අද ‘මව්‍රට’ හාට් අපිත් එක්ක එකතු වෙන්නේ 2025 ඉන්දියානු විචාරක සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය වගේම 2025 සරසවි සම්මාන උළෙලේ හොදම හාත්ස්‍ය උත්පාදන නළුවාට හිමි සම්මානයත් දිනාගත් නිහතමානී රංග පෞරුෂයක් සමග. ඉදිරියේ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන ‘මරියා’ චිත්‍රපටයෙනුත් ඔහුව ප්‍රේක්ෂකයාට දැකගන්න පුළුවන්. ඒ තමයි අපි කවුරුත් ආදරය කරන ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරා.Sri Lanka Latest News
මේ දිනවල ඔබතුමාගේ වැඩකටයුතු කොහොමද?
මේ දිනවල මා විසින්ම පවත්වාගෙන යන මගේ රංගන වැඩමුළුව වගේම සෞන්දර්ය කැම්පස් එකේ වැඩත් එක්ක කාර්යබහුලයි. ඒ වගේම අලුතින් ආරාධනා ලැබුණු චිත්‍රපටයකටත් සූදානම් වෙමින් තමයි ඉන්නේ.
ඉදිරියේදී තිරගතවීමට නියමිත අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන මරියා චිත්‍රපටයෙන් ඔබව දැකගන්න පුළුවන්. ඒ අත්දැකීම ගැන කතාකරමු?
මරියා කියන්නේ මගේ සිනමා දිවියේ ලබපු adventure experience එකක්. දවස් ගාණක් ගැඹුරු මුහුදේ ඉන්න වුණා. දුෂ්කරයි. නමුත් දුෂ්කර බව දැනුණෙත් නෑ අපි ඒ හැම අවස්ථාවක්ම රස විඳපු නිසා. කොහොම වුණත් මම නම් බයෙන් හිටියේ. ආපහු ඒ වගේ චිත්‍රපටයකට ආරාධනාවක් ආවොත් නම් භාරගන්න දෙපාරක් හිතනවා. අරුණ ජයවර්ධන, චන්න දේශප්‍රිය අපිට කිසිම අඩුපාඩුවක් කරේ නෑ වගේම මරියා කෲ එකම සෑහෙන්න මහන්සියකින් කරපු වැඩක්. ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි.
මරියා චිත්‍රපට වගේ එකකට එකක් වෙනස් සිනමා නිර්මාණ බිහිවීම වර්තමානයේ සිනමා ප්‍රේක්ෂකත්වයේ වර්ධනයට හේතුවක් නේද?
ඔව්. මං හිතන්නේ ‘කතුරු මිතුරු’ චිත්‍රපටයෙන් ඇරඹුණු ගමනක් මේ. කතුරු මිතුරු හවුස් ෆුල් මට්ටමින් දින 160-170ක් වගේ තිරගත වුණා. වර්තමාන චිත්‍රපට ප්‍රේක්ෂකයාට යහපත් රසවින්දනයක් ලබාදීම නිසා ප්‍රේක්ෂකයා නැවත ප්‍රේක්ෂකාගාරය වෙත ඇදිලා එනවා. ප්‍රේක්ෂකාගාරය තමයි අපිව ජීවත් කරවන හුස්ම පොද, ප්‍රේක්ෂකයා නැතිනම් කලාවක් ලෙස පවතින්න බෑ. මෝඩ තරිඳු, ආයු චිත්‍රපට මේ දවස්වල ඉහළ ප්‍රේක්ෂක මනාපත් සමග තිරගත වෙනවා. ඉදිරියේදීත් හොඳ නිර්මාණ එන්න තියෙනවා. මේක සුබවාදී තත්ත්වයක්.
සිනමා ප්‍රේක්ෂකත්වයේ වර්ධනයට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය ප්‍රධාන හේතුවක් වෙලා නේද?
සමාජ මාධ්‍ය එක්ක හැමදේම දැන් වෙනස්ම තැනක තියෙන්නේ. සිනමාවේදීත් සමාජ මාධ්‍ය වෙනම තැනකින් පත්තු වෙලා තියෙනවා. වෙනස්ම ප්ලොට්වලින් නිර්මාණ බිහිවීමත් ඒ නැවුම් රස වින්දනාත්මක අත්දැකීම සමාජ මාධ්‍ය උපක්‍රම භාවිත කරලා සමාජගත කිරීමත් නිසා චිත්‍රපට ප්‍රේක්ෂකත්වය වර්ධනය වෙලා තියෙනවා.
මහේන්ද්‍ර පෙරේරා කියන දැවැන්ත නළුවාගේ ආරම්භය ගැන කතා කළොත්?
අරිසෙන් අහුබුදු සූරීන් මාව සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයාට හඳුන්වලා දෙනවා. ඒ වගේම රංගනය ගැන සොයායන්න වෙනස්ම තලයකින් හිතන්න උගන්වන්නේ ආචාර්ය සාලමන් ෆොන්සේකා. මේ ගුරුවරු මතක් කරන්නම ඕනෙ. එතනින් තමයි මගේ රංගන ජීවිතයට ආරම්භයක් ලැබෙන්නේ.
රංගනය සම්බන්ධ විෂයාත්මක හැදෑරීම රංගන ශිල්පියකුට කොයිතරම් වැදගත්ද?
ලෝකයේ ඕනෑම දෙයක් විෂයක්. ඕනෑම විෂයක් හැදෑරීම වගේම සොයා යාමෙන් පුද්ගලයාගේ දියුණුවක් ඇතිවෙනවා. රංගනයත් හැදෑරීම කළ යුතුයි. නව්‍යතාවන් සමග යාවත්කාලීන විය යුතුයි. අලුත් විය යුතුයි. විශේෂයෙන්ම හැදෑරීමටත් වඩා සොයා යාමක් කළ යුතුයි. ඒ වගේම තමන් එක්ස්පීරියන්ස් කරපු දේ අනිත් අය සමග බෙදාගත යුතුයි. නැතිනම් ඕනෑම කෙනෙක් රංගනය කියන විෂය තුළ එක තැන පල් වෙනවා.
ඔබතුමා රංගනය ගවේෂණය කළ යුතුයි සොයා යා යුතුයි කියලා අදහස් කරන්නේ මොකක්ද?
රංගනය සොයා යාම කියන්නේ වේලපහ හිඟන්නෙක් වෙන්නෙ කොහොමද? ඇමැති කෙනෙක් වෙන්නේ කොහොමද? වෛද්‍යවරයෙක් වෙන්නේ කොහොමද? කියන එක ඉගෙන ගැනීම නෙවෙයි. තමන් විසින්ම ජීවිතේ වියදම් කරලා සමාජයේ චරිත සොයාගෙන යාමක් කළ යුතුයි. පසුව රංගන ශිල්පියෙක් ලෙස මානසික සමබරතාව, හඩ පාලනය, ශ්වසන ව්‍යායාම වගේ දේවලින් පෝෂණය විය යුතුයි. මොකද අපේ ශරීරය තමයි අපේ ඉන්ස්ටෘමන්ට් එක. සමාජය දෙස උකුසු ඇසින් බලා හිඳීමත් වඩාත් වැදගත්. මේ දේවලින් චින්තන ශක්තියක් හැදෙනවා. හොඳ රංගන ශිල්පියකුට රංගනය හැදෑරීම වගේම ගවේෂණය කිරීම ඉතාමත් වැදගත්.
ඔබ චරිතයකට පණපෙවීමට පෙර ඒ චරිතය පිළිබඳ කරන ස්වං ගවේෂණය කොයි වගේද?
ස්වයං ගවේෂණයත් වැදගත්, මම චරිතයේ ස්වභාවය ගැන පළමුවෙන්ම අධ්‍යයනය කරනවා. මීළඟට අධ්‍යක්ෂවරයා සමග දීර්ඝ සාකච්ඡාවක් කරනවා. අධ්‍යක්ෂවරයා චරිතය විය යුත්තේ කෙසේද යන්න මාව ෆීඩ් කරනවා. පසුව අධ්‍යක්ෂවරයාගේ අනුදැනුම මෙහෙයවීම මත චරිතයට මගේ දේවලුත් එකතු කරලා 200%ක් උපරිමයෙන් මං රංගනයේ යෙදෙනවා. අනෙක අපි හැමෝටම ආධ්‍යාත්මයක් තියෙනවා. මගේ රංගනයේදී මගේ ආධ්‍යාත්මය සම්පූර්ණයෙන්ම නැතත් යම් සුවඳක් ලැබුණු චරිතයට සමග මුසු කිරීමත් චරිතය සාර්ථක කරගන්න හේතුවක්.
ඔබ ප්‍රේක්ෂකයාගේ වගේම විචාරක අවධානයත් නොඅඩුව ලබාගැනීමේ රහස මොකක්ද?
මෙහෙමයි. මට එකම විදියේ චරිතයක් ලැබුණත් මම එහි විවිධත්වය සොයායාමට බර වෙනවා. ඒ සඳහා වෙනම ඉමැජිනේෂන් එකක් තිබිය යුතුයි. ඒ චරිතයට ආවේණික රිදම් එක, ටෙම්පො එක. ටයිමින්, මේ සියල්ලක්ම මම සොයායාමක් කරනවා. චරිතයේ සැඟවුණු විවිධත්වයන් සොයාගනිමින් ඒ චරිතය මගේ මනසේ මවාගැනීම තමයි රහස. කවර චරිතයක වුවත් රංගනයෙන් සාර්ථක වෙන්න වේශනිරූපණ ශිල්පියාගේ සිට කණ්ඩායමේම සහයෝගයත් වැදගත්.
ඔබතුමා දේශීය විදේශීය සම්මාන රැසක් ලබාගත් සම්මානලාභී රංගන ශිල්පියෙක්. දිගින් දිගටම සම්මානයට පාත්‍රවීම ඔබතුමාට දැනෙන්නේ කොහොමද?
සම්මානයක් කියන්නේ ධෛර්යට කාරණාවක්වත් මේ ක්ෂේත්‍රයේ පැවැත්මට හේතුවක්වත් නොවෙයි. නමුත් මට ලැබෙන සම්මානයන් මගේ රංගන ජීවිතය වෙනුවෙන් මම කරපු කැපකිරීමට, යොදපු මහන්සියට ගෞරවයක් විදියට සලකනවා.
මේ වෙනකොට ඔබේම රංගන වැඩ මුළුවක් පවත්වගෙන යනවා. ඒ ගැනත් කතා කරමු?
ඔව්. රඟපෑම සහ කලාව සොයාගෙන යන පිරිසක් එකතු කරගෙන කරගෙන යන වැඩක් මිස ආර්ථික වාසියකින් කරගෙන යන වැඩක් නොවෙයි. මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි ඊළඟ පරම්පරාව මේ ක්ෂේත්‍රය ගැන දැනුවත් කළ යුතුයි කියන එක. නැතිනම් කලාව අයාලේ යනවා. මම විසින්ම සොයාගත් දැනුම් සම්භාරය අනාගත පරපුර සමග බෙදාගැනීමට වගේම මේ ක්ෂේත්‍රයේ ගෞරවයක් ඇතුව රැදෙන්න කියා දීම තමයි මගේ වැඩමුළු හරහා වෙන්නේ.
කලාවට සම්බන්ධ වන ආධුනික රංගන ශිල්පීන්ගේ රංගනය හැදෑරීම ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?
මේ ක්ෂේත්‍රයට ආදරයෙන් එන අය හැදෑරීමක් කරනවා. නමුත් රියලිටි වේදිකා, ටික් ටොක් හරහා එන අයත් යම්කිසි ප්‍රමාණයකට හරි මේ ක්ෂේත්‍රයේ හැදෑරීමක් කළ යුතුයි. මෙඩිකල් කොලේජ් යනවා වගේ හැදෑරීමක් නැතත් යම් දැනුවත්භාවයක් අවශ්‍යයි. මොකද හැමදාම ප්‍රේමවන්තයා ප්‍රේමවන්තියගේ චරිතය ලැබෙන්නෙ නෑ. කාලයක් එක්ක වයසට යනවා. ඒ නිසා හැදෑරීමක් නැති කලාවට සම්බන්ධ වන්නන්ගේ පැවැත්ම ගැන නම් හිතාගන්න බෑ.
කලා ජීවිතයේ ඔබතුමාට තිබුණු අභියෝග මොනවාද?
ජීවිතය ගත්තාම ජීවිතය ගැටගහගන්න එක තමයි මට තිබුණු ලොකුම අභියෝගය. රගපෑම මට ලොකු අභියෝගයක් නොවේ. මොකද අධ්‍යක්ෂවරයා මාව තෝරාගන්නේ විශ්වාසයෙන්. මම මගේ උපරිමය නිර්මාණයට ලබාදෙනවා. නමුත් මේ ක්ෂේත්‍රයේ හොඳ තත්ත්වයෙන් පවතින්නේ කෙසේද? ප්‍රශ්නයට උත්තර හොයන එක තමයි මට තිබුණු ලොකුම අභියෝගය.
ඔබව අධ්‍යක්ෂවරයෙක් විදියට ඉදිරියේදී දකින්න පුළුවන් වේවිද?
අධ්‍යක්ෂණයට පොඩි කැමැත්තක් තියෙනවා. හැබැයි ඒක වෙනමම කාරණාවක්. කාලය, ශ්‍රමය විශාල ලෙස කැපකරන්න ඕනේ. ආශාව තිබුණට පවතින කාර්යබහුලත්වයත් එක්ක තාම අවස්ථාවක් ලැබුණෙ නෑ.
සමාජ මාධ්‍ය තුළ මෙතරම් සාමකාමී වීමට හේතුව කාර්යබහුලත්වයමද?
මටත් පේජ් එකක් තියෙනවා. ඇඩ්මින් කෙනෙක් ඉන්නවා. නමුත් මේ ෆෝන් එක හරිම වදයක්. ඒ වෙනුවෙන් කාලය කැපකරනවට වඩා මේ සරලකමට මම කැමැතියි. වෙලාවකට මගේ ඇඩ්මින් කියනවා මං යන තැනක ෆොටෝ එකක් ගහලා වීඩියෝ එකක්වත් හදලා දාමු කියලා. අනේ ඒකත් මට අමතක වෙනවා. අනික ඕනිම දේක අන්තයට යන්නත් හොඳ නෑ.
රංගනට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න වගේම ආධුනික රංගන ශිල්පීන්ට ඔබතුමාට දෙන්න තියෙන උපදෙස මොකක්ද?
මේ විශය සැහැල්ලුවට ගන්න එපා. ඉගෙන ගන්න සොයාගෙන යන්න. අවංක වෙන්න. මේ ක්ෂේත්‍රයේ ගෞරවයෙන් රැඳෙන්න.
රසාංජලි වාසල











