ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති ඕෂධී අහම්බෙන් ලැබුණු චාන්ස් එකකට ‘සැඩ සුළං’ ටෙලියෙන් රංගන කලාවට අත්පොත තබනවා. ටෙලි තිරය තුළ ඕෂධී තරුවක් වන්නේ සුසිල නිෂ්පාදන හරහායි. ඒ, දේදුණු පාලම, සඳ දුරනම් සහ අසුරාවේශය වැනි ටෙලි නිර්මාණ හරහායි. හිටි අඩියේම රංගනයෙන් මඳකට මිදී ඈතට යන ඈ, දේශපාලනයට මැදිවෙනවා. ඒ වගේම නොසිතූ විදියට ඈ දේශපාලනයෙන්ද සමුගන්නවා. හැම දේකින්ම ඕෂධී ඒ විදියට ඈත් වුණේ ඇයි? සාමාන්‍ය ජීවිතය නිදහස් යැයි ඇයට හිතුණු නිසාද? මේ දවස්වල ඈ මොනවද කරන්නේ? ඔන්න ‘හාට්’ එකේ අපි තොරතුරු ටිකක් දැනගන්න ඕෂධීව හොයාගෙන ආවා.Sri Lanka Latest News
ඉතින් ඕෂධී කොහොමද ඔබේ සුවදුක්?
වරදක් නැහැ. සුවෙන් සතුටින් ඉන්නවා. සතුටුයි ඇත්තටම මාධ්‍යයට අපව තවමත් මතක තියෙනවට. මොකද කියනවා නම් හිස් දේවල් සහ ඵලකට නැති බොරු ගොසිප් උළුප්පා දක්වන සෝෂල් මීඩියාවලට වැඩිය ‘මව්රට’ වැනි අනන්‍යතාවක් තියෙන පුවත්පතක අපි ගැන සටහනක් තියන්න ලැබෙන එක ගෞරවයක්.
මොනවද අලුත් තොරතුරු කියලා අහනවා නම්?
කලා තොරතුරු ගැන නම් කියන්න දෙයක් හෝ යමක් නැහැ. අලුත් ටෙලියක රඟපාන්න කාලෙකින් නොලැබුණු නිසා රූගත කිරීමකට සහභාගි වුණෙත් නැහැ.
රංගනය ඒ තරමට එපා වුණාද ඕෂධී?
රංගනය එපා වුණේ නැහැ. එපා වෙන්නෙත් නැහැ. වැඩේ කියන්නේ දැන් මගේ කාලයෙන් වැඩි කොටසක් වැය වෙන්නේ මගේ දරු පවුල සහ ව්‍යාපාර කටයුතු වෙනුවෙනුයි.
බිස්නස් බොහොම සරුයි ඒ කියන්නේ?
මෙහෙමයි. මගේ සැලෝන් එකට එන අයට අවශ්‍ය ටී්‍රට්මන්ට් එක දෙන්නේ මගේ මූලිකත්වයෙන්මයි. මොකද ටී්‍රට්මන්ට් එක හොඳට තිබුණොත් විතරයි පළමු වතාවට ආව කස්ටමර් ආයෙමත් එන්නේ. ඒ නිසා සැලෝන් එකේ මම ඉන්නම ඕනෙ නිසා රංගනයට කාලය දීම ටිකක් අපහසුයි.

සැලෝන් එකට කට්ටිය එන්නේ ඔබ ඕෂධී හේවාමද්දුම කියන නිළිය නිසාද?
මුල් දවස්වල ඒක එහෙමත් වුණා. හැබැයි පස්සෙන් පහුවට ඒ අය ආවේ මගේ සේවා දායකත්වය හොඳ තැනක තිබුණු නිසයි.
කොහොමත් ඕෂධී හේවාමද්දුම කියන සුන්දර රංගවේදිනියවම ප්‍රේක්ෂකයන්ට අහිමි වුණා?
රංගන ක්ෂේත්‍රයට ඇවිදින් අවුරුදු 22ක් ගතවුණා. ඒ කාලය ඇතුළත මම ඇතිවෙන්න රඟපෑවා. හැම දවසකම වගේ පුංචි තිරය හරහා ආලින්දයේ සිනමාවට ආවා. ප්‍රේක්ෂකයන් පිනවූවා. ඒ මදැයි ඉතින් කියලා තමයි මට හිතෙන්නේ.
ජනප්‍රියම ටෙලි නිළිය ලෙස ඔබ සම්මානත් ගත්තා?
ගත්තා නෙවෙයි ඒ සම්මානය මට ලැබුණා. මම විවාහ වුණේ වයස අවුරුදු 22දී. වෙඩින් එකට සති කිහිපයක් තියෙද්දි 2007 ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය ලෙස මට සුමති සම්මානය ලැබුණා.
එච්චර ඩිමාන්ඩ් එකක් තියෙද්දි රංගනයෙන් අයින් වෙන්න හිතුණේ විවාහය නිසාද?
නැහැ. මම විවාහයෙන් පසුවත් රංගනයෙහි යෙදුණා. හොඳ නිර්මාණ කළා. හැබැයි පුතා ඉපදුණාට පස්සේ රංගනය නිසා පුතා වෙනුවෙන් මෙම දියයුතු කාලය එයාට අහිමි කරන්න මට හිතුණේ නැහැ. ඒ නිසා හුඟක් නිර්මාණ එතැනදී රිජෙක්ට් වුණා.
අද ඒ ගැන පසුතැවෙනවද ඕෂධී?
කවදාවත්ම නැහැ. එයට හේතු දෙකක් තියෙනවා. එකක් මම මගේ පවුලට අංක එක දුන්නා. අනෙක මම නිළියක ලෙස ඉහළ තැනකට එන්න කවදාවත් හීන මැව්වේ නැහැ. රංගනයට ආවේ අහම්බෙන්.
එහෙම නම් ටෙලිනාට්‍ය මහ ගොඩක රංගනයට දායක වෙන්න හිතුවේ ඇයි?
නිවේදන කටයුතු කළා මුලින්ම. ඉන් පස්සේ ඇඩ්වර්ටීස්මන්ට්වලට ආරාධනා බොහොමයක් ආවා. ඒ ඇඩ්වර්ටීස්මන්ට් දැකලා සුසිල නිෂ්පාදන හරහා ආරාධනා ලැබුණා ‘දේදුණු පාලම’ ටෙලියට. එය විකාශය වෙන්නත් කලින් ඔවුන්ගේම නිෂ්පාදනවලට තව හවුල් වෙන්න වාසනාව ලැබුණා. හිතපු නැති විදියට දිගින් දිගටම තිරපිටපත් ලැබෙන්න ගත්තා. ඒ හැම එකක්ම හොඳ නිර්මාණ නිසා ඒවා භාරගත්තා. ඔන්න ඔහොම තමයි නිළිකම ඉබේම වෘත්තියක් වුණේ.
ඇතැම් පිරිස් හිතුවේ ඔබ ක්‍රියාකාරී දේශපාලනය නිසා රංගනයට සමුදුන්නා කියලා?
වැරැදි නිගමනයක්. මම ඉගෙන ගත්තෙත් බිස්නස් මැනේජ්මන්ට් පාඨමාලාවකට යන්න බලාගෙනයි. මගේ ආශාව බලාපොරොත්තුව වුණේ ව්‍යාපාරකරණයයි. අනෙක වෘත්තීය නිළියක් වුණා කිව්වත් ලංකාවේ කලාකාරියට රංගනයෙන් විතරක් ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවද? අද කාලේ කොහොමත් බැහැ. ඒ නිසා දේශපාලනයට යොමුවෙන්න කලින් මම ව්‍යාපාරවලට ආවා. රංගනයට වෙන් කරන්න කාලය නැති වුණේ ඒ නිසයි. දෙවැනියට දුව ලැබුණට පස්සේ කොහොමත් ටෙලිනාට්‍ය භාරගන්න හැකියාවක් තිබුණේ නැහැ. දේශපාලනය නිසා රංගනයට තිත තිබ්බා කියන කතාව සම්පූර්ණයෙන් වැරැදියි.
හොඳයි රංගනය පැත්තකින් තියමු. ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගත්තේ ඇයි?
කවුද කියන්නේ මම දේශපාලනයෙන් සමුගත්තා කියලා? මම කැමැතියි ක්‍රියාකාරී දේශපාලනයට. කවදාවත් මම එයින් සමුගන්නේ නැහැ. හැබැයි නැවත හරි කාලය එනතුරු මම කෙටි විරාමයක් ගත්තා. එය කිසිවිටෙකවත් සමුගැනීමක් නෙවෙයි.
හරි කාලය යනුවෙන් ඔබ අදහස් කරන්නේ?
මට හිතෙන හැටියට ලංකාවේ දේශපාලනය තවම හරියටම හරි කියන ට්‍රැක් එකට වැටිලා නැහැ. තවත් විදියකට කියනවා නම් ප්‍රතිපත්තිගරුකව මැදිහත් වෙන්න පුළුවන් දේශපාලනයක් මේ රටේ නැහැ.
ඔබ ඔය කියන හරි ලකුණ දෙන්න පුළුවන් ලංකාවේ දේශපාලන පක්ෂයක් නම්කරන්න පුළුවන්ද?
පාටක් හෝ පක්ෂයක් ගැන මෙතැන මම සඳහන් කරන්නේ නැහැ. මේ රටේ පාලනය භාරගන්න හැම පක්ෂයකම රට හොඳ තැනකට ගේන්න ඕනෑය කියන පිරිසක් ඉන්නවා. ඊටම හරියන්න ඒ සැලැස්ම අච්චාරු කරන පිරිසකුත් ඉන්නවා. අන්න ඒ නිසා මොන පක්ෂය බලයට ආවත් මේ රට ගොඩනගන්න පුළුවන් නිවැරැදි පසුබිමක් සකසන්න අමාරුයි.
ඔබ දේශපාලනයෙන් මදකට හෝ ඈත් වුණේ කලකිරීම් මැද නොවේද?
කලකිරීම් තිබුණේ නැහැ කියලා කියන්න බැහැ. විශේෂයෙන්ම කාන්තාවක් දේශපාලනයට ආවාම මඩ ගහන්න බලන් ඉන්න පිරිස වැඩියි.
ඔබටත් ඒ මඩ ප්‍රහාරයන්ට මුහුණ දෙන්න සිදුවුණාද?
මම මඩ ප්‍රහාරවලට ලක්විය යුතු චරිතයක් නෙවෙයි. ඕෂධී හේවාමද්දුම කියන්නේ පුද්ගලික ජීවිතය තුළ වාගෙම රංගන ජීවිතය තුළත් ඉතා වැදගත් හොඳ ප්‍රතිරූපයක් තිබුණු කාන්තාවක්. අන්න ඒ ප්‍රතිරූපය මැදයි මම දේශපාලනයට ආවේ. පරම්පරාගත පවුල් දේශපාලනය හෝ වෙනත් බලපුළුවන්කාරකමක් නැතිව පැහැදිලි ස්වාධීන ආරම්භයකිනුයි මම ආවේ. ඒත් කිසිම හේතුවක් නැතුව මගේ ගමනට හරස් කපන්න තරම් ඇතැමුන් කුහක වුණා.
එවක හිටපු විපක්ෂය ගැනද ඔබ කියන්නේ?
විපක්ෂයකින් ගහන එක හෝ හරස් කපන ක්‍රමවේදය කොහොමත් කොතැනත් වෙනවනේ. මම කියන්නේ පක්ෂය ඇතුළතින්ම මට ආ ප්‍රහාර ගැනයි. කිසිම හේතුවක් නැතුව ඔවුන් මට මඩ ගැහුවා. මගේ කකුලෙන් ඇද්දා. ඉදිරි ගමනට හරස් කැපුවා.
කුමක් මුල් කරගෙනද ඔවුන් එහෙම කළේ කියලා පැහැදිලි අදහසක් දෙන්න බැරිද?
හැම දේටම මුල මනාප ක්‍රමයයි. මනාප ක්‍රමය නිසා තමයි පක්ෂයක් ඇතුළතම බොහොමයක් දෙනාට හතුරෝ හැදෙන්නේ. අනේ ඇත්තටම ඔය මනාප ක්‍රමය නැතිවෙලා යනවා නම් ඒක ලොකු යහපතක්. මොකද මනාප ක්‍රමය කියන්නේ කිසිම වැඩකට නැති දෙයක්.
ආයෙමත් ඔබ ක්‍රියාකාරී දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවද?
අනිවාර්යයෙන්ම මම එනවා. හැබැයි දැන්මම නෙවෙයි. කොහොමත් විශේෂයෙන්ම මේ ඊට කාලය නෙවෙයි. ඒ වගේම මේ යන තත්ත්වය අනුව නම් එය කොහොමත් සිදුවන එකක් නැහැ.
මල්මි කෞෂල්‍යා











