නිර්මාණයක් සාර්ථක කිරීමට නිරන්තරයෙන් කැපවෙන සුන්දර නිර්මාණකරුවෙක් ලෙසට ශක්තියක් වන සහාය අධ්‍යක්ෂවරයකු ගැනයි මෙවර අපි ‘කාපු කට්ට’ විශේෂාංගයෙන් ඔබට කියන්නේ. ටෙලිනාට්‍ය රැසකට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණු ලහිරු ප්‍රසංග, ටෙලි නිර්මාණයක කැමරාව පිටුපස සිදුවන රසවත් වගේම දුෂ්කර සිදුවීම් ගැන ‘හාට්’ අපි එක්ක කතාබහ කළේ මේ විදියට.Sri Lanka Latest News
ලහිරු මේ දවස්වල කොහොමද කලා කටයුතු?
මේ දවස්වල ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ‘බැද්දේගම’ ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂවරයකු විදියට මම කටයුතු කරනවා.
අපි කැමැතියි ඔබගේ වෘත්තීය කටයුතු ගැන මුලින්ම දැනගන්න?
මම සහාය අධ්‍යක්ෂවරයකු ලෙස තමයි කටයුතු කරන්නේ. නිර්මාණයක ප්‍රධාන මුල් අතරින් තවත් එක් මුලක්. මුල ශක්තිමත් වුණොත් තමයි නිර්මාණය සාර්ථක වෙන්නේ. නිර්මාණයේ සියලු සැලසුම් නිර්මාණය කරමින් අධ්‍යක්ෂවරයාට ශක්තියක් වෙන්නේ සහාය අධ්‍යක්ෂවරයා. ඔහුට නිර්මාණය පිටුපස වගකීම් ගොඩක් තියෙනවා. ඒ සියල්ලම ක්‍රමානුකූලව සැලසුම් කරන්න ඕනෙ. ඒ විතරක් නෙවෙයි. නිෂ්පාදකව බේරාගැනීමත් සහාය අධ්‍යක්ෂවරයාගේ වගකීමක්.
ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ නළුවෙක් වෙන්න හිතාගෙන?
ඔව්. මහේෂ් උයන්වත්ත අයියා හරහා තමයි මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. කිසිම දෙයක් නොදැන තමයි මම මේ රාජකාරියට එකතු වෙන්නේ. මම මුලින්ම සම්බන්ධ වෙන්නේ ප්ලස් වන් ආයතනයට. එහිදී මම අජිත් ජයවර්ධන මහතා හඳුනා ගන්නවා. ඔහු මට කිව්වේ කිසිම දේකට බයවෙන්න එපා, මම ඔයාට උදව් කරනවා කියලා. ඔහුගේ ඒ වචනය මට ආශීර්වාදයක් වුණා. මම ඉතින් නොදන්න නිසා හැමදේම උපරිම ඉගෙන ගත්තා. ප්‍රියන්ත ශ්‍රී සමරකෝන්, මංජුල කරුණාරත්න, සිසිකිරණ පරණවිතාන ඇතුළු දැවැන්ත පිරිසකගෙන් මට ලොකු සහායක් ලැබුණා. නිර්මාණයක් පිටුපස ඉන්නේ ටීම් එකක්. ඒ සියලු දෙනාගේ නිර්මාණ හැකියාවන් තමයි අවසානයේ එළියට එන්නේ.
ඔබ ආපු ඒ ගමන ඒ තරම් සුන්දර නැතිව ඇති?
කොළඹ ගැනවත් නොදැන තමයි මම ආවේ. සමහර අවස්ථාවල ෂූටින් ඉවර වෙලා මට ගෙදර යන්න විදියක් නැති නිසා කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ නිදාගෙන පහුවදා නැවත ෂූටින්වලට ගියා. ඒ වගේ අමතක නොවන කටුක ජීවිත කතාවක් මා සතුව තියෙනවා. හරිම වේදනාකාරී කටුක ගමනක් ආපු කෙනෙක් මම. මම විඳපු ජීවිතය මගෙ මවුපියන්ටවත් කියලා නැහැ. හැබැයි මගේ මවුපියන් කිව්වේ වැටෙන්න එපා, ශක්තිමත්ව අල්ලගෙන යන්න කියලා. අද මගේ ගමන් මග පිටුපස මගේ බිරිඳ ලොකු ශක්තියක් වෙනවා. ඇය මා ගැන තබන විශ්වාසය හොඳටම ඇති.
කාපු කටුවල ප්‍රතිඵල හොඳයි නේද දැන්?
අනිවාර්යයෙන්ම. කන්දක් නගින්නම ඕනෙ පල්ලමක් බහින්න. අදටවත් මම මුදල් බලාගෙන නිර්මාණයකට යන්නේ නැහැ. මට මුලින්ම වැදගත් නිර්මාණය. ඒ වෙනුවෙන් මොන වගේ කැපකිරීමක් කරන්න පුළුවන්ද කියලා තමයි මම මුලින්ම බලන්නේ. මම විඳින ලොකුම සතුට තමයි මම වැඩකරන නිර්මාණය ඇගයීමකට ලක්වෙලා ඒ ශිල්පීන්ගෙන් එන දුරකතන ඇමතුම්. ඒ එන වචනය මට මුදලට වඩා ලොකු සතුටක් ගෙන දෙනවා. ජීවත් වීමට මුදල් අවශ්‍යයි. හැබැයි ඉතින් ඒ සියල්ලම සැලසුම් කරගෙන මගෙ වගකීම හරියට කරනවා.
ඔබ මේ ලබපු අත්දැකීම් එක්ක නිර්මාණයක් කරන්න සැලසුමක් එහෙම ඇති?
මටත් තියෙනවා මගේම කියලා හොඳ ආර්ට් වැඩක් කරන්න බලාපොරොත්තුවක්. යම් දවසක මමත් අධ්‍යක්ෂවරයෙක් විදියට මේ ක්ෂේත්‍රයේ හොඳ නිර්මාණ ටිකක් එළදක්වයි. ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.
වසන්ත විතාරණගේ











