තම දක්‍ෂතාවය උපතින්ම ගෙන ඒමට ඔහුටද වාසනාව හිමිවිය. සිනමාවේ සුවිශේෂී චරිත සඳහා ජීවයක් ලබාදුන් සුවිශේෂී සම්මානලාභී ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි දිනෙත් ද සිල්වා කියන්නේ. එවැනි දක්‍ෂතාවක් පෙන්නපු දිනෙත් පසුගිය කාලය පුරා පුංචි තිරයේ ආගන්තුකයෙක් ලෙසට තමයි නිසොල්මනව කටයුතු කළේ. එය ගැන කතා කිරීමට විශේෂ ඉඩකඩක් වෙන්කරගෙන ඔහුට කතා කළේ අපි මේ විදියට.
දිනෙත් මේ දිනවල සිනමා ශාලාවල සැරිසරනවා නේද?
ඔව්. අපේ ‘ෂෙලීනා’ චිත්‍රපටයේ කලා ශිල්පීන් සමඟ සිනමා ශාලා පරීක්‍ෂා කරගෙන යනවා. ආදරණීය රසික රසිකාවියන්ගෙන් අදහස් හුවමාරු කරගන්නවා.
ඔබේ ආදරණීය ප්‍රේක්‍ෂකයන් මොනවගේ අදහස්ද දක්වන්නේ?
ප්‍රේක්‍ෂකයන් චිත්‍රපට ශාලාවට දැන්ම එයිද කියන සැකයක් අප තුළත් තිබුණා. ඔවුන්ට කාලෙකට පස්සේ වෙනස්ම විදිහේ රසවින්දනයක් ‘ෂෙලීනා’ තුළින් ලැබුණු බවත්, ලංකාවේ මෙවැනි අබිරහස් මරණ චිත්‍රපට නිර්මාණය වීම අඩු නිසා ඔවුන්ට වෙනස්ම අත්දැකීමක් ලැබුණු බවත්, ඒ වගේම ලංකාවේ සුවිශේෂී චිත්‍රපට කිහිපයක් ඉදිරියේදී දැකගන්නට ලැබෙන බවත් තිරගත වෙනකම් මගබලාගෙන ඉන්න බවයි ඔවුන් පැවැසුවේ.
පසුගිය දින පුරා ඔබ පුංචි තිරයට ආගන්තුකයෙක් වුණු බව ඔබ, අප දන්න කරුණක්. එවැනි ආංගික අතීතයෙන් කටයුතු කිරීම පහසු දෙයක් නෙවෙයි නේද?
‘සංසාරාරණ්‍යය අසබඩ’ ටෙලිනාට්‍යයේ ආගන්තුකයා චරිතය මගේ රංගන දිවියේ සුවිශේෂී කඩඉමක් ලෙසට මුලින්ම සඳහන් කරන්න මම කැමැතියි. ඒ වගේම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ සංජය නිර්මාල් සහ මම එක්ක රංගනයේ දායක වුණු සියලුම ශිල්පීන්ගෙන් ආගන්තුකයා උසස් ආංගික රංගනයකට ගෙන ඒමට විශාල ශක්තියක් ලැබුණා.
රිදී තිරයේ ජවසම්පන්න හඬක් අවදි කළ ඔබ එවැනි මනෝභාවයකින් රංගනයක නියැළුණේ කොහොමද?
ඇත්තටම කතාව පුරාවටම වචනයක් කතා නොකරන නිසා මම එහි සිදුවීම් මාලාවම මනසින් දැකීමට උත්සාහ කළා. එහි විශේෂත්වය වන්නේ ආත්ම දෙකක හැඟීම් මේ ආගන්තුකයා චරිතය තුළ ගැබ්වෙලා තිබුණා. ඉතින් පෙර සූදානමක් ඇතිව තමයි මට කටයුතු කිරීමට සිදුවුණේ. මම ඒ නවකතාව වගේම ටෙලිනාට්‍ය පිටපතත් හොඳට අධ්‍යයනය කළා. මේ ආත්මේ සහ ගිය ආත්මයේ දෙයාකාරම සම්බන්ධ කරගෙන එකම මොහොතක සම්මිශ්‍රණ රංගනයක තමයි හිටියේ. මේ ආගන්තුකයා චරිතය බැරෑරුම් බවක් මට දැනුණා. එනිසා නවකතාවටත්, පිටපතටත් හානියක් නොවන විදියට උසස් රංගනයක නියැළීමට මම නිරන්තරයෙන්ම උත්සාහ කරගත්තා.
මෙයට පෙර නිර්මාණ කිහිපයකම ඔබත් සමඟ උදාරි සම්බන්ධ වුණු බව අප දැක්කා. එහෙත් ‘සංසාරාරණ්‍ය අසබඩ’ තුළ ඔබ දෙදෙනාගේ වෙනස්ම රංග වින්‍යාසයක් දැකගැනීමට හැකිවුණා. එය ගැන කතා කළොත්?
උදාරි සමග මම මෙයට පෙර ටෙලිනාට්‍යයකත්, චිත්‍රපට කිහිපයකත් පෙම්වතුන් ලෙස රඟපෑමට හැකිවුණා. අනෙකුත් නිර්මාණවල වගේම මේ චරිත දෙක තුළ හොඳ අවබෝධයක් තිබුණා. අපි දෙදෙනා අතර තිබුණු සහෝදරත්වයත්, අවබෝධයත් නිසා රංගනයට වැදගත් වුණා. මමයි, උදාරි හැම මොහොතකම කතා කළේ අපේ හැඟීම් ප්‍රකාශ කරන්නේ කොහොමද, ආදරය ප්‍රකාශ කරන්නේ කොහොමද, ප්‍රේක්‍ෂකයාට මෙය දනවන්නේ කොහොමද කියලා. අපි මහන්සිවෙලා එක වතාවෙන්ම රංගනය කළා. උදාරිගේ අති විශිෂ්ට රංගනයත් නාට්‍ය පුරාම මම දැක්කා. මගේ චරිතයේ සාර්ථකත්වය පිටුපස ඇයත් ඉන්නවා.
එදා ඉඳලා ඔබේ ආශාවක් තිබෙනවා නේ දුලානි අනුරාධා සමග රංගනයක පෙම් බැඳීමට?
ඇය දක්‍ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලේ සුවිශේෂී නිර්මාණ කිහිපයක දැකගන්නට ලැබුණා. ඇය දක්‍ෂ රංගන ශිල්පිනියක් වගේම දක්‍ෂ නර්තන ශිල්පිනියක්. ඇය සමඟ නිර්මාණයකට සම්බන්ධ වීමට මගේ හිතෙත් ආශාවක් තිබෙනවා.
වසන්ත විතාරණගේ











