පසුගිය දින කිහිපය තුළ උතුරු ඉන්දීය සිනමාව ගිනිතැබූ උණුසුම්ම පුවත එය විය.28 හැවිරිදි තරුණ රියාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන අධිකාරිය විසිනි. පසුගිය ජුනි මස තම නිවෙසේදීම සියදිවි නසාගත් සුෂාන්ත් සිං රාජ්පුට් ඛේදවාචකයෙන් පසුව රියා චක්‍රබෝර්තිට නිවනක් නොවීය.
සුෂාන්ත්ගේ දෙණ ඉදිරියේ දැඩි සංතාපයකට පත්ව සිටි රියා ගැන ශෝකයට පත්ව සිටි රසිකයන් ඇගේ ට්වටර් ගිණුම හරහා දුක හිතෙන පණිවුඩ කෝටි ගණන් මුදාහැර තිබුණේ, රියා සිය පෙම්බරයාණන්ගේ මරණය හමුවේ දැඩි ශෝකයට පත්ව සිටිනු දැකීමෙන් ඔවුනගේ සිත්හි හටගත් ආත්මීය වූ ශෝකය නිසාය.
එහෙත්..,
ශෝකප්රාප්ත වූ ඒ හැඟීම සුණුවිසුණු වී ගියේ, සුෂාන්ත්ගේ මරණය සියදිවි නසාගැනීමකට වඩා කිසිවකුගේ පෙළඹීමක් මත සිදුවූ ගෙල වැළලා ගැනීමක් බවම සුෂාන්ත්ගේ පියා රහස් පොලිසිය හමුවේ කළ සැක සහිත පැමිණිල්ල නිසාය.
රියා සහ සුෂාන්ත් අතර පෙම් පළහිලව්ව ආරම්භ වූයේ 2019 වසරේ ගිම්හාන සමයේදීය. අලුත් විලාසිතාවට අනුව ඔවුන් දෙදෙනා ‘ලීව් ඉන් ටුගෙදර්’ පන්නයට එකට විසීම ආරම්භ කළේ ඊට නොබෝ කලකට පසුවය.
රියාගේ මටසිළුටු ප්‍රේමනීය ස්වරූපය ඉතා ඉක්මනින් වෙනසකට බඳුන් වෙමින් තිබූ වග සුෂාන්ත් තමා සමඟ පවසා සිටිය බව සුෂාන්ත්ගේ පියා පොලිසියට දුන් කටඋත්තරයෙහි සඳහන්ව තිබිණි.
මවුපියන් ඇතුළුව පවුලේ අය සමඟ කතාබහ කිරීමට හෝ ඇසුරු කිරීමට රියා ඉඩ නොදෙන බවත් නිතර මුදල් ඉල්ලා ඈ තමාට කරදර කරන බවත්, මුදල් නොදෙන විටෙක රියාගේ සහෝදරයා වූ ෂොයික් තමාට අඩන්තේට්ටම් කළ බවද සුෂාන්ත් තමා සමඟ පවසා තිබූ බව සුෂාන්ගේ පියා සඳහන්කර තිබිණි.
ඔහු කී සියල්ල තද මුසාවක් බව කියමින් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ රියා කියා සිටියේ, මානසික අව පීඩනයකින් පෙලුණු සුෂාන්ත් එම ආතතියෙන් ගොඩ ඒමට තමාගේ උපකාර ඉල්ලා සිටි ආකාරය ඉතාම අසරණ බවය.
‘නිවෙසේ අය තමාට නිතර දෙන දුරකතන ඇමැතුම් නිසා තමා දැඩි පීඩනයට පත්ව සිටින බවත්, තමාව හැර නොයන ලෙසත් සුෂාන්ත් තමා හමුවේ පින්සෙන්ඩු වූ බවත් රියා තවදුරටත් පොලිසියට පවසා සිටියේය.
‘ඔබ ඔහුව හැර ඔබේ නිවෙසට නැවැත පැමිණීමට හේතුව කුමක්දැයි…’
පොලිසිය අසන විට රියා කියා තිබුණේ,
සුෂාන්ත් සමඟ එකට විසීම බොහෝ අපහසු කාරියක් වූ බවකි.
නමුත්..,
හෙළිවී තිබෙන කරුණු කාරණාවන් අනුව නම් කියැවෙන්නේ, රියා සුෂාන්ත් සතුව තිබූ සියලු ධනය ඔහු වෙතින් සුරාගෙන එයට පසු නිවෙසින් එළියට පය තිබ්බාය කියලාය.
ඇත්ත නැත්ත ඇති සැටියෙන් දන්නේ හරියටම මියගිය සුෂාන්ත් එහෙමත් නැත්නම් රියාගේ හෘද සාක්ෂියය.
කෙසේ වුවද මෑත දිනක රියාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඕ තොමෝ පොලිසියේ විශේෂ අවසරයකින් පසුව ‘ස්වදේශ කටයුතු ඇමැතිට’ ඇමැතුමක් ගෙන කීයේ,
‘කරුණාකර… සුෂාන්ත්ගේ මරණය වෙනුවෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවැසි සහයෝගය දෙන්න,’ මේ මිනිස්සු ඔහුගේ මරණය හමුවේ මට දෙන වද හිංසා තවත් නම් ඉවසන්නට බැහැ.’යැයි කියාය.
එයට පසුව ස්වදේශීය කටයුතු අමාත්‍ය අමික්ෂාට තත්ත්පර කිහිපයක් අසන්නට ලැබී තිබුණේ රියා ඉකිගසා හඬන ආකාරයය.
මාධය මාෆියාව හමුවේ තමාව ඉතාම අසාධාරණ ලෙස නඩුවකට හසුකර තිබෙන වැරැදි නීතිමය ක්‍රියා ගැන ‘රියා චක්‍රබෝර්ති’ රූපවාහිනී කතිකාවක් හමුවේ සිය අදහස් දක්වා තිබුණේ මීට සති එකහමාරකට පමණ ඉහතදීය.
‘සුෂාන්ත් සිං රාජ්පුට්’ දැඩි ආතතිමය තත්ත්වයක් හමුවේ මත්ද්‍රව්‍යවලට ගොදුරුව සිටිය බවත්, එම ආතතියේ අවසානය සියදිවි නසාගැනීමේ පිළිවෙත නිසා ඔහු නිරායාසයෙන්ම එයට ගොදුරු බවත් එම කතිකාව හමුවේ රියා කියා සිටියාය.
‘සිදුවූයේ කුමක්දැයි’
යන්න තවමත් තීන්දුවකට පැමිණිය නොහැකිය.
රහස් පොලිසිය විසින් සොයාගත් තොරතුරු අනුව සුෂාන්ත් මත් සුවයට පොළඹවා තිබෙන්නේ රියා විසින්ය. සියදිවි නසාගැනීම සඳහා ඔහුට අවැසි මාවත පෙන්වා ඇත්තේ රියා විසින්ය. රියාගේ සොයුරු ෂොයික්ගේ සහායද ඇයට ඒ සඳහා නොමදව ලැබී ඇත.
තවදුරටත් හෙළි වූ කාරණා අතර, සුෂාන්ත්ගේ මරණය පසුපස කෝටි ගණනක මුදල් වංචාවක්ද සිදුව ඇත.
අවසානය කුමක් වේද?
කියන්නට දන්නේ නැත. ෂොයික්ට හෝ රියාට එල්ල වී තිබෙන චෝදනාවන්හි කරුණුවල සත්‍යය තවමත් අණාවරණය වී නැත.
එකක් පැහැදිලිය,
ඒ සුෂාන්ත්ගේ මරණය තුළ මහා ගුප්ත බවක් සැඟවී ඇති බවය.
ඒ ගුප්ත බව තුළ වන රාහස්යමය සළුපිළි නිරාවරණය වන්නේ කවදාද?
එතෙක් බලා සිටීමට සිදුවනු ඇත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











