තරුණයකු සහ තරුණියක යුවතිපතීන් ලෙස විවාහ වූවායින් පසුව ඔවුන්ගේ පළමුවන බලාපොරොත්තුව වන්නේ සතුටින් සමගියෙන් නිදහසේ ඉන්නට හැකි නිවෙසකි. ඒ සඳහා ඔවුන් අලුතින් නිවාස ඉදිකරන්නට හෝ තිබෙන නිවසක් අලුත්වැඩියා කරගන්නට පෙළඹෙයි. එහෙත් එවැනි යුවතිපතීන් අතරින් බහුතරයකට යුග දිවියේ නියමාකාර සතුට හෝ නිදහස අත්විඳින්නට ලැබෙනවාද යන්න ගැටලු සහිතය. මන්දයත් ඇතැම් අය අතර කෙටි කලකින් මත ගැටුම් ඇතිවී සාමය පලා යයි. නැතහොත් යුග දිවියට සම්බන්ධ වෙනත් ගැටලු පැනනඟී. එසේත් නැතහොත් සියල්ල ලැබී දරුපල අහිමි කරවයි. මේ හේතු නිසා බහුතරයක් අඹු සැමියන්ට අත්වන්නේ වේදනාබර අත්දැකීම්ය. ගෙයක් දොරක් සාදාගත් පමණින් නව යුවතිපතීන්ගේ ප්‍රශ්න නොවිසඳේ. ඒ සඳහා දෙදෙනා තම නිදන කාමරයත්, යහනත් ගැන ඉතා උනන්දුවෙන් සැලකිලිමත් විය යුතුය. එහිදී වාස්තු විද්‍යාත්මකවත් මනෝ විද්‍යාත්මකවත් කරුණු කාරණා සොයා බැලීම වැදගත්වේ.
ඒ අනුව නව යුවළකට නිදන කාමරය සකසාගත යුත්තේ නිවෙසේ උතුරු දිසාවට බරවය. එයින් දෙදෙනා අතර සමගියට හේතු යෙදේ. එසේම කම්සැප වර්ධනය වෙන බවත් එකිනෙකා අතර සහයෝගය සහ උනන්දුව ක්‍රියාශීලී වෙන බවත් පැවසේ.
එනිසා උතුරු දිසාවේ පිහිටි කාමර මෙන් වෙනත් දිසාවල පිහිටි කාමර නොගැළපෙන බවත් වාස්තු විද්‍යාඥයන් පෙන්වා දී ඇත. යම් ලෙසකට නිවෙසේ ඉදිරිපස කාමරයක් අඹු සැමි දෙදෙනා සඳහා තෝරාගතහොත් එයින් දෙදෙනා අතර නොරිස්සුම්සහගත සිතුවිලි වර්ධනය වීමට හේතු යෙදේ. අනියම් ඇසුරකට හේතු යෙදී යුග දිවිය බිඳී යෑමටද ඉඩකඩ ඇත. එසේම මුළුතැන්ගේ අසල කාමරද සුදුසු නොවේ. අඹු සැමි නිදන කාමරය අසලම මුළුතැන්ගේ ඇති විට දියුණුවට බාධා ගෙනදේ. කරන කියන සියල්ල නිෂ්ඵල විය හැක.
අඹු සැමියන් නිදන කාමරයට සුදුසු වන්නේ මඳ ආලෝකයකි. මඳ අඳුර යුවතිපතීන්ගේ හැඟීම් වර්ධනයට හේතුවේ. එයින් තෘප්තිමත් රාත්‍රියකට අවස්ථාව ලැබේ. එසේම ළා නිල් පැහැ විදුලි එළිය කාමරය තුළ දැල්වීමෙන් බිත්ති සඳහා ළා නිල් පැහැය යෙදීම ඉතාමත් යෝග්‍ය බවටත් මතයක් වෙයි. එමඟින් ඔවුනොවුන් අතර රාගී සිතුවිලි වර්ධනය වෙන බවත් සොයාගෙන ඇත. හතරැස් හැඩය ඇති කාමරයක් අංශක 90 මුලු කෝණ සහිතව නිමවා ගැනීමෙන්ද දෙදෙනා අතර සතුටට කදිම අත්වැලකි. කපු රෙදිවලින් නිෂ්පාදනය කළ තරමක් ඝනකම් ඇති තිර රෙදි කාමරයට යොදා ගැනීමත්, ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට ගතට සුවය ගෙනන රෙදිවලින් නිමවා තිබීමත් ඉතාමත් වැදගත් දෙයකි.
ඉතා සාර්ථක යුග දිවියකට අඹු සැමි දෙදෙනා නිදන ඇඳ එක ලී වර්ගයකින් විශාල තනි ඇඳක් ලෙස සකසා තිබිය යුතුමය. එසේ නොමැතිව ඇඳවල් දෙකක් එකතැන තබා නිදා ගැනීම අතිශය හානිකර ක්‍රියාවකි. මේ සඳහා යකඩ යොදා ගැනීම සුදුසු නොවේ. එසේම යුවතිපතීන් නිදන ඇඳ යටලී බාල්ක ආදිය ඇති තැන්වලට යටින් තැබීම සුදුසු නොවේ. එසේ තැබීමෙන් එම යටලීය හෝ බාල්කයට සාපේක්ෂව සිටින ශරීර අවයවන්හි ආබාධ ඇතිවීමට ඉඩ ඇති අතර කලක් යද්දී ඒවා යුග දිවියට බලපායි. එසේම අඹු සැමි දෙදෙනා නැඟෙනහිරට හෝ දකුණට හිසලා නිදා ගැනීමෙන් දෙදෙනාගේ සතුට දෙගොඩතලා යෑමට හේතු යෙදේ. එසේ නොවුණු විට බලා සිටියදී විවාහය දෙදරා යෑමටද ඉඩ ඇත.
යම් ලෙසකට අඹු සැමි යුවළක් නිදන යහන යට අනවශ්‍ය බඩු බාහිරාදිය ගොඩගසා දූවිලි පිරී ඇත්නම් සිදුවන්නේ අයහපතකි. කාමරය නිතරම පිවිතුරු පිරිසුදු නැවුම් සුවඳින් තබා ගතහොත් දෙදෙනා අතර බැඳීම් වර්ධනයට හේතු යෙදේ.
යුග දිවියක් සාර්ථක කරන ඊළඟ ප්‍රධාන සාධකය දරු සම්පත්ය. එනිසා දරුවකුගේ පින්තූරයක් කාමරයක එල්ලා තැබීම ඉතාමත් වැදගත්වේ. තවද ආදරය වර්ධනයට ඉවහල් වන ඡායාරූප ආදියද නිදන කාමරයට ගැළපේ. එයින් දෙදෙනා අතර ආදරය වර්ධනයට හේතු යෙදෙනු ඇත.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර











