපු විපක්ෂයේ අය ඒක අමතක කෙරුවා.
පාස්කු ප්‍රහාරය එල්ල වෙනවත් එක්කම ලංකාවට සංචාරකයෝ එන එක නැතිවෙලා ගියා. සංචාරකයන්ගෙන් යැපෙන ආර්ථිකයක් තිබුණු අපිට ඒක දරාගන්න බැරුව ගිහිල්ලා ආර්ථිකය කඩාගෙන වැටුණා. හැබැයි අපි මේ වෙලාවේ වගේම ඒ වෙලාවෙත් හිතුවා නම් මෙහෙම තමයි මේ තත්ත්වය, ලෝකයේ මෙහෙම වෙනවා, ලෝකයේ හැම රටකටම මෙවැනි අර්බුද එනවා, අර්බුද කාලවලදී ඉවසන්න සිද්ධ වෙනවා, දරාගන්න සිද්ධ වෙනවා, ඉවසගෙන දරාගෙන අල්ලගෙන ඉන්න සිද්ධ වෙනවා කියලා… දැන් අපිට මෙහෙම කියන්න සිද්ධ වෙන්නේ නැහැ.
ඕනේ නම් අපිට මෙහෙම කියන්නත් පුළුවන්, ගෙවල්වල රන් බඩු නැති එක හොඳයි, හොරු බිහි වෙන්නේ නැහැ. දැන් ලංකාවේ තියෙන ගෙවල්වලින් සියයට 60කට හොරුන්ට පැනලා වැඩක් නැහැ. මොකද ඒ ගෙවල්වල රත්තරන් බඩු මුකුත් නැහැ. පැන්නා කියලා ගන්න දෙයක් නැහැ. ඒවා ඔක්කොම තියෙන්නේ කොහේ හරි රත්තරන් බඩු කඩවල. මේකට හේතුව තමයි උද්ධමනය ඉහළ යාම. ඒ වගේම රත්තරන් මිල ඉහළ යාම. ඒත් එක්කම මිනිස්සුන්ට රත්තරන් බඩුව හදාගත්ත මිලට වඩා විශාල මුදලක් දැන් උකස් තිබ්බත් ගන්න පුළුවන්. ඒ නිසා සමහර මිනිස්සු මේ රත්තරන් බඩු එහෙම අතහැරලා දානවා. ඒ වගේම ස්වර්ණාභරණ කොල්ලකෑම කියන දේ ඉතාම දරුණු විදිහට ලංකාවේ දැන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පාරේ යද්දී මාලයක් කඩා ගත්තා, පාරේ යද්දී වෙනත් දෙයක් කඩා ගත්තොත්, නැත්නම් ස්වර්ණාභරණ ටිකක් උස්සගෙන ගියොත් ඒක විකුණලා බිස්නස් එක හදාගන්න එක දැන් හරි ලේසියි. පහසු වැඩක් බවට පත්වෙලා තියෙන්නේ. අපි කල්පනා කරන්න ඕනේ අර එදා කියපුවා මෙදා නැත්නම් ඒක හොඳයි.
අපි දන්නවා ලංකාවේ කලින් හිටපු දේශපාලකයෝ හොඳ අය නෙවෙයි. ඒගොල්ලන්ගේ ජඩ වැඩ, හොර වැඩ, තක්කඩි වැඩ ඕනෙ තරම් තිබුණා. එවැනිම තක්කඩි වැඩ කරන්න නම් ඊළඟ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ ඒකෙන් වැඩක් නැහැ. ඉතින් 2024 තිබුණු තත්ත්වයම නම් අදත් තියෙන්නේ, අපිට ඒ ගැන සතුටු වෙන්න උදම් අනන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ ගැන අපිට සාකච්ඡා කරන්න, ප්‍රශ්න කරන්න සහ තර්ක විතර්ක කරන්න සිද්ධ වෙනවා. මේ වගේ දේවල් ලියන්නත් සිද්ධ වෙනවා. තරහා වෙන්න එපා. 2024 ඔබතුමා කිව්ව එක අපිට හම්බවුණා. ඉතින් අපි 2024 ඔබතුමා කියපු එකයි අද තියෙන තත්ත්වයයි ඒක වගේම දැක්ක හින්දා මෙහෙම එකක් ලිව්වා.

ජීවන පහන් තිළිණ











