ගාලු පුරවරයේ උපන් ඇයට පුංචි කාලයේදීම වේදිකා නිළියක් වීමට වරම් උදා විය. පසුකාලීනව වේදිකා නාට්‍ය හරහා ඇයට රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මානයට පාත්‍ර වීමට වාසනාව උදාවිය. මේ හැම ආභාසයක්ම ඇයට ලැබුණේ සිය පියාගෙන් බවයි දිනිති අපට පැවැසුවේ. ඉතින් ලෝකය වටේ කරක්ගහපු දිනිති වල්ගමගේ ඔන්න “මව්රට”ට ගොඩවුණා.
ඉතින් දිනිති අතීතය මතක් කළොත්?
“හාරකෝටිය” තමයි මගේ පළමු ටෙලි නාට්‍යය. මං බෑ කියද්දි චාමර අයියා තමයි මාව බලෙන් රඟපාන්න යොමු කළේ. ඉතින් ඔහොම නිර්මාණ කිහිපයක වැඩ කරලා පසුව ගිහාන් ප්‍රනාන්දු අයියාගේ දැන හැඳුනුම්කම මත කැතිට ගැළපෙන නියම කෙනෙක් ඉන්නවා කියලා මාව තිළිණ බොරලැස්ස අයියාට හඳුන්වලා දුන්නා. ඒ දැන හැඳුනුම්කම මත තමයි මම කැරැකිලා ඇවිත් “නෝ පාර්කින්” කැති ළඟ නතර වුණේ.
ගුවන් සේවිකාවක් ලෙසට කටයුතු කරන ඔබ කොහොමද කලා කටයුතුවලට යොමු වෙන්නේ?
ඒක නම් ගොඩාක් අමාරු කර්තව්‍යයක්. මොකද මම කරන රාජකාරිය ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. මගේ සේවායතනයේ හිත මිතුරන්ගෙන් ලැබෙන සහාය තමයි මට වටින්නේ. ඔවුන් මම නැති වෙලාවට එක දිගට වැඩ. මම කොහොමත් අවුරුද්දට එක ටෙලිනාට්‍යයක් විතරයි භාරගන්නේ. ඒ භාරගත්තත් අධ්‍යක්‍ෂ වගේම පිටපත ගැනත් ලොකු සැලකිල්ලක් දක්වනවා.
නෝ පාර්කින් කැතිගේ ආදරය මායාවක් කියලයි මම නම් හිතන්නේ?
ඇත්තටම ඔබේ සිතීම නිවැරැදියි. එහි මම එන්නෙ විදේශ රටක ඉඳලා අන්තර්ජාලයෙන් මිතුරුකමක් පවත්වලා මගේ උරුමය හොයාගෙන. මම පොඩි කාලේ මාව විදේශීය සුද්දෙක්ට විකුණලා. ඉතින් මම ආවේ මගේ මවුපියන් හොයාගන්නයි.
කැතිගේ චරිතයට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවාද?
නෝ පාර්කින් ටෙලිනාට්‍යය ගොඩදෙනෙක් නරඹනවා. එය හරිම විනෝදජනක කතාවක්. කුතුහලය පිරුණු සොඳුරු කතාවක්. ඒත් ඉතින් මට මගේ රසික රසිකාවියන් හමුවෙලා කතාබහ කරන්න වෙලාවක් නැහැ. මම ලංකාවේ නිතර දෙවේලේ නැති නිසා ගොඩ දෙනෙක් මට ප්‍රතිචාර දක්වන්නේ අන්තර්ජාලය හරහා තමයි.
පුංචි කාලේ පටන් දිනිතිගේ සිහිනය තිබුණේ රංගන තාරකාවක් වෙන්නද?
අනේ නැහැ. මගේ එකම සිහිනය තිබුණේ ලෝකේ වටේ යන රස්සාවක් කරන්න. මම දැනට රටවල් 40ක විතර සංචාරය කරලා තියෙනවා. නිළියක් වුණේ බලකිරීමක් මත තමයි. මගේ තාත්තා වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. සමහර විට ඔහුගේ ආභාසය මටත් පිහිටන්න ඇති. ඉතින් විවේකීව ලැබෙන විදියට නිර්මාණවලට යොමුවෙනවා.
දිනිති රූපයෙන්, චරිතයෙන් අහිංසකාවියක් වුණාට ටිකක් පණ්ඩිතයි නේද?
පණ්ඩිත නොවී බැහැනේ. ගැහැනු ළමයෙක් ළාමක වුණාම අඩන්තේට්ටම් වැඩියි. ඉතින් මම කවදා හරි ආදරය කරන කෙනා මටත් වඩා පණ්ඩිත වෙන කෙනෙක් තමයි හොයන්නේ. මොකද එතකොට එයාගේ පණ්ඩිත වැඩ නිසා මම නිහඬ වෙනවානේ.
රටවල් ගණනාවක කරක්ගහපු දිනිතිට ලංකාව දෙස බලනකොට මොකද හිතෙන්නේ?
මගේ රට මොන තරම් සුන්දර රටක්ද. හැබැයි ලංකාවේ වගේ අවස්ථාවාදී මිනිසුන් මම කිසිම රටක දැකලා නැහැ. ලංකාවේ මිනිසුන් ඍණ ආකල්පයෙන්මයි හිතන්නේ. මේ රට විනාශ කරලා මිනිසුන් රට යනවා. අපේ රට මොනවයෙන් අඩුද? ඒත් කිසිම කෙනෙක් නැහැ තමන්ගේ හැඟීමෙන්. එකාට එකා කොටාගන්නවා. විදේශීය සංචාරකයන් ලංකාව බලන්න පුදුම කැමැත්තක් තියෙන්නේ. ඒත් අපේ රටේ මිනිසුන් කරන්නේ ඔවුන් දැක්ක ගමන් ගසාකන එක. කිසිම සංවරයක් නැහැ අපේ රටේ මිනිසුන්ට. ඉතින් අනාගතයක් ගැන තව මොන කතාද?
වසන්ත විතාරණගේ